ආදරේ සින්නක්කර වුණාම ගෙවන්නේ වාරික වලින්ද? | සිළුමිණ

ආදරේ සින්නක්කර වුණාම ගෙවන්නේ වාරික වලින්ද?

ආදරය ඕනම වෙලාවක, ඕනම තැනකදි, ඕනම පුද්ගලයකු කෙරෙහි ඇති වෙන්න පුළුවන් හැඟීමක්. එහිදී ගැහැනිය ස්වභාවයෙන්ම සංවේදී, හැඟුම්බර චරිතයක්. ඇය නිතරම කැමති ආදරයේම දැවටෙන්න. ඇය ලොකු ලොකු දේවල් බලාපොරොත්තු වෙන්නෙ නෑ. පුංචි අගය කිරීම වුණත් ඇයට මහමෙරක්.

හිසේ කැක්කුමක් හැදුණු වෙලාවක බෙහෙත් පෙත්තක් බොන්න කියනවට වටා දැන් ඇය අම්ම කෙනෙක් වුණත් ඇය කැමතියි බෙහෙත් පෙත්තක් ගෙනැත් දීල මේක බොන්න මැණික කියල හිස අතගාල කියනවට. මොකද ඇය තාමත් බලාපොරොත්තු වෙන්නෙ ඉස්සර හිටපු ඒ ආදරණීය මිනිසාමයි. යාළුවෙලා ඉන්න කාලෙ කීව නම් වෛද්‍යවරයකු වෙත වුණත් ගෙන යන බව ඇය දන්නවා. අන්න ඒ ආදරයෙන් බිඳක් තමයි ඇය බලාපොරොත්තු වෙන්නෙ. බැන්දා කියලා ඒ ආදරේ අඩු වෙනව නම් එතන සැබෑ ආදරයක් තිබුණ ද? ඒ වගේම තමයි වෙහෙසකර දවසකට, ලෙඩක් හැදුණ දවසකට අනේ අදට අපි කඩෙන් මොනව හරි කමු නේද? කියල කිව්වහම අනේ මට ඔය කඩේ ජරාව කන්න බෑ. ඔන්න ඔහෙ මොනව හරි හදන්න, කියනවට වඩා ඇය බලාපොරොත්තු වෙන්නෙ, හරි අද ඔයාට සනීප නෑනෙ. එහෙනම් මං මොනව හරි අරන් එන්නම්. ඔයා ටිකක් ඇලවෙලා ඉන්නකො කියන පිරිමියකුට. ඒ ආදරේ වෙනුවෙන් ගැහැනිය පණ වුණත් දෙයි.

ලස්සන ඇඳුමක් ඇන්දම ඔයා ඕකට හරිම ලස්සනයි කියන්න බැරි නම්, මහන්සි වෙලා හදපු කෑම ටිකට රසයි කියන්න බැරි නම් එතන තියෙන්නෙ ආදරය ද කුහකකමද? ඇයි එහෙම වෙන්නෙ. පිරිමි හොඳටම දන්නව ගැහැනිය අගය කිරීම්වලට ආස බව. ඒ වගේම ඇය කැමතියි ළඟටම වෙලා රූපවාහිනිය බලන්න, විහිළුවක් කරල හිනාවෙන්න, ඉඳල හිටලවත් චිත්‍රපටයක් බලන්න යන්න, විනෝද ගමනක් යන්න, කෑමකට එළියට යන්න. මෙන්න මේ වගේ පොඩි පොඩි දේවල්වලින් තමයි ගැහැනිය සතුට හොයන්නෙ.

තමන්ගෙ උපන්දිනේ දවසෙ මුල්ම සුබපැතුම තමන්ගේ පෙම්වතාගෙන් හෝ ස්වාමියාගෙන් ලැබෙනව නම් ඇයට ඊට එහා දෙයක් නැහැ. තෑගිබෝග නෙවෙයි ඇයට ඕන හාදුවකින් හරි ඒ සුබපැතුමයි. පුංචියට හරි තෑග්ගක් දුන්නොත් ඇගේ සතුට ඉහවහා යාවි. මේ වගේ දේවල්වලින් තමයි ආදරේ අලුත් වෙන්නෙ. පවුල් ජීවිතේ යහපැවැත්ම රඳා පවතින්නෙ.

පොතක අත්සන් කරලා ගැහැනිය සින්නක්කර ලියා ගත්තට පස්සෙ යාළු වෙලා ඉන්න කාලෙ තිබ්බ ආදරේට මොකද වෙන්නෙ. ඒ හිතම තියෙන, ඒ පුද්ගලයාමයි විවාහයෙන් පස්සෙ ඉන්නෙත්.

මනසේ ක්‍රියාකාරිත්වය ගැන හොඳින්ම දන්නා කළුබෝවිල රෝහලේ වැඩ බලන මනෝ වෛද්‍ය විශේෂඥ ලක්ෂිකා අමරකෝන් කියන්නේ මෙහෙම දෙයක්.

“බඳින්න කලින් යාළු, වෙලා ඉන්න කාලෙ, යෝජනාවකින් නම් දෙදෙනා හඳුනාගන්න කාලෙ දෙන්නට මුණගැහෙන්න තියෙන්නෙ කෙටි කාලයයි. එක්කො පාර්ක් එකකදි, එහෙම නැත්නම් ෆිල්ම් හෝල් එකකදි, යාළුවොත් එක්ක හමුවීමකදි, නැත්නම් කෑමකට ගිය වෙලාවකදි. පොඩි කාලයක ගැටීමක් විතරයි තියෙන්නෙ. ඒ නිසාම පුළුවන් උපරිමයෙන් අනෙකා කෙරෙහි අවධානය යොමු කරන්න උත්සාහ කරනවා. පොඩි දේටත් ඕනෑවටත් වඩා කලබල වෙලා, කළහැකි උපරිමය කරන්නයි බලන්නේ. ඒත් කසාද බැන්දට පස්සෙ දෙන්න එකට ඉන්න ඕන. දෙන්න ගැටෙන කාලය වැඩියි. එතනදි තමයි එකිනෙකාගෙ අඩුපාඩු, දුර්වලකම් අපිළිවෙළ වගේ දේවල් දකින්න ලැබෙන්නේ. ඒ නිසා විවාහයෙන් පස්සෙ දෙදෙනාගේ චර්යාවන් ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන. පිරිසිදුකම, පිළිවෙළ තියාගන්නම ඕන.

මෙහිදී විශේෂ කාරණයක් සඳහන් කළ යුතුයි. විවාහ වෙන්න කලින් දෙදෙනා එක්ව අනාගත සැලැස්මක් හදාගත යුතුයි. එයින් ගැටුම් බොහෝ දුරට අවම කරගන්න පුළුවන්. විවාහයෙන් පස්සෙ වෙනමද ? මවුපියන් එක්කද ඉන්නෙ, කාන්තාව රැකියාවට යනවද නැද්ද, ළමයි හදනවද නැද්ද මෙන්න මේ වගේ දේවල් කතාබහ කරල තියාගැනීම ගොඩක් වැදගත්. අනිත් එක තමයි හැමදේ ගැනම දෙදෙනා සාකච්ඡා කරන එක. ලංකාව වැනි රටවල්වල තවමත් තියෙන්නෙ පිරිමි මුලික සමාජයක්. පිරිමියා තමයි හම්බ කරන්නෙ. බිරිඳත් රැකියාවට යන අවස්ථා තියෙනවා. ඒ වගේ අවස්ථාවලදි විවාහයෙන් පස්සෙ, ළමයි ලැබුණට පස්සෙ බිරිය ළමයි බලාගෙන, ගේදොර වැඩ බලාගෙන ඉන්න තීරණය කර තිබුණා නම් ගැටුමක් නිර්මාණය වෙන්නේ නැහැ. එහෙම නොවුණහම වෙන්නෙ බිරිය නිවසේ හිරකාරියක් වෙනවා. හැමවෙලේම දුකෙන් ඉන්නෙ, ඒක ළමයින්ටත් බලපානවා. ස්වාමියාටත් හිතෙනවා මේ මොන කරදරයක්ද කොච්චර කළත් සතුටක් නෑනෙ කියලා. මෙහිදී පාර්ශ්ව දෙකම තම තමන්ගේ යුතුකම් ගැන අවධානය යොමු කරන්න ඕන. ස්වාමියා උත්සාහ කරන්න ඕන ඉඳහිටවත් පවුලේ අයව කෑමකට, විනෝද ගමනකට එක්ක යන්න, උපන්දිනේ, වැලන්ටයින් දිනේ වගේ විශේෂ දවසකට පුංචි හෝ තෑග්ගක් ගෙනත් දීල බිරියව පුදුම කරන්න. බිරියටත් වගකීමක් තියෙනවා, ස්වාමියා කැමති කෑමක් හදලා දෙන්න, ලස්සනට ඇඳල පිළිවෙළට ඉන්න. මේ වගේ දේවල්වලින් තමයි ආදරය අලුත් වෙන්නෙ.

ඒ වගේම පවුල් ජීවිතය තුළ සමාවෙන්න කියන වචනය පාවිච්චි කරන්න මැළි වෙන්න එපා. වරද තමන්ගෙ නම් සමාවෙන්න කීම වරදක් නෙවෙයි. ඒ වචනය තුළ ලොකු බලයක් තියෙනවා. ඒ වගේම දෙදෙනා දෙදෙනාට ආදරය කරනව වගේම ගෞරව කරගැනීමත් වැදගත්. සැකය කියන එක නම් පවුල් ජීවිතය තුළට වැද්ද ගන්න එපා. එය ලොකු විනාශයක්. විශ්වාසය වැලඳගත්ත පවුල්වල පැවැත්ම ස්ථිරයි. තවත් වැදගත් දෙයක් තමයි බෙදා හදා ගැනීම. දුක, සතුට වගේම ගේදොර කටයුතු, දරුවන්ගේ කටයුතු දෙදෙනා අතර බෙදාගෙන කරගන්නව නම් හරිම පහසුයි. ‘කේන්තිය‘ කියන දේත් පවුල් ජීවිතේ හතුරෙක්. ඒ වගේ වෙලාවකදි එක්කෙනෙක් නිහඬව එතනින් ඉවත් වීම තමයි හොඳම පිළියම. මෙන්න මේ දේවල් ඔයාලගේ ජීවිතයට ළං කර ගත්තොත් ඔය වගේ ගැටලු කවදාවත් ඇති වෙන එකක් නැහැ.”

නාමලී ගමගේ

Comments