
සිඩ්නි චන්ද්‍රසේකරයන් ඔහුගේ රංගනය දැක දිනෙක ලංකාවේ හොඳ නළුවෙක් වන බවට අනාවැකි ද පළ කර, ඔහුගේ නමත් දර්ශන් ධර්මරාජ් ලෙස වෙනස් කරලා
දර්ශන් ධර්මරාජ්ට හොඳට චිත්‍ර අඳින්නත් පුළුවන්
සිංහල ප්‍රේක්ෂකයන් වඩාත් පෙම් කළ දෙමළ නළුවා
නළුවෙක් වෙන්න කොළඹ ඇවිත් පිටකොටුවේ නාට්ටාමි රස්සාවත් කරලා
කැමරාවෙන් මෙපිට බොහෝ චරිත රඟ දක්වන නළුවන් අතරේ කැමරාව ඉදිරියේ පමණක් සිය නළු භූමිකාව රඟදක්වා සැබෑ ජිවිතේ තුළ සරලව ජිවිතේ විඳි නළුවන් අප දැක ඇත්තේ අතළොස්සකි. කිසිදා පිරවිය නොහැකි හිඩැසක් නිර්මාණය කරමින් 2022. ඔක්තෝබර් 02 වනදා සිය නිරූපණය අත් හැරී දර්ශන් ධර්මරාජ් එබඳු විරල නළුවෙකි. එමෙන්ම සිනමා නළුවෙක්ට ආදරය කරන්න ජාති භේද අදාළ නොවන බව ද ඔහු සිය කාලය තුළ මැනවින් ඔප්පු කරන්නට විය.
දර්ශන් ධර්මරාජ් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හෘදයාංගම නිහතමානීම මිනිසෙකි. එපමණක් නොව සිංහල සිනමාවට බොහෝ කාලයක් වැඩ ගන්න තිබුණ අමුතුම පෞරුෂයකින් හෙබි පුද්ගලයෙකි. ඉතාම දක්ෂ චරිතාංග නළුවෙක් වන දර්ශන් ස්වකීය මහන්සියෙන් සිය ගමන් මඟ සකසා ගත් කෙනෙකි.
1981 මාර්තු මස 02 දා සබරගමුව පළාතේ රක්වාන ප්‍රදේශයේ උපත ලැබූ ලිංගනාදන් ධර්මරාජ් රක්වාන ශාන්ත ජෝන් දෙමළ විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරන ලදි. කුඩා කල සිටම කලාවට ඇළුම් කළ ඔහු චිත්‍ර කලාවට ද මැනවින් දක්ෂතා පෙන්නුම් කරන්නට විය. පාසල් වේදිකාවෙන් රංගනය ආරම්භ කළ ඔහු කවදා හෝ නළුවෙකු විමේ සිහිනය දුටු අයෙක් විය. නළුවෙකු වන්නට සිතා කොළඹ රැකියාවට පැමිණි ඔහුගේ මූලික අභිලාශය වූයේ රැකියාවක් කිරීම නොව නළුවෙකු වීමයි. සිය ජිවිතේ එකම අභිලාෂය මුදුන් පමුණුවා ගැනීමට විවිධ රැකියාවන් කරමින් ගෙන්දගම් පොළව සමඟ ඔට්ටු විය. ඔහු විටෙක සිය මිතුරන් සමඟ අතීතයේ දී කතා කළ දේ තුළ ඔහුගේ ජිවිත ඉලක්කය දිස්වන්නට විය.
“මං රක්වානෙ. සෑහෙන කට්ටක් කන්ඩ වෙනව බං කොළඹ ඇවිත් නළුවෙක් වෙන්ඩ. මං මුට්ටත් කර ගැහුව බං කාලයක්. කෝමහරි අපි මේක හොඳට කරන්ඩ ඕනෙ.“
LTTE කලබල කාලයේ රක්වානේ සිට මුරපොළවල් 12ක් පසුකර කොළඹට එන අතරමඟ ඔහුගේ මුදල් පසුම්බිය නොමැති වීමෙන් ඔහුගේ හැඳුනුම්පත ද ඔහුට අහිමි වී ගොස් තිබුණි. පිටකොටුවේ හැඳුනුම්පත නොමැතිව කළ හැකි එකම රස්සාව නාටාමි රැකියාව නිසා කලක් එයද ඔහුගේ රැකියාව විය. එකල ඔහුගේ රාත්‍රී නවාතැන වී තිබුණේ ආමර් වීදියේ ලී බඩු සාප්පු ඉදිරිපිට ඇති ලි තට්ටුව හෝ කොටුව ස්ටේෂන් බිමයි. LTTE කාලයේ ජිවිතය, වැල්ලවත්ත බෝඩිම, පිටකොටුව මැනිං මාකට් එකේ, මරදානේ ජිවත් වූ කාලය ලේසි පහසු දෙයක් නොවන වග ඔහුගේ කතාවන් තුළ මනාසේ ගැබ් විය.
ජිවිතේ සමහර කාලවලදී දුක් කරදර එන්නේ කරපින්නා ගෙන සේම ඒ කාලයේ ධර්මරාජ්ගේ බාල සහෝදරියට රෝගාතුරව නවලෝක රෝහලේ ප්‍රතිකාර ලැබූ නිසා කෙසේ හෝ දිනකට රුපියල් 3500ක් සෙවීම අනිවාර්යය විය. ඒ නිසාම පිටකොටුවේ මාලු කඩේ, මාලු පෙට්ටි, අයිස් හොන්ඩර්, ලුණු මුට්ට කර ගසා හොයන සල්ලි නංගිගේ වියදමට එකතු කර ආනමාළු කෙසෙල් ගෙඩියක් සහ මාරි බිස්කට් පැකට් එකක් රාත්‍රී ආහාර වේලට ගෙන කුස පුරවා ගත් රැයවල් අපමණ විය.
කාලය කෙමෙන් ගත වෙද්දී, සිය අරමුණට මඟ කියන්නට හැකි නිර්මාණයකට දායක වෙන්නට වරම් ලැබිණි. ඒ සිඩ්නි චන්ද්‍රසේකර මහතාගේ A9 නිර්මාණය තුළිනි. ධර්මරාජ් දමිළ ජාතිකයෙකු වූ බැවින් ඔහුට ඒ වන විට සිංහල භාෂාව භාවිත කිරීමේදී ගැටලු මතු විය. කෙසේ වෙතත් ඔහු මාස 3ක් පමණ කෙටි කාලයක් ඇතුළත සිංහල භාෂාව ඉගෙනගත්තේ ද සිය ඉලක්කය අරමුණ කෙසේ හෝ නළුවකු වීම නිසාවෙනි. සිඩ්නි චන්ද්‍රසේකරයන් එදා ඔහුගේ රංගනය දැක දිනෙක ලංකාවේ හොඳ නළුවෙක් වෙන බවට අනාවැකි ද පළ කර ඔහුගේ නමත් දර්ශන් ධර්මරාජ් ලෙස වෙනස් කරන්නට විය.
දර්ශන් ධර්මරාජ් සිනමා ජීවිතය ආරම්භ කළේ 2008 වසරේ දී ප්රභාකරන් චිත්‍රපටියෙනි. ඒ “ප්රභාකරන්“ චිත්‍රපටයේ ත්‍රස්ත නායකයා ලෙස රංගනයේ යෙදෙමින් සිනමාවට අවතීර්ණ වූ ඔහු ඉන්පසු උබෙර්තෝ පැසලෝනීගේ “මචං“ හි සුරේෂ්, බෙනට් රත්නායකගේ “ඉර හඳ යට“ හි ත්‍රස්ත සෙබලෙක්, “ඉනි අවන්“ හි අවන්, බූඩී කීර්තිසේනගේ "මාතා" හි යෝගා, ජැක්සන් ඇන්තනීගේ “ඇඩ්රස් නෑ“ හි ගුබ්බෑයමේ ගෝරින්, සුනෙත් මාලිංග ලොකුහේවාගේ “ස්පන්ධන“ හි දර්ශන්, චත්‍ර වීරමන්ගේ “ආලෝකෝ උදපාදී“ හි දමිළ රජු, හර්ෂ උඩකන්දගේ "උලත් එකයි පිලත් එකයි“ හි කරාපිටියේ දර්ශන්, සංජීව පුෂ්පකුමාරගේ “දැවෙන විහඟුන්“ හි ගව ඝාතකයා, සුජීව ප්‍රියාල් යද්දෙහිගේ “සුපර්ණා“ හි AVO 433 නැමැති භීම ග්‍රහලෝක ජීවියා සහ බී. සිරිතුංග පෙරේරාගේ “පෝරිසාදයා“ හි කළු මහත්තයා, හර්ෂ උඩකන්දගෙ “කබඩි“ චිත්‍රපටයේ “ධර්මරාජ්“ සහ සෝමරත්න දිසානායකගේ “සුනාමි“ චිත්‍රපටයේ ත් ඔහු විශිෂ්ට රංගනයක නිරත විය.
අශෝක හඳගම අධ්‍යක්ෂණය කළ ඉනිඅවන් චිත්‍රපටයේ අවන් නම් හිටපු කොටි සාමාජිකයෙකු ලෙස රඟපෑම වෙනුවෙන් ඔහු සම්මානයට පාත්‍ර විය. 2013 Derana Lux Film Award හි හොඳම නළුවා සම්මානය ද 2014 Hiru Golden Film Award හි හොඳම නළුවා සම්මානය ද හිමිවිය. එය ලාංකීය සිනමාවෙ දමිළ රංගන ශිල්පියෙක් සිංහල චිත්‍රපටයක රංගනය වෙනුවෙන් සම්මාන ලැබූ පළමු අවස්ථාව විය. එමෙන්ම 2018 වසරෙ හොඳම නළුවා ලෙස දෙරණ සිනමා සම්මානය දිනාගත්තේ ද ඔහුයි. ඒ “පෝරිසාදයා“ චිත්‍රපටය වෙනුවෙනි. ඉන් පසුව ද හොඳම නළුවා ලෙස ඔහු සම්මාන උළෙල රැසකින් සම්මාන හිමි කර ගැනීමට ද සමත් විය. එමෙන්ම 2020 වසරේ ආචාර්ය සෝමරත්න දිසානායකයන් නිර්මාණය කළ “සුනාමි“ චිත්‍රපටයේ ද කැපී පෙනෙන රංගනයක නිරත වූ දර්ශන් ධර්මරාජ්ට Bayelsa අන්තර්ජාතික සිනමා උලෙළේ හොඳම නළුවා සම්මානයට නිර්දේශ විය.
දර්ශන් ධර්මරාජ්ට හොඳට චිත්‍ර අඳින්නත් පුළුවන් නිසා ඔහු සිනමා නිර්මාණ එතරම් නොලැබුණු කාලයේ තමන් විසින් ඇඳපු චිත්‍ර බම්බලපිටියේ මැජෙස්ටික් ශාලාව ඉදිරිපිට විකුණන්නට විය. ඔහුට සිය ජිවන සහකාරිය මුණ ගැසෙන්නේද ඔහු අධ්‍යාපනය හැදෑරූ පාසලට චිත්‍ර කිහියක් අඳින්නට ගිය අවස්ථාවකදී ය. එතැනදී ඔහුට මුල්වරට සුභාෂිණී ගුරුතුමියව මුණගැසී තිබුණි. පසුව ඔවුන් හොඳ යාළුවෝ බවට පත්වු අතර කාලයත් සමඟ ඔහු ඇයට ආදරය ප්‍රකාශ කර තිබුණි. එදා ඔහුට ඇය කියා තිබුණේ තමා ගැන අදහසක් තියෙනවා නම් ලියුමක් ලියලා දෙන්නට කියා ය. ඇයත් එවිට ලියුමක් ලබා දෙන බව ද කියා ඇත. කෙසේ හෝ අන්තිමේ දී දෙදෙනා හුවමාරු කරගෙන තිබෙන්නේ හිස් කොළයක් පමණයි. ප්‍රේමයේ ඇරඹුම එසේ වුවද 2008 වසරේදී දර්ශන් සහ සුභාෂිණී විවාහ ගිවිස ගෙන ඇත. පසු කලෙක “අභී“ නම් සුන්දර දියණියක් ලද සෙනෙහෙබර මවුපියෝ වූහ.
ටෙලිනාට්‍ය තුළින් විවිධ වූ චරිත නිරූපණය කරමින් සිය රංගන හැකියාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට ඔහු සමත් විය. ලාංකීය සිනමාවෙන් ඔබ්බට ගොස් ඉන්දියානු සිනමාවට ද පය තැබීමට ද දර්ශන් ධර්මරාජ් සිහින දැක්කේය. ඔහුටම ආවේණික වූ හැඟීම් ප්‍රකාශය, අංග චලනය, කතා විලාශය, රංගනය, පෞරුෂය රැගත් රංගනශිල්පියෙකු නැවත කිසිදිනෙක බිහි නොවෙනු ඇත.
දර්ශන් ධර්මරාජ් රංගනයෙන් දායක වුණ ඓතිහාසික තේමාව රැගත් “ප්‍රාණ - The Seeds“ චිත්‍රපටය ඉකුත් දා තිරගත විය. එහි ඔහු සංකිලි රජු විය. නමුත් එහි ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙන්නටත් මත්තෙන් ඔහු අපෙන් සමුගෙන ඇත. එසේම ඉදිරියේදී තිරගත වීමට නියමිත අරුණ ජයවර්ධන අධ්‍යක්ෂණය කළ “මාරියා“ චිත්‍රපටය මෙන්ම ඔහු රංගනයෙන් දායක වූ ජීවා, ආකර්ෂා, බන්දුරා, මොණර විලක්, house of my fathers, Adventures of Ricky Deen ඉදිරියේදී තිරගත වන විට ඔහුගේ රූපණයන් අපිට දැක ගන්නට ලැබෙනු ඇත.
හදිසියේ ඇතිවූ හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් දර්ශන් ධර්මරාජ් නම් සොඳුරු හෟදයාංගම නිහතමානි කලාකරුවා පසුගියදා (ඔක්තෝම්බර් 02 දා) වයස අවුරුදු 41 දී සමුගෙන යන්නේ
“ලොව ඇත්තේ යාම් සහ ඊම් ය
නොගොස් එන්ට බැරිය
නෑවිත් යන්න බැරිය“
යන සැමට පොදු වූ ධර්මතාවය යළි යළිත් පසක් කරලමිනි. දර්ශන් ගැන බොහෝ දෙනා සටහන් තබා ඇත. සහෘද කලාකරුවන්ට සේම ප්‍රේක්ෂකයින්ට දර්ශන් නැති අඩුව තදින්ම දැනෙනු ඇත. ජීවත්ව සිටි කාලයේදීවත් මේ තරම් විශාල ආදරයක් ලැබෙතැයි ඔහු නොදැන ඉන්නට ඇත.
ඔබ සදාකල්හිම ප්‍රේක්ෂක මතකය තුළ සිටිනු නොඅනුමානයි. දර්ශන් ධර්මරාජ් නම් සොඳුරු රූපණවේදියාණනි ඔබට සුබ ගමන් !