මම හිටියේ දුවන ජීවිතයක කියලා මට තේරුම් ගියා | සිළුමිණ

මම හිටියේ දුවන ජීවිතයක කියලා මට තේරුම් ගියා

නිල්වලා විශ්වමාලි කියන්නේ ලංකාවේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම නිරූපණ ශිල්පිනියක්. පසුගිය දිනෙක සමන් අතාවුදහෙට්ටි මහතා ප්‍රථම වතාවට අධ්‍යක්ෂණය කළ අමරසිරි පීරිස් නම් ප්‍රවීණ ගායන ශිල්පියාගේ ගීතයක දර්ශනවලට ඇය සම්බන්ධ වී සිටියා. රංගන ශිල්පිනියක් වුණත් මේ දිනවල රූපවාහිනියෙන් නම් අපට දැක ගන්නට ලැබෙන්නේ නැහැ.

කතාවට මුල පිරුවේම ඇයි මේ දිනවල රූපවාහිනී තිරයෙන් දකින්න නැත්තේ කියන කාරණාව එක්ක 

ඇය ඒකට නම් කිවුවේ පසුගිය දවස්වල චිත්‍රපට අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය ගැන ඉගෙන ගන්න කාලය යොමු කළ බවයි. මේ වෙද්දී නිල්වලා විශ්වමාලි කෙටි චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කර තිබෙනවා. ඒ එක්කම නිල්වලා කියන්නේ තව කෙටි චිත්‍රපට කීපයක් කරන්න සහ වෘත්තාන්ත සිනමාපටයක් සඳහා අවශ්‍ය කරන පිටපතක් ලියමින් ඉන්න බවයි.

උසස් පෙළින් පසු සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයට ඇතුළත් වූ ඇය නර්තනය වැඩිදුර හදාරපු කෙනෙක්. ඒ අතරතුර කාලයේදී තමයි ඇයට බෙනට් රත්නායකයන් නිෂ්පාදනය කළ E 20 ටෙලි නාට්‍යය සඳහා රඟපාන්න අවස්ථාවක් ලැබිලා තියෙන්නේ. ඒ රඟපාන අතරතුරදී ඇය නිරූපණ ශිල්පිනියක් විදිහටත් කටයුතු කළා.

ඉස්සර හිටිය නිල්වලාට වඩා දැන් ඉන්න නිල්වලා බාහිර ස්‌වරූපයෙන් වෙනස් වෙලා. ඒ ඈ දෙස බලන කාටත් වැටහෙන දෙයක්. ඇයි වෙනස් වෙන්න හිතුවේ කියලා ඇහුවම ඇය කිව්වේ,

“එක විදියටම ඉන්න කොට එපා වෙනවානේ. ජීවිතේ වෙනසක් තියෙන්නත් ඕනේ. ඒ එක්කම මට හිතෙනවා පසුගිය කාලයේ වුණු සමහර දේවල් ගොඩක් බලපෑවා අපි හැමෝගෙම ජීවිත වෙනස් වෙන්න. මම විවාහයෙන් පස්සේ ගෙදර වැඩ කටයුතුවලට වැඩි බරක් දීලා මගේ ඉගෙනුම් කටයුතුවල වෙනත් දිශාවකට යොමු වෙන්න ලොකු වුවමනාවක් තිබ්බ කෙනෙක්. ඒ වගේම මගේ විවාහයෙන් පස්සේ මම කියවන්න ලියන්න ගත්ත දේවල්වල ලොකු වෙනසක් ඇති වුණා. ඒකට සාපේක්ෂව ලොකු නිදහසකුත් රට තුළ හැදුණා. ඒ කොරෝනා කාලේ තිබ්බ සංචරණ සීමා එක්ක. ඒ නිසා මට මං ගැනම හොයන්න තිබ්බ කාලය වැඩි වුණා. මම විවාහ වුණෙත් කොරෝනා කාලයේ. ඊට කලින් කාලය ගැන කතා කළොත් මම හිටියේ දුවන ජීවිතයක කියලා මට තේරුම් ගියා. ඒක ගොඩක් අයට තේරුම් ගිය දෙයක්. ඔය කියන හැමදේ එක්කම මම අභ්‍යන්තරින් වෙනස් වෙද්දී බාහිරිනුත් පොඩි වෙනසක් කළා.“

ඒ කියන්නේ නිල්වලා, තමන්ට තහංචියක් පනවා ගත්තද රංගනයෙන් ඈත් වෙන්න කියලා.

“ගොඩක් අය ඔය ප්‍රශ්නයම මගෙන් අහනවා. නිතර දකින්න ලැබෙන්නේ නැත්තේ ඇයි කියලා. පෞද්ගලිකවත් මට ආව වැඩ කීපයක්ම බාරගත්තේ නැහැ මගේ අධ්‍යාපන කටයුතුවලට අවශ්‍ය කරන වැඩ ටිකක් ඉස්සරහට කෙරෙන්න තියෙන නිසා. මම මගේ පශ්චාද් උපාධිය කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ වගේම මට දැනුණා රංගනයට වඩා මට තියෙනවා වෙන නිර්මාණශීලී හැකියාවක්. මම නර්තනය කරන කාලෙත් මගේ ඇඳුම් නිර්මාණය කළේ මමමයි. ඒ නිසා මටත් දැන් හිතෙනවා රංගනයට වඩා ඉන් එහාට ගිහින් ලියන එක සහ වෙන නිර්මාණශීලී පැත්තට යොමු වෙන්න තියෙනවා නම් හොඳයි කියලා.

මම රඟපෑ නිර්මාණ දෙකක් එන්න තියෙනවා. ප්‍රියන්ත ප්‍රනාන්දුගේ “සුසුම් රස්තියාදුව“ සහ චන්දන ලියනගුණවර්ධන නිෂ්පාදනය කළ තවත් නාට්‍යයක කවීෂා කියන චරිතය රඟපෑවා. ඒ වගේම ලක්මාල් ධර්මරත්නගේ චිත්‍රපටයේ රඟපෑවා. ඒ දේවල් ඉදිරියේදී ප්‍රේක්ෂකයන්ට දැක බලා ගන්න ලැබෙයි.“

නාට්‍යය තුළින් නිල්වලා දකින්න ලැබෙන්නේ අලුත් වූ ස්වරූපයෙන් ද?

“නැහැ ඒ නාට්‍යය දෙකම මම කොණ්ඩේ කොටට කපන්න කලින් කළ නාට්‍යය. අලුත් පෙනුමෙන් මම රඟපෑවා මගේම කෙටි චිත්‍රපටයේ. එහි ඇත්තටම මම රඟපාන්න ‍ෙනාවෙයි හිටියේ. නමුත් තිබුණ තෙල් ප්‍රශ්නය නිසා මට සිද්ධ වුණා මගේ කතාවේම රඟපාන්න.“ 

නිල්වලා කියන්නේ රංගනයට පෙර දක්ෂ නර්තන ශිල්පිනියක්නේ, දැන් නර්තනයට මොකද වෙන්නේ

“මම කථක් විශාරද වෙනකම් හැදෑරුවා. ඒ නිසා මට හිතුණ දෙයක් තමයි එක්කෝ මම මේ දේ උගන්වන්න ඕනේ. නැත්නම් තව දුරටත් හදාරන්න ඕනේ කියන එක. මොකද ඒක ගලවන්න බැරි තරම් ඇඟට බද්ධ වුණු කොටසක්. එකම දේ මගේ කකුලේ ඇතිවුණු ආබාධයක් නිසා මේ දවස්වල වෛද්‍ය උපදෙස් මත නර්තනය නතර කරලා තියෙන්නේ.“

ඔබේ විවාහ ජීවිතය ගැන කතා කළොත්? මම විවාහ වෙලා ටිකක් කල් වෙනවා. ඔහු මනෝ විද්‍යා උපදේශක කැලුම් වැලිගම.

දෙන්නා එකිනෙකාට උදවු කරගෙන ආදරෙන් ජීවත් වෙනවා. මම හිතන්නේ අපි මුල් අවස්ථාවේදී ආදරේ කියලා දකින දේ ‍ෙනාවෙයි පහුවෙනකොට දකින්නේ. මම හිතන්නේ මේක මීටත් වඩා වැඩි වෙයි අවුරුදු ගාණක් යද්දී. ඒත් එක්කම කියන්න ඕනේ කැලුම්ගෙන් ලැබෙන සහයෝගයේ කිසිදු අඩුවක් නැහැ.“

ඒ නිසාම දෙන්න තුන්දෙනා වුණොත් හොඳයි කියලා හිතිලා නැද්ද කියල ඇහුවම නම් ඇය හිනාවෙලා කිවුවේ ඒ ගැන දැන්ම මොනවත් නොකියා ඉන්නම් කියලයි.

Comments