මඟ හැරුණු ජීවිත සැමරුම් පිටු අතරින් ඔබ හමු වූවා | Page 2 | සිළුමිණ

මඟ හැරුණු ජීවිත සැමරුම් පිටු අතරින් ඔබ හමු වූවා

සිතට සියුමැලි ගීතයක් වගේ

ජීවිතේට ආදරය ගෙනා

හැමතැනම පෙනේ සිත ළඟම රැඳේ

ආදරයට ජීවිතය වෙලා

 

මග හැරුණු ජීවිත සැමරුම්

පිටු අතරින් ඔබ හමු වූවා

හිත අද්දර ඉන්නා තනිකම

සඳ වතුරේ ඉකි බින්දා

 

චමත්කාර ජීවිතේ

හමුවන්නට පැතුමන් පිරුවද

සිතේ තනිවුණ ආදරේ

සඟවා ඔබ සිටියා

 

විලෙක නෙලුම් පිපෙන සැදෑවේ

ඔබේ සිනහව යළි රැ‍ෙඳනවා නම්

විහග ගීත ඇසෙනා මානේ

ඔබෙ කටහඬ යළි ඇසෙනව නම්

 

ඈත ඉමව්වේ පීදෙන තුරු මත

රටා මවන සිතුවිලි අතරේ

සිතේ තනි වුණ ආදරේ

සඟවා ගෙන සිටියා

 

ගායනය - දුමාල් වර්ණකුලසූරිය, උරේෂා රවිහාරි

සංගීතය - උදාර ජයකොඩි

පද රචනය - තුෂානි බුළුමුල්ලේ

 

ආදරයට කොහේ දෝ බාධා නැත්තේ. කවුරු එහෙම කිව්වත් ආදරයක් පටන් ගන්නේ පස්මහ බැලුම් බලා නම් නොවේ. හිතක ඇතිවන හැම ආදරයක්ම සාර්ථක නොවූවත් හැම හිතක්ම කොයියම් හෝ මොහොතක ඒ ආදරයෙන් ලබන සතුට, වින්දනය අපමණය. ජාති ආගම් කුල මල වයස් භේද නොතකන ආදර බැඳිම් අපට මේ සමාජය තුළ අනන්තවත් හමුවේ.

 

වයසින් තමාට වඩා වැඩි වයස් පුද්ගලයකු ගැන උපන් ආදරයෙන් බැඳෙන, ළංවෙන යෞවනියක සිතේ ඇතිවන ප්‍රේමය මෙ‍ෙලස යැයි කියා විග්‍රහ කිරීමට ද නොහැකිය.

එවන් ප්‍රේමයක් පාදක කර ගනිමින් ලියැවුණ මේ ගීතය අපූරුය. ගුවන්විදුලියෙන් නිතර ඇසුනද මේ ගීතය ඇතුළත් වන්නේ උතුරු සුළඟ චිත්‍රපටයේය.

ගීතය ගයන්නේ දුමාල් වර්ණකුලසූරිය හා උරේෂා රවිහාරි විසිනි. ගීතයේ සංගීතය නිර්මාණය කරන්නේ උදාර ජයකොඩිය. ගීතයේ පද නිමැවුම කරන්නේ තුෂානි බුළුමුල්ලේ ය.

යොවුන් සිතක ඇතිවන ප්‍රේමය පිළිබඳවත් ඒ ප්‍රේමය ඔවුන් විඳින ආකාරයත් ගැන ලියැවුණ මේ ගීතය පිළිබඳ අදහස් දක්වමින් ගී පද රචිකා තුෂානි බුළුමුල්ලේ කියන්නේ මේ වගේ කතාවක්.

“මේ ගීතය ඇතුළත් වෙන්නේ උතුරු සුළඟ චිත්‍රපටයේ. චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා මගෙන් ඉල්ලීමක් කළා ගීතයක් ලියලා දෙන්න කියලා. ඉතාම තරුණ ගැහැනු ළමයකු හා වැඩිමහල් පුරුෂයකු අතර ඇතිවෙන ප්‍රේමයක් වටා තමයි මේ ගීතය ලියැවී තියෙන්නේ.

සාමාන්‍යයෙන් මම ගීතයක් ලියන්නේ විවේක පාඩුවේ. මම මෙහෙම කිව්වොත් මම ගීත ලියන්නේ නැහැ. මට ගීත ලියැවෙනවා. එහෙම ලියන්නේ කොයි මොහොතෙද කියන්න බැහැ. නමුත් මේ ගීතය ලිව්වේ වෙනස්ම විදිහකට. මම ගීතය ලිව්වේ විෂුවල් එක බලලා. මම විෂුවල්වලට සිංදු ලියන්නේ නැහැ. ඒ වගේම විෂුවල් බලලා සිංදු ලියන්නෙත් නැහැ. ඒ වගේම ගීතයේ තනුවත් නිර්මාණය කරලා. තිබුණේ. මට තිබුණේ තනුව නිර්මාණය අහලා චිත්‍රපටයේ රූප රාමු පෙළට ගැළපෙන්න ලියන්න. ඒක එක්තරා විදිහකින් මට ලැබුණ අභියෝගයක් කිව්වොත් නිවැරදියි. ඒ වගේම මේ ගීතය චිත්‍රපටයේ අවස්ථා සම්බන්ධයක් කරන්න ලිව්ව ගීතයක්. මේ වන විට මම ගීත පහළොවක් පමණ ලියා තිබෙනවා. නමුත් මම චිත්‍රපටයකට ගීතයක් ලියපු පළමු අවස්ථාව මේක. මේ චිත්‍රපටයේ රූප රාමු පෙළ, වගේම ගීතයට දාලා තිබුණ මෙලඩියත් හරි ලස්සනයි. ඒ නිසා මගේ හිතට ඉතාම ඉක්මනින් වචන ටික ගැළපුණා.

ගීතයෙන් කියන්න ඕන වුණේ වැඩිහිටි පිරිමියෙකු හා පෙමින් බැඳෙන යොවුන් වියේ ගැහැනු ළමයකු ගැන. ඇය ප්‍රේමය දකින විදිහ. ඇය ආදරය කරන විදිහ. ඇය ජීවිතය විඳින්න කැමැති විදිහ. මේ ඔක්කෝම ඒ වචනවල අමුණන්න මට පුළුවන් වුණා කියලා මම හිතනවා. ඒ වගේම මේ කියන පිරිමියා ඒ ගැහැනු ළමයාට දක්වන ආදරය, සෙනෙහස ඒ සියල්ලත් මේ පදවල අමුණා තියෙනවා කියලා මට හිතුණා. ගීතයට ලැබෙන යහපත් ප්‍රතිචාරත් එක්ක.

ආදරයට කිසිම භේදයක් නැහැ. සිතිවිලි ගැළපෙනවා නම් ඒ හිත් ආදරයෙන් බැදෙනවා. ඒ බැදුණත් කැඩි බිදි සුනු විසුනු වී යන අවස්ථාත් අපට හමුවෙනවා. ඒ කොහොම වුණත් මෙවන් ප්‍රේමයක් ගැන මට පෞද්ගලික වූ අත්දැකීම් නැහැ. නමුත් මා වටා ඉන්න අයගේ, මගේ යාළුවන්ගේ, මේ සමාජයේ ඉන්න ඕනෑතරම් අයගේ මෙවැනි ප්‍රේමණීය අත්දැකීම් මගේ මේ ගීතය ලියන්න මට ඉවහල් වුණා කිව්වොත් නිවැරදියි.“

 

“සිතට සියුමැලි ගීතයක් වගේ

ජීවිතේට ආදරය ගෙනා

හැමතැනම පෙනේ සිත ළඟම රැදේ

ආදරයට ජීවිතය වෙලා“

කවුරුන් කොහොම කිව්වත් හිතේ බැ‍ෙඳන ඒ ආදරය එහෙමයි.

අපට එහෙම කියන්නේ තුෂානි බුළුමුල්ල.

 

 

Comments