මම මැරෙන්න බය නැහැ | Page 2 | සිළුමිණ

මම මැරෙන්න බය නැහැ

අතින් වියදම් කරලා සෙල්ලම් කරන්න පුළුවන් කාලයක නෙමෙයි ඉන්නේ

 

ඩිලන්ත මාලගමුව කිවුව ගමන්ම ඒ කවුද මොනවද කරන්නේ කියලා නොදන්න කෙනෙක් නැහැ . ඔහු තමයි මෝටර් රථ ධාවන තරග සඳහා මෙරට නියෝජනය කරන ලංකාවේ දක්ෂතම මෝටර් රථ ධාවන ශූරයා වෙන්නේ. ජාත්‍යන්තර තරගවල දෙසීය වතාවකට වඩා ශ්‍රී ලංකාවේ ධජය ඉහළට ඔසවන්න තරම් ඔහුගේ හැකියාව ප්‍රබල වුණා. ලෝකයක් හමුවට පුංචි ලංකාව අරගෙන ගියා. එනිසා කවුරුත් ආදරේ කරන ඔහු ගැනයි මේ

 

දැන් වැඩිපුර ව්‍යාපාරවලට මුල්තැන දීලා වගේ නේද ඉන්නේ..?

එහෙම නැහැ . නමුත් ව්‍යාපාර කටයුතු වලටත් දැන් මූලිකත්වය දෙනවා. රටේ ප්‍රශ්න එක්ක ඒවත් අඩ පණ වෙලා තියෙන්නේ

 

ලෝක ශූරතා මෝටර් රථ ධාවන තරග ළඟදීම පැවැත්වෙනවා, සම්බන්ධ වෙන්න අදහසක් නැද්ද ..?

මෝටර් රථ ධාවනය කියන්නේ කොහොමත් අපිම වියදම් කරලා කරන්න ඕන ගේම් එකක්. කවදත් එහෙමයි. තිබ්බ ආසාව නිසා මගේ සල්ලි වියදම් කියලා තරගවලට සම්බන්ධ වුණා. ලෝක ශූරතා මෝටර් රථ ධාවන තරගවලට සම්බන්ධ වෙලා මම තෙවැනි තැන අරන් තියෙනවා. මේ පාර යන්න කැමැත්තෙන් ඉන්නවා. ආසයි යන්න. ඒත් ස්පොන්සර් කෙනෙක් ලැබුණොත් යනවා නැත්තම් යන්නේ නැහැ. අතින් වියදම් කරලා සෙල්ලම් කරන්න පුළුවන් කාලයක නෙමෙයි ඉන්නේ .

ඒ වගේම ඔක්තෝබර් 30 වැනිදා ප්‍රංශයේ පැවැත්වෙන ලෝක මෝටර් රථ ධාවන ඉසව් සඳහාත් අවස්ථාව ලැබුණා . බලමු මොකද කරන්නේ කියලා

 

මුදල් හොයාගෙන මේ වගේ තරග සදහා සම්බන්ධ වෙන්න සිදු වෙලා තියෙන එක ගැන කනගාටුක් නැද්ද ..?

කනගාටුවක් නම් නැහැ, හැමදේම කරේ ආසාවටනේ. රජයෙන් උදවු ලැබෙනවා නම් අනිත් ක්‍රීඩාවලට වගේ හොඳයි ඉතිං . තව ක්‍රීඩකයින් බිහිවෙන්න හරි උදව්වක් වෙයි.

 

සිය වතාවකට වඩා ඔබ ජාත්‍යන්තර තරග ජයග්‍රහණය කර තිබෙනවා, ඒ හැම මොහොතකම ශ්‍රී ලංකාවේ ධජයත් එසවිලා තියෙනවා ඒ ඒ රටවල..?

තමන්ගේ ජාතික ධජය ඔසවන්නේ පළමු-දෙවන හෝ තෙවන තරගකරුවන් සඳහා විතරයි. මම ඒ විදිහට දෙසීයකට වඩා එක, දෙක තුන වෙලා තියෙනවා. ඒ අවස්ථාවට මුළු ලෝකයම නියෝජනය වෙනවා. ඒ වගේම ලෝකයක් අපේ රට දකිනවා, අපේ ධජය දකිනවා, ජාත්‍යන්තරය නියෝජනය කරන්න ලැබීමම ලොකු දෙයක් කියලා මම නම් හිතන්නේ.

 

ඔබ මෝටර් රථ ධාවනය ක්‍රීඩාවක් විදිහට තෝරා ගන්නේ 79 අවුරුද්දේ ..?

ඔව්. මම ජාත්‍යන්තර තරග නියෝජනය කරන්නේ 1983 දී. අවුරුදු 41ක් මම තරග නියෝජනය කරනවා.

 

එතකොට ජපානයට යන්නේ..?

මෝටර් රථ ධාවනයට තියෙන ආසාවට තමයි . මට ඉන්දියාවේදි මුණගැහුනා ජපන් මිත්‍රයෙක්. ඔහු කිවුවා රේස්වලට හොඳම රට ජපානය කියලා. මම එහේ අවුරුදු 25ක් හිටියා. මැලේෂියාවේ අවුරුදු 7ක් හිටියා.

 

හොයන මුදල් වියදම් කරලා සෙල්ලම් කරන්න එපා කියලා ගෙදරින් කිවුවෙම නැද්ද ..?

මගේ ජීවිතේ ලොකුම හයිය වුණේ අම්මා. එයා නම් මුලින් අකමැති වුණා මට කරදරයක් වෙයි කියලා. අක්කයි නංගිත් මගේ ජීවිතේ හැමදේකදීම ළඟින් හිටියා.

 

විවාහ ජීවිතේ ..?

මම දැන් විවාහ ජීවිතෙන් ඈත් වෙලා ඉන්නේ. මට දුවලම තුන් දෙනෙක් ඉන්නේ. එයාලා ඔස්ට්‍රේලියාවේ ඉන්නේ. ලොකු දුවට කාලයක් ආසාවක් තිබ්බා මෝටර් රථ ධාවන තරග සඳහා සම්බන්ධ වෙන්න. අන්තිමට එයා ඔටෝ මොබයිල් ඉංජිනේරු පැත්ත ඉගෙන ගත්තා.

 

දුකක් නැද්ද ඔබේ නම රැගෙන යන්න දරුවෙක් නැති එක ගැන ..?

එහෙම දුකක් නැහැ. තාත්තලා සෙල්ලම්කරාට ඕන තරම් දරුවෝ ඉන්නවා වෙන පැතිවලින් ඉදිරියට යන. මගේ දරුවොත් එහෙමයි.

 

විශ්‍රාම යන්න ළඟයි ද..?

තවම නැහැ, තව ටික කාලයක් තරග සඳහා සම්බන්ධ වෙනවා. තව කෙනෙක් බිහිවෙනකල්වත්.

 

මැරෙන්න ගිහිං කීපාරක් බේරිලා තියෙනවද..?

තුන් හතරවතාවක්ම මැරෙන්න ගිහිං අනූ නමයෙන් බේරිලා තියෙනවා. රේස්වලදි තමයි. වාහනත් පෙරළිලා තියෙනවා

 

මරණ බය දැනිලාම නැද්ද ..?

මම මැරෙන්න බය නැහැ, බය තිබ්බා නම් තරග කරන්න බැහැ . ඊළඟ රේස් එක කොහොමද දිනන්නේ කියලා විතරයි හිතලා තියෙන්නේ.

 

ඔබට ආදරේ කරන පිරිසකුත් ඉන්නවා..?

සීයට එකක් වගේ තමයි විවිධ චෝදනා එල්ල කරන්නේ. ඒ ඉතිං ඊර්ෂ්‍යාවට. අනිත් අය ආදරෙයි. ප්‍රතිචාරත් හොඳයි

 හර්ෂණී වීරරත්න

Comments