
- යූටියුබ් සහ Fb page එක හරහා පමණයි මේ නාට්‍ය බලන්න පුළුවන්
- වෙනස් අලුත් අත්දැකීමක් ප්‍රේක්ෂකයාට සමීප කිරීමයි අරමුණ
තාක්ෂණයේ දියුණුවත් සමඟ ලෝකයේ බොහෝ ක්ෂේත්‍රයන් නව මානයන් සොයා යද්දී ඒ හා සමගාමිව ටෙලි නාට්‍යය කලාව සහ සිනමාවත් බොහෝ සේ ඉදිරියට යමින් පවතිනවා. එවන් වකවානුවක දේශීය කලා ක්ෂේත්‍රයත් නව මානයට යොමු කරලීමේ අදිටනින් කැලුම් පාලිත මහීරත්න නම් ජ්‍යෙෂ්ඨ නිර්මාණකරුවා අලුත් වැඩකට මූලාරම්භය තබා තිබෙනවා. ඒ “අට පාස්“ වෙබ් ටෙලි නාට්‍ය මාලාව තුළින්. ඒ ගැනයි මේ කතා බහ.
මොකක් ද මේ “අට පාස්“ කියන්නේ. .
“අට පාස්“ කියන්නේ මම විශ්වාස කරනවා මේක ලංකාවේ පළමු වෙනි වෙබ් ටෙලි නාට්‍ය මාලාව. මේක සතියකට එක එපිසෝඩ් එක ගානේ විනාඩි 12 ත් 15ත් අතර කොටස් 10කින් තමයි සමන්විත වෙන්නේ. ඒක තමයි පසුගිය 13 වනදා රිලීස් වුණේ. මේක යූ - ටියුබ් සහ Fb page එක හරහා පමණයි බලන්න පුළුවන් වෙන්නේ.
මෙහි අන්තර්ගතය ගැනත් අපි සැකෙවින් කතා බහ කළා. එතැනදී කැලුම් පාලිත මහීරත්නයන් කියන්නේ අලුත් පරම්පරාවේ තියෙන පොඩි පොඩි අර්බුධ සම්බන්ධයෙන් කතා කරන වැඩක් බවයි. ඒක තවදුරටත් විග්‍රහ කරමින් ඔහු කියා සිටියේ මෑත කාලයේ අරගලයත් එක්ක තරුණ ජිවිත ගැන වැඩියෙන් කතා බහට ලක්වුණ නිසා සහ ඒ තරුණ සිතුම් පැතුම් වෙනස් නිසා රටේ ලොකු ලොකු දේවල් පවා සිද්ධ වුණ බවත්, ඒ දේ ඉදිරියට කොහොමද පවතින්නේ. ඒ එක්කම තරුණ පරම්පරාවේ සිතුම් පැතුම් යම් පමණකින් විශ්ලේෂණය කරන්න තමයි මේ තුළින් අරමුණු වෙලා තියෙන්නේ. ඒ තුළ තරුණ ජිවිත ඔවුන්ගේ ජිවිත දිනන්නේ කොහොමද? ඔවුන්ගේ අනාගතය සකස් කරගන්නේ කොහොමද? කියන එකත් එක්ක මේ කතාව ඉදිරියට යනවා.
ප්‍රේක්ෂකයන් මේ වෙබ් ටෙලි මාලාවක් වටා එකතු වෙයි කියන එක ගැන මොන වගේ විශ්වාසයක් ද තියෙන්නේ?
“අපි බරපතළ ලෙස විශ්වාස කරන එකක් තමයි අපි මේ අලුත් ට්‍රෙන්ඩ් එකට යන්න ඕනේ කියන එක. ලෝකයේ නිර්මාණ ගත්තම උදා විදියට Netflix , amazon prime වගේ ප්ලැට්ෆෝරම් හදලා ලෝකය අල්ලාගෙන ඉවරයි. ටෙලිවිෂන් එකෙන් මිනිස්සු ඈත් වෙලා අලුත් ප්ලැට්ෆෝරම් වලට මාරුවෙලා ඉන්නේ. Netflix ගත්තම ඒ අය කරන්නේ ටෙලි සීරිස්. ඒක තමයි අලුත්ම ට්‍රෙන්ඩ් එක. එතකොට මේ ට්‍රෙන්ඩ් එකට මේ ප්ලැට්ෆෝම් එකට පනින්න තමයි මගේ ඊළඟ වෑයම. ඒකට යන්න හොඳ අවස්ථාවක් විදියට තමයි මම දකින්නේ. සාමාන්‍යය ටෙලි නාට්‍යයක් කරන්න යන පිරිවැයට වඩා වැඩි පිරිවැයක් දරලා නාට්‍ය මාලාවක් එකක් කියන කන්සෙෆ්ට් එකම ඔළුවේ තියාගෙන කරපු වැඩක්. 13 වෙනිදා මෙහි පළමු එපිසෝඩ් එක රිලීස් වුණ නිසා දකින්න ඇති. බලපු අයට ඒක දැනෙන්නත් ඇති.“
මෙහි ඉන්න අලුත් මුහුණු, අපිට හුරු පුරුදු මුහුණු මෙහි කිසිවෙක් නැහැ. ඒ ගැනත් අපි කතා කළ යුතුමයි.
අපි මේ කතන්දරයටම යොදා ගත්තේ අලුත්ම තරුණ තරුණියන් අට දෙනෙක්. ඒ හැර ප්‍රවීණ කිසි කෙනෙක් මේකට රංගනයෙන් දායක වෙන්නේ නැහැ. අපි මේ අට දෙනා තෝරා ගත්තේ ඔඩිෂන් එකක් තියලා. ඒකට 125ක් 130ක් සහභාගි වුණා. ඒ අය අතරින් තමයි මේ අට දෙනා තෝරා ගත්තේ. ඒ එක්කම ඒ තෝරා ගත්ත අය අපි වැඩමුළුවකට යොමු කරලා තමයි මේකට යොදා ගත්තේ. ඒ විතරක් නෙවෙයි මුලදිම අපි සම්පූර්ණ පිටපතම ඒ අයට ලබා දුන්නා. ඒ නිසා තමන්ට තියෙන චරිතය පිළිබඳ හොඳ හඳුන්වා දීමක් කරලා තියෙනවා. ඒ නිසා ඒ හැමෝම මේකට සම්බන්ධ වුණේ කතාන්දරය තමන්ගේ ජිවිතේ කරගෙන. මොකද දැන් තියෙන චෝදනාවක් තමයි සෙට් එකට ගියාම පිටපත ලැබෙන්නේ කියන එක. මේවා එහෙම කරන්න බැහැ. මම කියන්නේ මේ අලුත් ට්‍රෙන්ඩ් එක ලංකාවේ හැදෙන්න ඕනේ. ඒකට තමයි අපි මේ උත්සාහ කළේ. ලැබෙන ප්‍රතිචාර එක්ක එහි පළමු පියවර සාර්ථකව නිම කරගත්තා කියලා මම හිතනවා.
මෙහි අවසානය ප්‍රේක්ෂකයාට යි ඔබ භාර කරන්නේ, එහි විශේෂත්වයක් තියෙනවා නේද?
මෙහි අපේ සම්බන්ධතාව අපි ඉදිරියට අරගෙන යන්නේ අපි එක්ක ඉන්න නරඹන්නන් එක්ක. එක එපිසෝඩ් එකක් ඉවර වුණාම අපි ප්‍රශනයක් අහනවා. ඒකත් අලුත් අත්දැකීමක්. එතැනදී අපි අහන්නේ ඊළඟ කොටසේදී අපි කළ යුත්තේ මොකක් ද කියලා. එතැනදී අපි ඕඩියන්ස් එකට දෙනවා අවස්ථා දෙකක්. උදාහරණයක් කිව්වොත් තුන්මං හන්දියක දී එපිසෝඩ් එක ඉවර වුණාම අපි අහනවා ප්‍රේක්ෂකයාගෙන් අපි ඊළඟට ගමන යා යුත්තේ මොන පාරෙන්ද කියා. එතකොට ප්‍රේක්ෂකයාගෙන් වැඩිම මනාපය තිබ්බ පැත්තෙන් මේ කතාව අරගෙන යන එක තමයි අපේ වගකීම. ඒ නිසා මේක අපිටත් පොඩි අභියෝගයක්. සතිපතා තමයි අපි ෂූට් එක කරන්නේ. ඒ වගේ වෙනස් අලුත් අත්දැකීමක් අපි ප්‍රේක්ෂකයාට සමීප කරනවා.
මෙහි පිටපත අසංක සායක්කාර. කැමරාකරණය චන්න දේශප්‍රිය. එතකොට මෙහි නිර්මාණ අධ්‍යක්ෂණය මගේ අතින් සිද්ධ වුණේ. අපිට කරන්න පුළුවන් ඉහළින්ම අපි මේ නිර්මාණය කළා. මම මේ කාලය තුළ කියන දෙයක් තමයි දැන් තියෙන ටෙලි ඩ්‍රාමා කියන කන්සේෆ්ට් එකෙන් එහාට ගිහින් දැන් පවතින ක්‍රමයට එකතු වෙන්න ඕනේ. උසස් තලයේ ප්‍රමිතියෙන් යුතු ටෙලි සීරියස් ලෝකයේ හැදෙනවා. මිනිස්සු ඒවා බලනවා. ඒ නිසා මේක දැන් ඉන්න අයට මැජික් එකක් නෙවෙයි. ඒවාට තමයි මිල හැදෙන්නේ. අපි දැන් ඩොලර් ගනුදෙනුවකට තමයි ලෑස්ති වෙන්න ඕනේ. රුපියල් ලක්ෂ දෙකකට ටෙලි නාට්‍යයක් හදලා චැනල් එකකට දීමෙන් රඟපාන නළු නිළියන්ට වැඩකුත් නැහැ. නාලිකාවලට යම් වාසියක් ඇති. ඒ හැර ක්ෂේත්‍රයක් විදියට දියුණු වෙන්න බෑ. මේක එක සැරේට කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. නමුත් අපි උත්සාහ කරන්න ඕනේ මේ ජාත්‍යන්තර ගනුදෙනුවට අනුගත වෙන්න.
මේක තව කොටස් 9කින් අවසන් වෙනවා, එතැනින් එහාට මොකක් ද කරන්නේ කියලා හිතලද තියෙන්නේ?
මේ වෙද්දී අපි සැලසුම් කරනවා ප්‍රයිම් වීඩියෝ එකත් එක්ක ටිකක් දිග ටෙලි සීරියස් එකක් කරන්න. කොටස් 24ක වගේ. ඒකට අවශ්‍ය වටපිටාව සකස් කරමින් ඉන්නවා. ඒ ප්ලැට්ෆෝම් එක අපි අල්ල ගත්තොත් අපි කාටත් දිනන්න පුළුවන්. මේ මාර්කට් එක එළියේ තියෙනවා. අපි හැර ලෝකයේ බොහෝ රටවල් මේ ප්ලැට්ෆෝම් එක එක්ක ගනුදෙනු කරනවා. අපිට වුණත් ඒ ලින්ක් එක හදාගන්න මාස හයක් වගේ කාලයක් ගියා. මේක හරියට කළොත් ජයගන්න පුළුවන් දෙයක්.“