මේ කාලය සිනමාවේ මට ලැබුණු හොඳ කාලයයි | Page 2 | සිළුමිණ

මේ කාලය සිනමාවේ මට ලැබුණු හොඳ කාලයයි

 

ලංකාව ඇතුළේ ශ්‍යාම් ප්‍රනාන්දු සලකුණු වන ආකාරය සවිඥානිකව බලන් ඉන්නවා

මනිරත්නම් වගේ අධ්‍යක්ෂවරයෙක්ගේ සිනමාපටයකට දායක වෙන්න ලැබීම ලොකු වාසනාවක්

 

සම්මානිත ප්‍රවීණ රංගන ශිල්පී ශ්‍යාම් ප්‍රනාන්දු රංගනයෙන් දායක වන සිනමා නිර්මාණ කිහිපයක් ම එක දිගටම දැක බලා ගන්නට හැකි කාලයක් උදාවී තිබෙනවා. එකිනෙකට වෙනස් වූ චරිත තුළින් සිනමා ප්‍රේක්ෂකයන් අතරට එන ඒ නිර්මාණ ගැන ශ්‍යාම් ප්‍රනාන්දු සමඟ කළ කතා බහයි මේ.

“මේ දවස්වල වෛද්‍ය කපිල සූරියආරච්චි අධ්‍යක්ෂණය කළ මම රංගනයෙන් දායක වූ සිනේමා චිත්‍රපටය තිරගත වනවා. ඒක සිනමාව ගැනම කතා කරන පවුල් පිටින් ගිහින් නැරඹිය හැකි චිත්‍රපටයක්. ඒ නිසා මේ දිනවල එහි ප්‍රවර්ධන කටයුතු සඳහා සහභාගී වෙනවා.

ඒ එක්කම මම රඟපෑ ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ෂක මනි රත්නම් අධ්‍යක්ෂණය කළ “පොන්නියන් සෙල්වම්” චිත්‍රපටය ලංකාවේ තිරගත වීම පසුගිය සැප් 30 වැනිදා සිට ආරම්භ වුණා. එය මට පෞද්ගලිකව ලැබුණු සුවිශේෂී අවස්ථාවක් විදියට මම දකින්නේ. මනිරත්නම් වගේ අධ්‍යක්ෂවරයෙක්ගේ සිනමාපටයකට දායක වෙන්න ලැබීම ඉන්දියාවේ රංගන ශිල්පින්ගේත් සිහිනයක්. එහෙම වෙද්දී ලංකාවේ නළුවෙක් විදියට මට දායක වෙන්න ලැබීම ලොකු වාසනාවක්. එහි මගේ භූමිකාව වෙන්නේ ලංකාවේ ජීවත් වුණු අනුරාධපුර යුගයේ අවසන් රජුවන පස්වන මිහිඳු රජුගේ චරිතය. ඒ අවස්ථාව මට ලැබුණේ ඔවුනට අවශ්‍ය වුණා ඒ චරිතයට සිංහල කතා කරන නළුවෙක්. එතැනදී මගේ වාසනාවට ඔවුන් බලලා තිබ්බා ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ඔබ නැතුව ඔබ එක්ක චිත්‍රපටය. මනිරත්න මහතා මට හමුවුණු වෙලාවේ කිව්වා ඒ චරිතය දැක්කම තමයි මේ නළුවාව කැඳවන්න හිතුණේ කියලා. මෙහි සම්බන්ධිකරණ කටයුතු සහ සිංහල දෙබස් පවා ලිව්වේ ප්‍රසන්න විතානගේ. ප්‍රසන්න විතානගේ කියන්නේ ඉන්දියාවේ සිනමා ශිල්පින් අතර ප්‍රකට චරිතයක්.“

සංජය නිර්මාල් අධ්‍යක්ෂණය කළ “ප්‍රාණ“ චිත්‍රපටයත් ඔක්තෝබර් මස 6වැනිදා සිට ප්‍රේක්ෂකයන්ට භාරයි. ඒ ගැන කතා කළොත්

“මාව කාලයකට පස්සේ වෙනස් විදියේ රංගනයක් දකින්න ලැබෙන සහ මම ඉතාම කැමැත්තෙන් දායක වුණු සිනමා නිර්මාණයක්. ඒ නිසා බලාපොරොත්තු ගොඩක ඉන්නවා මේ චිත්‍රපටය ප්‍රේක්ෂකයන් දකින්නේ කොහොමද සහ ඇති වන සංවාද මොනවද කියන දේ ගැන. විශේෂයෙන් කියන්න ඕනේ ප්‍රාණ චිත්‍රපටය ඉතා හොඳ කණ්ඩායමක් එකට එකතු වෙලා කරපු වැඩක්. ඒ නිසා අපේ පැත්තෙන් අපි බලාපොරොත්තු වෙනවා ලංකාව ඇතුළේ හොඳ ප්‍රතිචාර ලැබෙයි සහ භාෂා තුනෙන්ම මෙහි නිෂ්පාදන කටයුතු සිද්ධ වෙලා තියෙන නිසා ජාත්‍යන්තර වෙ‍ෙළඳළක් විවෘත වෙයි කියලා. ලංකාවේ ඉතිහාසය පාදක කරගත් කතා ඇතුළේ තිබුණේ රජ කෙනෙක් මූලික කරගත් කතා. මෙහි වෙනස තියෙන්නේ රජවරුන්ගෙන් පරිබාහිරව සාමාන්‍ය මිනිස්සු සහ මිනිස්සුන්ගේ තියෙන විශ්වාසය ඇදහිල්ල සහ මිනිසුන්ගේ ජිවිතේ පැවැත්ම ප්‍රශ්න කරන චිත්‍රපටයක්. ප්‍රාණ චිත්‍රපටය තුළ කතා වෙන්නේ පෘතුගීසි ලංකාව ආක්‍රමණය කළ කාලය ගැන කතාවක්. එහි මගේ භූමිකාව වෙන්නේ, ඉන්දියාවේ සිට කිතුනු දහමේ පණිවිඩය අරගෙන ලංකාවට මුල් වකවානුවේම ආව. උතුරු මන්නාරම ප්‍රදේශයේ කිස්තු දහම ගැන දේශනා කළ පියතුමෙක් වන ෆාදර් ලිසානෝගේ චරිතය.“

මේ ගත වෙන්නේ ශ්‍යාම් ප්‍රනාන්දුගේ කාලය දෝ කියලත් හිතෙනවා. සිනේමා, පොන්නින් සෙල්වම් එතනින් පස්සේ ප්‍රාණ එනවා...

“මිනිසුන්ගේ සාමාන්‍ය ජීවිතෙත් තියෙනවානේ උස් පහත් වීම්. මමත් පෞද්ගලිකව විශ්වාස කරනවා මේ කාලය සිනමාවේ මට ලැබුණු හොඳ කාලයක් කියන එක. ප්‍රාණ චිත්‍රපටයෙන් පස්සේ ප්‍රසන්න විතානගේ “ගාඩි“ චිත්‍රපටය එනවා. ඒ නිසා ඔබ කිව්වා වගේම මමත් විශ්වාස කරනවා 2022 වසරේ මේ ගතවන කාලය මට සුවිශේෂී කාලයක්. ඒක මම නිහතමානීව හිතුවත් ආඩම්බරයෙන් හිතුවත් ලෝකයේ ඕනෑම රටක නළුවෙක්ට එක දිගට මාස කිහිපයක් ඇතුළත චිත්‍රපට ප්‍රදර්ශනය වීම විශේෂ දෙයක්. ඒ නිසා බොහොම ආසාවෙන් බලාගෙන ඉන්නවා ප්‍රේක්ෂකයන් ශ්‍යාම් ප්‍රනාන්දු කියන නළුවාව විවිධ චරිත ඔස්සේ භාර ගන්න විදිය සහ ලංකාව ඇතුළේ ශ්‍යාම් ප්‍රනාන්දු සලකුණු වෙන ආකාරය සවිඥානිකව බලන් ඉන්නවා.‍“

ගාඩි එකෙන් පස්සෙත් එන්න නිර්මාණ තියෙනවද?

“නිර්මාණ කිහිපයක්ම එන්න තියෙනවා. අනුපිළිවෙළින් නොවුණත් ප්‍රියන්ත කළුආරච්චි අධ්‍යක්ෂණය කළ රතු සමනල හීනයක්. ඒ එක්කම චන්න දේශප්‍රිය අධ්‍යක්ෂණය කළ දූශ්රා චිත්‍රපටය එන්න තියෙනවා.“

අද වෙද්දී ප්‍රේක්ෂකයා ගැන මේ මොහොතේ තියෙන්නේ මොන වගේ විශ්වාසයක් ද?

“පසුගිය කාලය තුළ ලංකාවේ අපි හැමෝම සමාජ, ආර්ථික, දේශපාලන පසුබෑම් කිහිපයකට මුහුණ දෙමින් හිටියා. කොරෝනා එක්ක ජිවිතේ නතර වුණා. ඊට පස්සේ තෙල් අර්බුද එක්ක තෙල් පෝලිම්වල ජිවිත ගෙවුණා. ජිවිතේ සම්පුර්ණයෙන්ම හිර වෙලා තිබුණු කාලයක මෑතක ප්‍රදර්ශනය වුණු චිත්‍රපට තුළින් සිනමාශාලාවට ප්‍රේක්ෂකයන් එකතු කරන්න පටන් ගත්ත. ඒ නිසා ඒ චිත්‍රපටවලට කෘතවේදී වෙන්න ඕනේ නැවත ප්‍රේක්ෂකයින් සිනමාශාලා වලට කැඳවන්න සමත් වීම ගැන. මම හිතනවා තවමත් කිසියම් ආකාරය ආර්ථික ප්‍රශ්න තිබුණත් මිනිස්සුන්ගේ හිත ඇතුළේ තියෙනවා මිට වඩා හිරවෙලා ඉන්න බැහැ කියන එක. ඒකත් එක්ක මිනිස්සු සමාජ ජිවිතේ දැඩිව හොයන වැලඳ ගන්න කාලයක අපි ඉන්නේ. ඒක සිනමාවට ඉතාම හොඳින් යොදාගන්න පුළුවන් අපි දැනුම්වත්ව සැලසුම් සහගතව ප්‍රවර්ධනය කිරීම තුළින්. ඒ නිසා මම හිතනවා මේ චිත්‍රපට කිහිපයම ගුණාත්මක සිනමා නිර්මාණ නිසා ප්‍රේක්ෂකයන් සිනමාශාලාවලට කැඳවා ගන්න සමත් වෙයි කියලා. ඒ නිසා මම ප්‍රේක්ෂකයන්ට ආරාධනා කරනවා මේ අවස්ථාව උපරිමයෙන් ප්‍රයෝජනයට ගන්න.


 

ජායාරූප - හසිත නිලුපුල්

Comments