ඉස්සන් මරන කූරෙන් මිතුරාට කෙටූ මිතුරෙක් | Page 2 | සිළුමිණ

ඉස්සන් මරන කූරෙන් මිතුරාට කෙටූ මිතුරෙක්

 

සිරිපාල තිස්පස් හැවිරිදි වියේ පසු වු පුද්ගලයෙකි. ඔහු යහළු මිත්‍රයන් විශාල පිරිසක් ආශ්‍රය කළේය. කොටින්ම කිවහොත් සිරිපාල සමාජශිලි තරුණයෙකි. ඔහු පදිංචිව සිටියේ මුහුදුකරය ආශ්‍රිත ගම්මානයකය. රැකියාව වශයෙන් ඉස්සන් ඇති කිරීමේ ව්‍යාපාරයක් ඉතා සරුවට කරගෙන ගියේය. සිරිපාල ඉන් විශාල ආදායමක්ද ලැබීය. කෙටි කාලයක් තුළ සිරිපාල ඉස්සන් කොටු කිහිපයකම හිමිකරුවකු බවට පත්ව සිටියේය. සිරිපාලගේ දියුණුවට ඇතැම් මිතුරන් ඊර්ෂ්‍යා කළහ. ඇතැමුන් සිරිපාල ඉතා සමිපව ඇසුරු කළද ඔහුට උගුලක් ඇටවීම සඳහා අවස්ථාව එනතුරු මග බලා සිටියහ. සිරිපාලට නියම මිතුරන් හඳුනා ගැනීමට නොහැකි වුයේය. ඔහුට වින කිරීමට එන මිතුරන් සිරිපාල හරිහැටි හඳුනා ගත්තේ නැත. එපමණක් නොව ඔහු මිතුරන් වෙනුවෙන් අත දිගහැර මුදල් ද වියදම් කළේය.

සිරිපාලට මිතුරන්ගෙන් ලැබෙන 'සාදවලින්' ද අඩුවක් නොවීය. දිනක් පස්වරුවේ සිරිපාල මිතුරන් පිරිසක් සමඟ සාදයකට සහභාගිවීම සඳහා නිවසින් පිටත්ව ගියේය. සාදය පැවැතියේ මුහුදුකරය ආශ්‍රිත අවන්හලකය. මෙකී සාදය මහ රාත්‍රිය පසුවන තුරුම පැවතිණි. සාදය අවසන් වී සිරිපාල තම මිතුරන් සමඟ එම අවන්හලෙන් පිට වුයේ නිවෙස්වලට ඒමේ බලාපොරොත්තුවෙනි. ඒ වන විට සියලු දෙනා පදමට මත් වී සිටියහ.

නමුත් සිරිපාල එදින රාත්‍රියේ යළි නිවසට පැමිණ සිටියේ නැත. මේ හේතුව නිසා සිරිපාලගේ පවුලේ අය කලබලයට පත්ව සිටියහ. පසු දින උදෑසන සිරිපලගේ ඥාතියකුට දුරකතන පණිවුඩයක් ලැබිණි.

“සිරිපාල අයියා පාර අයිනේ ලේ පෙරාගෙන වැටිලා ඉන්නවා“ යැයි එම දුරකතන පණිවුඩයෙන් කියැවිණි.

පවුලේ අය මෙම සිද්ධියෙන් දැඩි තැති ගැනීමකට ලක් වූහ. පොලිසියටද මෙම ආංරචිය ලැබීමට වැඩි වෙලාවක් ගත වූයේ නැත.

'සිරිපාල මරා දමලා' ඒ වන විට මේ පුවත ළැව්ගින්නක් සේ ගම පුරා ද පැතිරී ගොස් තිබුණේය. සිද්ධිය වූ ස්ථානයට පොලිස් නිලධාරින්ද පැමිණියහ. සිරිපාලගේ පපු ප්‍රදේශය ආශ්‍රිත රවුම් තුවාලයක් දක්නට ලැබුණේය. සිරිපාල වෙඩි තබා ඝාතනය කර ඇති බවට පොලිසිය උපකල්පනය කළේය. ඒ අනුව සිරිපාලගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන එනු ලැබීය.

පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වනු ලැබුවේ ගාල්ල කරාපිටිය වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය අංශයේ කථිකාචාර්ය සහ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි අජිත් රත්නවීරය. සිරිපාලගේ පපු ප්‍රදේශය තුළ තිබු තුවාලය කෙරෙහි අධිකරණ වෛද්‍ය නිලධාරි රත්නවීරගේ අවධානය යොමු විය. ඔහු මේ තුවාලය ඉතා සියුම් ලෙස නිරීක්ෂණය කළේය. එය සෙන්ටිමිටර් භාගයකින් පමණ යුත් ඕවලාකාර හැඩයෙන් යුක්ත විය. තුවාලය වටා කළු පැහැ ගැන්වි තිබිණි. මෙම තුවාලය දෙස බාහිරින් බලන විට ටි56 ගිනි අවියකින් වෙඩි තැබු ආකාරයක් දක්නට ලැබුණේය. පසුව අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා සිද්ධිය වූ ස්ථානයට ගොස් ස්ථානීය පරීක්ෂණයක් සිදු කරනු ලැබීය. එම ස්ථානයේ එතරම් ලේ වහනය වී ඇති බවක්ද දක්නට නොවීය. ඒ විතරක් නොව හිස් උණ්ඩ හා පතොරම් කොපුද එම ස්ථානයේ දක්නට ලැබුණේ නැත.

මළ සිරුර විච්ඡේදනය කිරීමට පළමුව සිරිපාලගේ සිරුර එක්ස් කිරණ පරීක්ෂාවට ලක් කිරීමට අධිකරණ වෛද්‍යවරයා විසින් කටයුතු කළේය. වෙඩි වැදීමකින් මරණය වී ඇද්දැයි සැක කරන විට මළ සිරුර ගන පොලිතින් කොළයක ඔතා කොටස් වශයෙන් එක්ස් කිරණ පරීක්ෂාවට ලක් කරන්නේය. මෙසේ පරීක්ෂා කිරීමෙන් ශරිරය තුළ වෙඩි උණ්ඩ සහ මුනිස්සම් තිබේනම් එම සංඛ්‍යාව සහ සිරුරේ ඒවා පිහිටා තිබෙන ස්ථානයන් එක්ස් කිරණ සේයා පටලය පරීක්ෂා කිරීමෙන් දැකගත හැකිය. එවැනි එක්ස් කිරණ පටල නඩු විභාගයකදී ඉදිරිපත් කිරීමෙන් මරණයට හේතුව, මරණය වී ඇති ආකාරය ඔප්පු කිරීමට අධිකරණ වෛද්‍යවරයාට බෙහෙවින් උපකාරි වේ.

එහෙත් සිරිපාලගේ එක්ස් කිරණ පරීක්ෂාවේදී සිරුර අභ්‍යන්තරයේ වෙඩි උණ්ඩ හෝ මුනිස්සම් ඇති බවට එක්ස් කිරණ පටලයේ දක්නට නොවීය. පසුව අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් සිරිපාලගේ තුවාලය තිබු ප්‍රදේශය හොඳින් සෝදා පිරිසිදු කළේය. එහි කළු පැහැයක් දක්නට ලැබිණි. එසේ වන්නේ ලේ කැටි ගැසීම නිසා බව අධිකරණ වෛද්‍යවරයාගේ නිගමනය විය.

“පපුවේ වම් පැත්තේ තමයි තුවාලය තිබුණේ. තුවාලයේ පිට හම අයින් කරලා ඇතුළ විවර කරලා බලන විට තුවාලය ගමන් කරපු මාවතක් තිබුණා. හම අයින් කළ විට ඉල ඇට දෙකක් අතුරින් ගමන් කොට වම් පෙනහැල්ලට හානිවෙලා තිබුණා. හෘදය වස්තුවේ දකුණු කෝෂිකාවත් පසාරු කරගෙන ගිහින් තිබුණා. වෙඩි තැබීමකින් වූ තුවාලයක් නම් තුවාලය දෙස බැලු විට අභ්‍යන්තර අවයව වලට වන හානිය මීට වඩා විශාල වෙන්න ඕන. උණ්ඩයත් එක්ක එන ශක්තිය සිරුරේ අභ්‍යන්තරයට එන නිසා තමයි අවයව වලට විශාල වශයෙන් හානි වෙන්න ඕන. නමුත් එහෙම දෙයක් වෙලා තිබුණේත් නැහැ. වෙඩි පහරින් සිදු වන තුවාලයක දක්නට ලැබෙන පිලිස්සුණු ගතියක් මෙහි තිබුණේ නැහැ. තුවාලය දෙස ඉතා සියුම් විදියට පරීක්ෂා කළ විට යම් කිසි උලක් වැනි දෙයකින් මොහුට ඇණීම නිසා මෙම තුවාලය ඇතිවෙලා තියෙන බවට අනාවරණය කරගත්තා.

තියුණු උලකින් ඇණපු නිසා මෙකී මරණය වී ඇති බවට පොලිසියට දැනුම් දුන්නා. පසුව පොලිසිය විසින් ඔවුන්ගේ පරීක්ෂණ කටයුතු වෙනත් දිශාවකට යොමු කළ“ බැව් අධිකරණ වෛද්‍ය නිලධාරි අජිත් රත්නවීර සඳහන් කළේය.

පසුව පොලිසිය විසින් මේ ගැන පරීක්ෂණ ආරම්භ කළේය. සිරිපාල මරා දැමීමට යොදාගෙන තිබුණේ ඉස්සන් මැරීම සඳහා යොදාගන්නා උල් කූරකි. ඉස්සන් කොටුවල සිටින ඉස්සන් මැරීම සඳහා ගනු ලබන්නේ තියුණු උල් කූරකි. පොලිසිය විසින් මෙකී ඝාතනයේ තොරතුරු අනාවරණය ගන්නේ මේ අයුරිනි.

සිරිපාල ඉස්සන් ඇති කිරීමේ ව්‍යාපාරය ඉතා සරුවට පවත්වාගෙන යාම නිසා ඇතැමුන් ඔහුට ඊර්ෂ්‍යා කළහ. ඔහුගේ දියුණුව ඇතැමුන්ට රිස්සුවේ නැත. ඒ විතරක් නොව ඉස්සන් කොටු සම්බන්ධයෙන් සිරිපාල සහ තවත් පාර්ශ්වයක් අතර කලක පටන් ආරවුල් ගැටුම් තිබිණි. සිරිපාල මෙලොවින් තුරන් කිරීම සඳහා සැලසුම් සකස් කරන්නේ සාදය අතරතුරදීය. සාදයට සහභාගි වී සිරිපාල ඇතුළු මිතුරන් පිරිස එන අතරමගදී මේ දේපාර්ශ්වය අතර වචන හුවමාරුවක් ඇති විය. එම වචන හුවමාරුව ගැටුමක් බවට පත්වන්නට වැඩි වේලාවක් ගියේ නැත. සිරිපාල සමඟ අමනාපයෙන් සිටි අයකු ඉස්සන් මැරීම සඳහා ගන්නා ඉන්නකින් සිරිපාලගේ පපු කුහරය පසාරු කරගෙන යන ලෙස අණිනු ලැබීය. සිරිපාලට කිසිවක් කරකියා ගැනීමට හැකි වූයේ නැත. හේ එකවරම මහ මඟ ලේ පෙරාගෙන ඇද වැටුණේය. මිතුරන් පිරිස සිරිපාල දමා යන්නට ගියහ. පසුව පොලිසිය විසින් මෙකී ඝාතනයට සම්බන්ධ පුද්ගලයා සහ ඒ සඳහා යොදාගත් උල් කූර ද අත්අඩංගුවට ගනු ලැබීය.

මෙකී අපරාධය මීට වසර පහකට පමණ පෙරදී සිදු වූවකි.

ගාල්ල කරාපිටිය වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය අංශයේ ප්‍රධානි විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි අජිත් රත්නවීරගේ අත්දැකීම් ඇසුරෙනි.

 

Comments