මං ආදරෙන් පැරදිලා ඉන්නෙ | සිළුමිණ

මං ආදරෙන් පැරදිලා ඉන්නෙ

ඳුන් රාජකරුණා අධ්‍යක්ෂණය කළ ‘උතුම් පැතුම්’ ටෙලි නාට්‍යයෙන් තම රංගන දිවිය ඇරඹූ ඇය ‘නීල පබළු’හි රෙෂ්මා වෙමින් බොහෝ ජනප්‍රියත්වයට පත් වූවාය. එහි මුහුකුරා ගිය චරිතයකට පණ පොවන ඇය තවමත් යෞවන වියේ පසුවන සොඳුරු යුවතියක්. මේ දිනවල හිරු නාළිකාවේ විකාශනය වන ‘ළංවී’ ටෙලි සිත්තමට ද සිය රංගන දායකත්වය ලබා දෙන ඇය රුක්ෂාණා දිසානායකයි.

- මං කැමතියි මං තෝරගන්න කෙනා මේ ක්ෂේත්‍රයෙන් පිට කෙනෙක් වෙනව නම්
- මං කෙනෙකුට ආදරේ කළා එයා මට වඩා බාල කෙනෙක් නිසා ගෙවල්වලින් අකමැති වුණා

“උතුම් පැතුම් ටෙලි නාට්‍ය හරහා තමයි මගේ කලා ක්ෂේත්‍රයට පිවිසීම සිදුවන්නේ. මට ලොකු ආසාවක් තිබුණා මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න. මගේ පවුලේ කිසිවෙක් කලාවට සම්බන්ධ නෑ. උතුම් පැතුම් ටෙලි නාට්‍යය නිෂ්පාදනය කළ උපුල් ජයසිංහ මහත්මයා අපේ අසල්වාසියෙක්. මේ ක්ෂේත්‍රයට එන්න මගේ තියෙන ආසාව තේරුම් අරන් ඔහු මට අවස්ථාවක් දුන්නා. ඒ ආරම්භයත් එක්ක මේ වෙද්දි ටෙලි නාට්‍ය 50ක් විතර රඟපාලා තියෙනවා. ‘මතු සම්බන්ධයි’ ටෙලි නාට්‍යයේ රංගනය වෙනුවෙන් සුමති ටෙලි සම්මාන උලෙළේ නැඟී එන නිළියට නිර්දේශ වුණා. ‘මෙඩි සිනා‘ කියන්නෙත් බොහෝ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලද ටෙලි සිත්තමක්.

“ඒ වගේම හර්ෂ උඩවත්තගේ ‘උලත් එකයි පිළත් එකයි’ සිනමාපටයෙන් සිනමා ප්‍රේක්ෂකයන් මාව හඳුනා ගත්තා. වී. සිවදාසන් සර්ගේ ‘පාටක් නැති ආදරයක්’ වගේම ‘දෙවැනි යුද්ධය සරත් දික්කුඹුරගේ ‘මරු කතර, සජීව සංකල්පගේ යමරජ සිරි‘ වගේම මෑතකදී උදාර පල්ලියගුරුගේ සිනමා පටයකටත් සම්බන්ධ වුණා.“

සොඳුරු රුවකට හිමිකම් කියන ඈ කෙනෙක් දුටු පමණින් සිත් ගන්නා රුවකින් යුක්තයි. වෙළෙඳ දැන්වීම් මෙන්ම මියුසික් වීඩියෝ හරහා ද රුක්ෂාණාගේ රුව ප්‍රේක්ෂකයාට හුරුපුරුදුයි. ඇය විලාසිතා දැඩි සේ ප්‍රියකරන්නියකි.

“මගේ තාත්තා මුස්ලිම් ජාතිකයෙක්. අම්මා බුද්ධාගමේ. පන්සලට, පල්ලියට විතරක් නෙවෙයි කෝවිලටත් මං යනවා. තාත්තවත් අම්මවත් ඔයා මේ ආගම අදහන්න කියලා නීතියක් දාලා නැහැ. තාත්තාගේ සංස්කෘතිය නිසා මුලදි මං රංගනයට එනවට පොඩි අකැමැත්තක් තිබුණා. ඒත් ලොකු බලපෑමක් කළේ නැහැ. එයා නිතරම කිව්වේ මොන වෘත්තියක නියැළුණත් හොඳින් කරන්න ඕන කියලා. මම නොගැළපෙන ඇඳුම් අඳිනවට තාත්තා කැමති නැහැ. තාත්තාගේ හිත නොරිද්දා මං මේ ගමන යන්න උත්සාහ දරනවා.“

ආදරය කොතරම් සුන්දර වුණත් ඇයට එය වේදනාවක් බවයි ඇය පවසන්නේ. ඇගේ වැඩි කැමැත්ත ක්ෂේත්‍රයෙන් පිට කෙනෙක් තම සහකරුවා කරගැනීමයි.

“මං කෙනෙකුට ආදරේ කළා. එයා මට වඩා බාල කෙනෙක් නිසා ගෙවල්වලින් අකමැති වුණා. ඒ නිසා ඒක නැවතුණා. ඉතින් මං ආදරෙන් පැරදිලා ඉන්නෙ. ඒ නිසා මං කැමතියි මං තෝරගන්න කෙනා මේ ක්ෂේත්‍රයෙන් පිට කෙනෙක් වෙනව නම්. මං මේකෙ ඉන්න නිසා අත්දැකීම් තියෙන නිසා මං දන්නවා. මේ ක්ෂේත්‍රයේම කෙනෙක් වුණාම සමාජයෙන් හෝ කෙනෙකුගෙන් මට ලැබෙන පිළිගැනීමම එයාටත් ලැබෙනවා. ඒ නිසා සමහර වෙලාවට ඒ කෙනාට මා ගැන අගයක් නැති වෙන වෙලාවල් තියෙනවා. ඒ නිසා එයාගෙ හිතේ මට තියෙන වටිනාකම අඩු වෙනවා කියලා මට හිතෙනවා.

හැම දේකටම වඩා වටින්නේ පවුල. හොඳ පවුල් ජීවිතයක් ගත කරන්න තමයි බලාපොරොත්තුව. ජනප්‍රියත්වය, රූපය මේ හැමදේම තාවකාලිකයි. අපි මොන දේ කළත්, මොන තරාතිරමක හිටියත් අපි බලාගන්න කෙනෙක් අපිට ශක්තියක් වෙන කෙනෙක් ඉන්න ඕන. ඒක තමයි හැමදේටම වඩා වටින්නේ. ඉස්සර ගෙදර අය එක්ක වැඩි කාලයක් ගත කළාට විවාහ වුනාට පස්සේ ජීවිතේ ඉතිරි කාලයම ගත කරන්න වෙන්නෙ ඒ කෙනා එක්ක. එයාගෙ ආදරය මත තමයි ඉදිරි ගමන තීරණය වෙන්නේ. එයා හොඳ තේරුම් ගන්න කෙනෙක් වෙනව නම් මට ඒ ඇති. “

අවශ්‍ය තැනදී නොබියව කතාබහ කරන, තම අදහස් විවෘතව ප්‍රකාශ කරන රුක්ෂාණා උගත් බුද්ධිමත් යුවතියක්.

“නුගේගොඩ සුජාතා විද්‍යාලයෙන් සහ කොළඹ දේවි බාලිකා විද්‍යාලයෙන් තමයි මූලික අධ්‍යාපනය හැදෑරුවේ. මම සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක්. රංගනයට අමතරව ඩාන්සිං ඇකඩමි එකක් කරගෙන යනවා. උඩරට සහ ඉන්දියානු සම්ප්‍රදායට අදාළව පාසල් විෂය ධාරාවට අනූකූලවයි එහිදී ඉගැන්වීම් සිදු කෙරෙන්නේ. මං ඉගෙන ගත්ත දෙයින් සමාජයට වැඩක් කරන්න ලැබීම සතුටක්.“

‘රුක්ෂාණා රෝහල්ගත වෙලා.‘ පසුගියදා කන වැකුණු මේ පුවතින් ඇයට ආදරය කරන රසිකයින් කලබලයට පත්වී එහි සත්‍යතාවය විමසා බලන්නට උත්සුක වුණා. ඇය ඒ ගැනත් සඳහන් කළා.

“උදරයේ ඇති වූ අපහසුතාවක් නිසා පොඩි ශල්‍යකර්මයකට ලක්වෙන්න සිදුවුණා. දවස් දෙක තුනක් යනකල් මං ෆෝන් එක දිහා බැලුවේ වත් නැහැ. දැන් මට ගොඩක් හොඳයි. මා ගැන සොයා බැලූ සැමටම ගොඩක් ස්තුතියි.”

Comments