
ඇය ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පිනියකි. නිෂ්පාදිකාවකි. ඇය වඩාත් කැමැත්තක් දක්වන්නේ රංගන ශිල්පිනියට නොව නිෂ්පාදිකාවටය. නමුත් පුංචි තිරයේ හැඩකාර අහිංසකාවිය ලෙසට ඇය ජනතා ඇගයීමට පාත්‍ර වී ඇත. නව පරම්පරාවේ ශිල්පිනියන් අතරින් ඇය සැබවින්ම දක්ෂ නිළියකි. ප්‍රේක්ෂකයන්ගේ ආදරය මෙන්ම විශ්වාසයද නිරතුරුවම රඳවා ගන්නා මේ ෙළන්ගතු තැනැත්තිය ආශා එදිරිසිංහය.
- සම්මාන බලාපොරොත්තුවෙන් මම චරිතයක් කරන්නේ නැහැ
- මගේ ජීවිතේ මට ලොකු බලාපොරොත්තු ගොඩක් තිබුණා
“රංගන ශිල්පිනියක් හැටියට මිනිස් ජීවිතවල ඇතුළාන්තය ප්‍රේක්ෂකයා හමුවට ගෙන ඒම ටිකක් අභියෝගයක් තමයි. ඒ අභියෝගය තිර පිටපත් රචකයාගේ දක්ෂතාව වගේම අධ්‍යක්ෂකගේ දක්ෂතාවය ද කතා වස්තුව පුරාවටම දිවෙන දෙයක්. ඕනෑම නිර්මාණයක් බාර ගත්තාට පස්සේ අපි රූපගත කිරීම් කර අවසන්වන තුරුම අවධානෙන් බලාගෙන ඉන්න ඕනෑ. මගේ ජීවිතේ මට ලොකු බලාපොරොත්තු ගොඩක් තිබුණා. ඒ බලාපොරොත්තු පොදි බැඳගෙන ආපු ගමනේදී මට ලැබුණ සුවිශේෂීම දේ තමයි මට අද හිමි වෙලා තියෙන්නේ. මෙතෙක් මට ලැබුණු චරිත එකිනෙකට වෙනස්.“
ආශා රංගන ශිල්පිනියක් වෙන්න බොහෝ ආසාවෙන් සිහින මැවූ තරුණියකි.
“මම වයස අවුරුදු 11 විතර කාලයේදී තමයි නර්තනය පටන් ගත්තේ. මම නැටුම්වලට හරි දක්ෂයි. නර්තනය කරන ගමන්ම වේදිකාවේ කුඩා කුඩා චරිත රඟපාලා තියෙනවා. ළමා නිළියක් ලෙසින් ඒ ආපු ගමන හරි සුන්දරයි. අද වන විට මට ලැබෙන ඕනෑම චරිතයකට පණ දෙන්න මම උත්සාහ ගන්නවා. මගේ පාසල් කාලයේ දී මම හැමවිටම ගුරුවරු කියන දේ ඇහුවා හරියට අධ්‍යාපනය ලැබුවා.“
උපාධිධාරිනියකද වන ආශා ඇගේ දිවියේ විශේෂ සිද්ධි ද පවසන්නට විය.
“කැමරාවක් ඉදිරියේ මම මුල්ම කාලයේ පෙනී සිටියේ හරිම බයෙන්. මම මේ ගමන යන්නේ බොහෝම හෙමින්. ඒ වගේම රංගන ජීවිතේ බැලන්ස් කරලයි කරගෙන යන්නේ. දැනට වසර දහයක් තිස්සෙ නිෂ්පාදන ආයතනයක් කරගෙන යනවා ‘ඇඩ් ෆිනිටි‘ නමින්. ක්ෂේත්‍රයේ ඉන්න සියලුම දෙනා මගේ ආයතනයත් එක්ක එක්ව කටයුතු කරනවා. ලැබුණු වේදිකා නාට්‍යය ගොඩක් මඟ හැරී යන්නේ නිෂ්පාදන ආයතනයේ කාර්යබහුලතාවය නිසයි. ඉදිරියේදී වේදිකාවෙන් මාව දැක ගන්න පුළුවන් වෙයි.
මම ජය ප්‍රකාශ් සිවගුරුනාදන් අධ්‍යක්ෂණය කළ “5 සමත්“ සිනමාපටයේ රඟපෑවා. මම සිනමාවට එක්වන්නේ එතැනින්. හේමාල් රණසිංහ එක්ක රංගනයෙන් දායක වුණූ “සිහින අභිෂේක“ ඉදිරියේදී තිරගත වීමට නියමිතයි. මේ දිනවල විකාශනය වන “ලංසුපතිනියෝ“ අධ්‍යක්ෂකවරයා කිසි විටක මම රූප රාමුවකට කොටු කර තබා ගැනීමට සූදානම් නොවන අධ්‍යක්ෂවරයෙක්. ඔහු චරිතෙට පණ පොවන්නට නිදහසේ චරිතය තුළ සැරිසරන්නට ඉඩ ලබා දෙනවා. එය රංගනයේ යෙදෙන ඕනෑම කෙනෙකුට හරිම වටින දෙයක්.
ඒ වගේම ස්වාධීන රූපවාහිනී නාලිකාවේ විකාශනය වන ලංසුපතිනියෝ චරිතය හා මේතාක් ලැබුණු චරිත සියල්ල තුළින් නව පණක් ලැබුණා කියලා මට හිතෙනවා. මම කවදාවත් මගේ රංගන ජීවිතේ සම්මාන බලාපොරොත්තුවෙන් චරිතයක් කරන්නේ නැහැ. නමුත් මෙතෙක් මම දායක වුණු යම් නිර්මාණයකට හෝ රංගනය වෙනුවෙන් යම් සම්මානයක් ලැබුණාම හරිම තෘප්තියක් දැනෙනවා. ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය තුළ තියන තවත් අර්බුදකාරීම ප්‍රශ්නයක් තමයි, පීරියඩ් සහ මෙගා ලෙස වර්ගීකරණය කිරීම. මම මේ දෙකටම රංගනයෙන් දායක වෙලා තියෙනවා. හැබැයි මම මේ වර්ගීකරණය කරන නාට්‍ය දෙකටම කැමතියි. මම හොයන්නේ හැම වෙලේම මට ලැබෙන චරිතය තුළ මට කරන්න තියෙන්නෙ මොකද්ද කියන එක විතරයි. ගොඩක් ශිල්පීන්ට මෙගා නාට්‍ය කලාවෙන් පමණයි තමන්ගේ ජීවිතය ගැට ගහගෙන යන්න ලැබිලා තියෙන්නේ. තවත් පැත්තකින් තියෙන ප්‍රශ්නය තමයි විදේශීය ටෙලිනාට්‍ය හා සිනමාපට ගෙන්වා හඬ මුසු කිරීම. මෙය කළා ක්ෂේත්‍රය තුළ ලොකු අර්බුදයක්. එවැනි නිර්මාණ ප්‍රදර්ශනය කළ යුතුයි. එහෙම නිර්මාණ රස විඳින පිරිසකුත් මේ රටේ ඉන්නවා. එහෙම නොවුණොත් වෘත්තිමය හඬ මුසු කරන ශිල්පීන් ජීවත් වෙන්නේ කොහොමද කියලා අහන කවුරුත් නැති තරම්.
කැලණිය විශ්වවිද්‍යාලයේ ටෙලිවිෂන් හා සිනමාව කරණය පිළිබඳව පාඨමාලාවක් තියෙනවා. එයින් පිටවෙන තරුණ පරම්පරාව දැන් වැඩියි. අපේ කලා ක්ෂේත්‍රය රැක ගන්න නම් මෙවැනි අය මෙවැනි පාඨමාලා හදාරා දැනුමෙන් හා ප්‍රායෝගිකව සන්නද්ධ වී ආ යුතුයි. මම කිසි විටෙකත් ප්‍රවිණයන් සහ නවකයන් කියලා වර්ගීකරණය කරන්නේ නෑ. ඔවුන් සියලු දෙනා සමඟ වැඩ කරන්න කැමැතියි. මෙයට මූලිකම හේතුව වෙන්නේ ඇනලොග් සහ ඩිජිටල් කියන කාරණා දෙකයි. මේ දේවල් හොඳ අවබෝධයකින් නිර්මාණකරණයට යොදා ගත්තොත් අපේ ක්ෂේත්‍රය තුළ හොඳ ගමනක් සියලු දෙනාටම යන්න පුළුවන්. මම තාමත් මගේ ගමන යන්නෙ ක්ෂේත්‍රයේ ඉන්න සියලු දෙනාගේම උදව් උපකාර ඇතුවයි. මීට ඉස්සෙල්ලා මම නිර්මාණ කිහිපයක්ම නිෂ්පාදනය කළා. මගේ අම්මගෙන් මට හොඳ සහායක් ලැබෙනවා.
අද වන විට නිෂ්පාදිකාවක් ලෙස මුහුණ දෙන්න තියෙන ගැටලු බොහෝමයි. ක්ෂේත්‍රයේ ඉන්න සියලු දෙනාටම හොඳ පසුබිමක් හදමින් හොඳ නිර්මාණ ටිකක් සමාජයට දායාද කිරීමයි මගේ බලාපොරොත්තුව. මගේ නිෂ්පාදන ආයතනය නිෂ්පාදනය කරන ටෙලි නාට්‍යයකුත් ඉදිරියේ දී කිරීමට සැලසුම් කර තියෙනවා
ජීවිතේ මං ආදරේ විඳලා නැහැ කියලා කියන්නේ නෑ. මම ආදරය හොඳට විඳලා තියෙනවා. මගේ ගමනට ඒ හැමදෙයක්ම ශක්තියක් වෙන්නේ නැත්නම් මට අයින් වෙන්න වෙනවා. ඉදිරියේදී මගේ ජීවිතය අවබෝධ කරගෙන මාව තේරුම් අරගෙන යම් දවසක කවුරුහරි ශක්තියක් වුණෝත් ඒ දෙවල් වෙනස් වෙයි.
නිශ්ශංක විජේරත්න