මේ ලැබුණ සම්මානය මම දකින්නේ විදවෙන් ලබපු ජයග්‍රහණයක් විදියට | Page 2 | සිළුමිණ

මේ ලැබුණ සම්මානය මම දකින්නේ විදවෙන් ලබපු ජයග්‍රහණයක් විදියට

- පාසල් කාලෙදි වෛද්‍යවරයෙක් වෙන්න ඕන කියන හීනය මට තිබුණේ නෑ
- “ෂෙයික් ෆහාඩ්“ හිරෝෂිමා ආසියානු ක්‍රීඩා වෛද්‍ය විද්‍යා සම්මානය පළමුවරට අපේ රටට

‍ලංකාවේ ක්‍රීඩා වෛද්‍ය විශේෂඥවරයෙකු ලෙස සේවය කරන චතුරංග රණසිංහ මහතාට ආසියානු ඔලිම්පික් කවුන්සිලය මඟින් පිරිනමන ලද “ෂෙයික් ෆහාඩ්“ හිරෝෂිමා ආසියානු ක්‍රීඩා වෛද්‍ය විද්‍යා සම්මානය පසුගිය 04 දින කාම්බෝජයේ පෙනොන් පෙන් නගරයේ දී පැවති උත්සවයකදී හිමි වුණා. මෙම සම්මානය වසර 04 කට වරක් ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව පිළිබඳ පිරිනමන සම්මානයක් වන අතර එය ලාංකිකයකුට හිමි වූ ප්‍රථම අවස්ථාව වීමද විශේෂය. වෛද්‍ය චතුරංග රණසිංහට රසඳුන තුළින් සුබපැතුම් එක් කරන ගමන් ඔහු සමඟ කළ කතාබහයි මේ. 

ලැබුණු සම්මානයෙන්ම කතාවට මුල පුරමු

ආසියානු ඔලිම්පික් කවුන්සිලය මඟින් පිරිනමන ලද ‘ෂෙයික් ෆහාඩ් හිරෝෂිමා ආසියානු ක්‍රීඩා වෛද්‍ය විද්‍යා සම්මානය තමයි මට ලැබුණේ. මේක ලබා දෙන්නේ ස්පෝට්ස් මෙඩිසින්වලට. වසර 4කට සැරයක් රාජ්‍යයන් 45 කින් සමන්විත ආසියානු ඔලිම්පික් කවුන්සිලය මඟින් තමයි මේ සම්මානය දීම සිදු කරන්නේ. ඒ එක්කම ශ්‍රී ලාංකික ක්‍රීඩා වෛද්‍ය විශේෂඥවරයකුට මෙම සම්මානය පිරිනැමූ පළමු අවස්ථාව. ඒක තමයි මෙහි තියෙන විශේෂත්වය. විශේෂයෙන්ම මම මෙතැනදී මතක් කරන්න ඕනේ අපේ රටේ ජාතික ඔලිම්පික් කමිටුව. එයාල තමයි නොමිනේට් කරන්නේ රටකින් කෙනෙක්ව. ඒ අයගේ මැදිහත් වීමක් තියෙන නිසා ස්තූති කරන්න ඕනේ ඒ අයට.

අපි කතා කළොත් පාසල් කාලය

කොළඹ ආනන්ද විද්‍යාලයෙන් තමයි මම සිප් සතර හැදෑරුවේ.

කොහොමද ස්පෝට්ස් මෙඩිසින් පැත්තට යොමු වෙන්නේ?

මම පාසලේදී ක්‍රිකට් සහ බැඩ්මින්ටන් ක්‍රීඩාව කරනවා. ඊට පස්සේ කොළඹ මෙඩිකල් ෆැකල්ටි එකේ දී ක්‍රිකට් සහ බැඩ්මින්ටන් ක්‍රීඩාව කරනවා. ඒවායේ කැප්ටන් විදියටත් ඉන්නවා. ඒ කාලේ දී තමයි මට ස්පෝට්ස් මෙඩිසින් කරන්න ඕනේ වුණේ. ඒ වෙද්දී ලංකාවේ එහෙම දෙයක් ලොකුවට නැති නිසා. අපිට ඔලිම්පික් මෙඩ්ල් එකක් දිනන්න ඒක හරි වටිනා නිසා. ඒ වෙනකම් පිටතින් තමයි ඒ සඳහා අවශ්‍ය වෛද්‍ය විශේෂඥවරයකුගේ සහාය ලබා ගත්තේ.

කොහොමද ඔබ සුදුසුකම් සපුරා ගන්නේ

මෙඩිකල් ෆැකල්ටි එකෙන් පස්සේ මම කොළඹ විශ්වවිද්‍යාලයට කථිකාචාර්යවරයෙක් විදියට සම්බන්ධ වෙනවා. ඊට පස්සේ පශ්චාද් උපාධිය ඕස්ට්‍රේලියාවේදී කරනවා. 2018දී තමයි නැවත ලංකාවට එන්නේ. එතැනින් පස්සේ දිගටම ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් වැඩ කරනවා. මම ගොඩක් අලුත් තාක්ෂණික ක්‍රම ලංකාවට හඳුන්වා දුන්නා.

ඒ එක්කම ඔබ සෞඛ්‍ය සංවිධානය එක්කත් වැඩ කරන කෙනෙක්

ඔව්. ඔවුන් ලෝකයටම මාර්ගෝපදේශනය ලබා දෙන අයනේ. ඒ කමිටුවේ මම සාමාජිකයෙක්. ඒ කණ්ඩායමේ ආසියාවේම දෙන්නයි හිටියේ. ඉන් එක් කෙනෙක් මම. ඒ වගේ ජාත්‍යන්තර වැඩ ටිකකුත් කරනවා. ඒ එක්කම ජාතික ඔලිම්පික් කමිටුවෙත් මම ඉන්නවා.

මේ වෙද්දී ඔබ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සෞඛ්‍ය තත්ත්වයත් සොයා බලන වෛද්‍යවරයෙක් 

අනිවාර්යන්ම. ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ විතරක් නෙවෙයි ජාතික තලයේ ගොඩක් ක්‍රීඩකයන්ගේ Cardiopulmonary Exercise Test / CPET ඒක ලංකාවේ කරන්නේ මම විතරයි. කොච්චර ෆිට්නස් එකක් තියෙනවද කියලා බලන්න කරන්නේ ඒක. ඒ හැර සාමාන්‍ය අයගෙත් ඔය කියන බෝනොවන රෝග තියෙනවනේ. ඒවාට ප්‍රධාන හේතුවක් තමයි ක්‍රියාශීලිතාව මඳ කම. ඒ සඳහා මම නීරෝගි ලංකා නමින් වැඩපිළිවෙලක් දියත් කරලා තියෙනවා.

මේ වෙද්දී ඔබේ රැකියා ස්ථානය මොකක් ද?

මම මේ වෙද්දී කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පිඨයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය කෙනෙක් විදියට සේවය කරනවා. ඒ එක්කම මම අලුතින්ම ආරම්භ කළ ක්‍රීඩා ව්‍යායාම හා වෛද්‍ය ඒකකයේ අධ්‍යක්ෂක ලෙස කටයුතු කරනවා. ඒ හැර පෞද්ගලික රෝහල්වලදී මගේ පුද්ගලික සේවාව සැපයීම සිදු කරනවා.

ඉදිරියට මොන වගේ වැඩපිළිවෙළක් ද තියෙන්නේ

මම මේ ලබපු සම්මානය දකින්නේ විද්‍යාවෙන් ලබපු ජයග්‍රහණයක් විදියට. ජාත්‍යන්තරයේ අපිට තරග කරන්න පුළුවන් කියන එක මේ තුළින් අපිට වැටහෙනවා. හැමදාම එහෙ දැනුම මෙහෙට එන එකනේ අපි කතා කළේ. හැබැයි මෙහෙ දැනුම එහෙට යන එකක් අපිට කරන්න පුළුවන්. එතකොට තමයි ලෝකයේ පිළිගැනීම වැඩි වෙන්නේ. මම බලාපොරොත්තු වෙනවා ලෝකය එක්ක තියෙන සම්බන්ධය තවත් වැඩි කරලා අපි කොහොමද රටක් විදියට ජාත්‍යන්තරය එක්ක ඉදිරියට යන්නේ කියලා පෙන්නන්න. ඒ සඳහා රටක් විදියට ලංකාව පුරා මේ වගේ දැනුම තියෙන අය එක තැනකට ගේන්න ඕනේ. අපිට නැහැ ක්‍රීඩාව සම්බන්ධයෙන් පර්යේෂණ මධ්‍යස්ථානයක්. අපේ දෙයක් නැතුව අපිට බැහැ ඉදිරියට යන්න. සරලව කිවුවොත් අපිට ඕනේ ජාතික ක්‍රීඩාව සම්බන්ධ පර්යේෂණ ආයතනයක්. ඒක හරහා තමයි ඔක්කොම තීරණය වෙන්නේ. මම ඒකට අවශ්‍ය ප්‍රොපෝසල් දීලා තියෙනවා ක්‍රීඩා අමාත්‍යාංශයට. මම බලාපොරොත්තු වෙනවා කොහොම හරි ඒ දේවල් අදාළ අයගේ අනුදැනුම ඇතිව ඇති කරන්න.

ජිවිතේ ගැන ආපස්සට හැරිලා බලද්දී මොකද හිතෙන්නේ

මට කියන්න තියෙන්නේ මම ලබපු දේ ගැන අනෙක් අය කතා වෙද්දී සතුටක් වගේම අභිමානයක් තියෙනවා. මගේ ජිවිතේ ලොකුවට සැලසුම් කරලා මෙහෙම වෙන්න ඕනේ කියලා ආව ගමනක් නෙවෙයි. මම හැමදාම මම කරන දේ එන්ජෝයි කරලා තමයි කළේ. කාලෙන් කාලෙට මම කරපු දේවල් මතක් කළත් පාසල් කාලයේදී මට වෛද්‍යවරයෙක් වෙන්න ඕනේ කියලා ලොකු හීන තිබ්බේ නැහැ. මේ ගමන එද්දී ලොකු බාධක ආවත් මම ඒවා පවා දැක්කේ මේ ගේම් එකේ කොටසක් විදිහට. ඉස්සරහට වුණත් එන බාධක මම දකින්නේ එහෙම. කොහොම නමුත් මේ ගමන එන්න මගේ අම්මා තාත්තා ( තාත්තා අද නම් ජීවතුන් අතර නැහැ) මගේ බිරිය මගේ දරුවන් තුන්දෙනා මේ හැමෝම මා වෙනුවෙන් ලොකු කැපකිරීම් කරනවා. මෙහෙම ගමනක් එන එක ලේසි නැහැ. අපි ආවේ නිදහස් අධ්‍යාපනය තුළින්. ඒකට රටේ ජනතාව ගැන ලොකු ගෞරවයක් තියෙනවා. ඒ අයනේ බදු ගෙවන්නේ.

Comments