
- මිනිස්සු කියන කතාවලට හිත කලකිරෙනවා
- කලකිරීමම තමයි මට ඉදිරියට යන්න ලොකු පන්නරයක් වෙලා තියෙන්නේ
ස්වාධීන රූපවාහිනි සේවයේ final rush වැඩසටහනේ නිවේදිකාවක ලෙස තම ගමන ඇරඹු ඇය අද වන විට ඔබට වඩාත් සමීප වන්නේ නිරූපිකාවක ලෙසිනි. ඇගේ මේ අලුත් පිම්ම ගැන පසුගිය කාලයේ බොහෝ දෙනා අතර විවිධ මත පළවිය. ඒ නිසා නිවේදන කලාවෙන් නිරූපණයට ආ දිල්මි රහින්දු සමඟ අප කළ කතාබහකි මේ.
“මම පාසල් ගියේ මාතර සාන්ත තෝමස් බාලිකා විද්‍යාලයට. කලාවට එන්න කලින් මම රැකියා දෙකක් කළා. නමුත් ඒවා ආසාවෙන් කළ රස්සාවල් නෙමෙයි. ඒත් හැමවෙලාවෙම මගේ හැකියාවෙන් මගේ කැමැත්ත එක්ක ගමනක් යන්නයි මට ඕන වුණේ. අද හැමෝම වගේ මාව දන්නේ නිවේදිකාවක් විදියට. මම නිරූපණ ක්ෂේත්රයට ඇවිත් වැඩි කාලයක් නෑ. මීට කාලෙකට කලින් මට නිරුපණ ක්ෂේත්රයට එන්න වටපිටාව හැදිලා තිබුණේ. ඒත් අනිත් අය ගැන හිතන්න ගිහිල්ලා මට ඒ කාලය නැති වුණා. මාව එක පාරට මිනිස්සු ආන්දෝලනාත්මකව අඳුර ගත්තා. ඒක වුනේ මෙහෙමයි . මම දිග දුර හිතන්නේ නැතිව පොටෝ ෂුට් එකක් කළා. ඒක හිරු ගොසිප් එකේ ගියා. ගොඩක් අය මාව අඳුර ගත්තේ එතැනින් පස්සේ. මට බොහෝම හොඳ ප්‍රතිචාර ලැබුණා. මම නිවේදන ක්ෂේත්රයට ඇවිත් අවුරුදු දෙකක් විතර වෙනවා. ඒ වුණාට මගේ ආසාව තියෙන්නේ නිළියක් වෙන්න.
අද වන විට නිරූපණ ක්ෂේත්රයේ මට හොඳ ප්‍රතිචාර තියෙනවා. ඒ වගේම ලක්ෂ්මන් හිල්මිගේ අලුත් cover song වගයක් කළා.
වැඩ නම් සෑහෙන ඇවිත් තියෙනවා. නිරූපණයයි නිවේදනයයි දෙකටම ආසයි. දෙකම මට අත්හරින්න ලෝබයි. අපි නිරූපණ ක්ෂ්‍රේතයට එන්න කලින් හිතන්නෙ මේක හරි ලේසියි කියලා. හැබැයි එහෙම නෑ. මම දැන් හදාරමින් තමයි එන වැඩ භාර ගන්නෙ. ඒ කරන හැම වැඩකදීම දෙයක් ඉගෙන ගන්න තියෙනවානම් ඒකත් ඉගෙනන ගන්නවා. මේ දවස්වල මම අධ්යක්ෂවරුන් කිහිප දෙනෙක්ගෙ ‘ඇකඩමි‘ කිහිපයකට සම්බන්ධ වෙලා ඉගෙන ගන්නවා. කොහොම වුණත් මම හිතුවට වඩා මේක සංකීර්ණයි. ඉතින් මට ගොඩක් දේවල් තියෙනවා ඉගෙන ගන්න.
මගේ තාත්තාගේ මරණයෙන් පස්සේ මගේ ජීවිතේම වෙනස් වුණා කිව්වොත් නිවැරදියි. මට හොඳම ආදරය ලැබුණේ මගෙ තාත්තාගෙන්. එත් තාත්තාගේ පසසේ ඊට පස්සේ තමයි මම කොළඹට එන්නේ. ඒත් මම හිතනවා හැම මොහොතෙම මං ළඟ තාත්තා ඉන්නවා කියලා.
ඔබ කටකතා වලට බයද
මම නිරූපණ ක්ෂේත්රයට ආවට පස්සෙ කටකතා නම් සෑහෙන්න තියෙනවා. ඒක මටම හිතා ගන්න බැරි දෙයක්. මගේ ළඟින් හිටපු අය මට නැති වුණා. මගේ ගෙදර අයත් මට නැති වුණා. ඔවුන් කැමති නැහැ මම රඟපානවට. සමහර විට දවසක ඔවුන් කැමති වෙයි කියලා මට හිතෙනවා.
ජීවිතේ හිත් රිදිම් නම් බොහොමයි. ඒත් මම හිතනවා ඒ හැමදේම මගහැරිලා යයි කියලා. කාලයට ඉඩදිලා බලාගෙන ඉන්නවා. මම ඒ හැමදේම දරාගෙන ඉස්සරහට යනවා. වෙලාවකට මිනිස්සු කියන කතාවලට හිත කලකිරෙනවා. නමුත් ඒ කලකිරීමම තමයි මට ඉදිරියට යන්න ලොකු පන්නරයක් වෙලා තියෙන්නේ. මං ආසම සාමාන්‍ය විදියට ජීවත් වෙන්න. නිරූපණය කියන්නෙ රඟපෑමක් ඒ වෙලාවට ඒ දේ කළා එච්චරයි. මිනිස්සු කොහොම හිටියත් කතා හදනවා ඒක නවත්තන්න අපිට බැහැ. අපේ හිතට අපි අවංක නම් අපේ ගමන නවත්තන්න කාටවත් බැහැ. ඕන කෙනෙකුට ඕන දෙයක් කියන්න කියලා මගේ ගමන මම නිහඬව යනවා.
මට නම් වෙච්ච දේවල්වල හැටියට මගේ ළඟ කවුරුත් හිටියෙ නෑ.
මට යාළුවො ගොඩක් නැහැ. මම කැමතියි මගේ පාඩුවේ ඉන්න. ඒ මගේ හැටි.
ඔබ විවාහක ද?
මම විවාහකයි. ඒ වුණත් මම දැන් තනියෙන් ජීවත් වෙන්නෙ. සමහර දේවල් අපිට නැති වෙන්නෙ අපිට හොඳකට වෙන්න පුළුවන්. මට දැන් හිතෙනවා මම ජීවිතේ ගැන හිත හිතා හුල්ලපු කාලේ අපරාදේ කියලා. මගේ ජීවිතේ මං තනි වෙච්ච අවස්ථා බොහොමයි. ඒත් මං කා එක්කවත් තරහක් නෑ. අදටත් මං එයාලට ආදරෙයි. මං පුළුවන් විදියට හැමෝටම උදව් කරගෙන මගේ පාඩුවේ ජීවත් වෙනවා. එදා මම කඩා වැටිලා ජීවිතයේ හැමදේම අතඇරියා නම් මට මේ ගමන මේ දක්වාවත් එන්න බෑ. අතීතය කියන්නේ වෙච්චි දෙයක්. ඒක වර්තමාන ජීවිතයට අදාලම නෑ. වෙච්චි දේවල් ගැන හිත හිතා හූල්ලනට වඩා වර්තමානයේ අවංකවම පාඩුවේ ජීවත් වෙන එක හොඳයි.
ඉදිරි බලාපොරොත්තු ගැන කිව්වොත්
ඉස්සරහට විවිධ නිර්මාණවලින් රසිකයන්ට මාව දකින්න ලැබෙයි. එ් කොහොම වුණත් මගේ අනාගත බලාපොරොත්තුව නිරූපණ ක්ෂේත්රයෙන් ඉදිරියටම යන්න.