ප්‍රංශයම දන්න අපේ ඩියෝනා | සිළුමිණ

ප්‍රංශයම දන්න අපේ ඩියෝනා

“දිනුවත් පැරදුණත් ගමන මෙතැනින් නතර වෙන්නේ නැහැ“ තාත්තා මට එහෙම කිව්වා

නම හෝ රුව දුටු පමණින් ඈ කවුද යන වග කිසිවෙකුත් නොදන්නවා වෙන්නට පුළුවන්. නමුත් ඩියෝනා ඩයස් කියන නම වගේම ඒ රුව ප්‍රංශයම දන්න කෙනෙක්. ඒ ඇය වොයිස් කියන රියැලිටියෙන් ගායන හැකියාව ලොවට පෙන්නු නිසයි. ඈ වෙන කවුරුත් නොව මෙරට ජනප්‍රිය ගායක සැක්සෆෝන් වාදක හෙක්ටර් ඩයස්ගේ එකම දියණියයි. මේ ඇය හා රසඳුන කළ කතාබහයි.

ඩියෝනා කොහොමද පසුගිය දවස්වල කාර්‍යබහුල යි නේද ..?

ප්‍රංශයේ පැවැත්වෙන රියැලිටි තරගයකට සම්බන්ධ වුණා. අධ්‍යාපන කටයුතු එක්ක තමයි මම එයට සම්බන්ධ වුණේ . ඒ නිසා හාඩ් වර්ක් කරන්න වුණා.

කොහොම හරි 90,000 කින් 16 දෙනා අතරට එන්න වාසනාවන්ත වුණා නේද ..?

මේ තරගයට 90,000 ක් තරගකරුවන් සම්බන්ධ වුණා. හරිම දක්ෂ ළමයි හිටියේ, වයස අවුරුදු 16 අඩු අය තමයි මේ තරගය නියෝජනය කළේ.

මේ තරගයට කවුද අයැදුම් කළේ..?

ඇත්තටම අයැදුම් කළේ නැහැ. මගේ කලින් වැඩසටහනක දක්ෂතා ෂෝශල් මීඩියා ගිහින් තිබ්බා. ඒවා දැකලා තමයි එහි නිෂ්පාදන කණ්ඩායම මට ඊට සම්බන්ධ වෙන්න ආරාධනා කළේ. එහෙම තමයි අවස්ථාව ලැබුණේ

අවසන් මහා තරගය ඔබෙන් ගිලිහෙනවා, දුකයිද..?

පොඩි දුකක් තියෙනවා. දුකක් නැහැ කියන්න බැහැනේ. අවසන් තරගය නියෝජනය කරන්න ආසාවක් තිබුණා. නමුත් සෙමිෆයිනල් වෙනකල් ඇවිත් ඉවත් වුණා. මගේ අම්මා තාත්තා හිතුවේ නැහැ මේ තරම් දුරක් මම එයි කියලා. මොකද මේ තරගය ඒ තරම්ම තරගකාරී වුණු නිසා .

ලංකාවේ ජනප්‍රිය ගායකයෙක්, වාදකයෙක් ඔබේ පියා, හෙක්ටර් මොකද කිව්වේ..?

*තරගයේ හිටපු එක තාත්තා අම්මා ආඩම්බර වුණා. එයාලට සතුටුයි. දිනුවත් පැරදුණත් ගමන මෙතැනින් නතර වෙන්නේ නැහැ කිව්වා. දැන් නිදාගන්න වෙලාව නැහැ හාඩ්වර්ක් කරන්න නැත්තම් මේ ගමනින් වැඩක් නැහැ කියලා තාත්තා කිව්වා.

ඔබ සිංහල ගීතයකුත් ගායනා කළා, එය තරගයට අවදානමක් කියලා හිතුණේ නැද්ද ..?

එහෙම හිතුවේ නැහැ. එයාලාට භාෂාව තේරෙන්නේ නැති වුණා ට රසවින්දා කිව්වා. විනිශ්චය මණ්ඩලය ඇහුවා මේ ගීතය ලව් සෝන්ග් එකක් නේද කියලා. මම කිව්වේ නිම් හිම් සෙව්වා ගීතය. ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා.

ජාත්‍යන්තර ප්‍රසංගවලට ආරාධනා ලැබෙනවා කියලත් ආරංචියි..?

ජපානයට හා ඩුබායි ප්‍රසංග වලට ආරාධනා ලැබුණේ මටයි තාත්තාටයි දෙන්නටම. ඒ අවස්ථාව මට ලැබුණේ තාත්තා නිසා කියලා මම හිතන්නේ. සිංහල ජනතාවගේ ආරාධනාවක් ඒක. අම්මා කිව්වා දැන්මම ඒවගේ ප්‍රසංගවලට යන්න එපා කියලා අධ්‍යාපන කටයුතු නිසා.

ඩියෝනාට භාෂා කීයක් පුළුවන් ද..?

හතරක්, සිංහල, ඉංග්‍රීසි, ප්‍රංශ හා ස්පාඤ්ඤ භාෂාවත් එක්ක භාෂාවන් පහක් පුළුවන්.

පුංචි කාලේ ඉදලා හඬ පුහුණු වෙන්න යන්න හීන දැක්ක ගායකයෙක් ඔබේ කෝච් වුණා ..?

අම්මා ගොඩක් කැමැත්තෙන් ඉදලා තියෙනවා වොයිස් ට්‍රේනිං වලට කෝච් කෙන්ඩිජී ළඟට මාව යවන්න. අම්මා හොයලා බැලුවම හොඳම කෙනා එයාලු. නමුත් ලොකු මුදලක් අය කරන නිසා මාව යවන්න බැරි වෙලා. ඒනිසා අම්මා තාත්තාට කියලා එච්චර වියදමක් දරන්න බැහැ වෙන තැනකට දාන්නම් කියලා . අන්තිමට මට ඒ කෝච් ළඟ මාසෙකට වැඩි කාලයක් නොමිලේ පුරුදු වෙන්න අවස්ථාව ලැබුණා. එහෙම ලැබුණේ මේ තරගය නිසයි . ඒක ලොකු අවස්ථාවක්.

කොහොමද ප්‍රතිචාර ..?

පාසලේ නම් මාව දැන් නොදන්න කෙනෙක් නැහැ. හැමෝම මට කතා කරනවා. ඉස්කෝලේ යන්නේ බස් එකේ. පොඩි ළමයි ගොඩක් මාව අඳුරගන්නවා. කතා කරනවා හිනා වෙනවා. ඒ වැඩසටහන නිසයි මාව දන්නේ. සතුටුයි ඒ ලැබෙන ප්‍රතිචාර ගැන

තාත්තා එක්ක ගීතයක් කරන්නේ නැද්ද ..?

මික්ස් ගීතයක් කරන්න ඉන්නවා තාත්තා එක්ක. ලංකාවේ ප්‍රශ්න නිසා බැරි වුණා. මම දැන් ඉන්නේ ප්‍රංශයේ. ලංකාවට ගියාට පස්සේ ගීතයක් අනිවාර්යයෙන්ම කරනවා.

Comments