තෑන්ක් ගෝඩ් මුවහත් කළේ යොහානිගේ මැණිකේ | Page 2 | සිළුමිණ

තෑන්ක් ගෝඩ් මුවහත් කළේ යොහානිගේ මැණිකේ

සුගිය 16 වැනිදා බොලිවුඩ් සිනමා රසික රසිකාවියන්ට පමණක් නොව ශ්‍රී ලාංකික අපිට ද සුවිශේෂ දිනයක්. එයට හේතුව ඔක්තෝබර් මාසයේ 25 වැනිදා තිරගත වීමට නියමිත ‘තෑන්ක් ගෝඩ්‘ සිනමා පටයේ අතිශයින් ජනප්‍රිය ගීතයක් ප්‍රේක්ෂක ජනතාව අතරට මුදා හැරිමයි. 

මේ ගීතය නිකම්ම ගීතයක් නෙවෙයි. එය ලෝකය පුරා ජනප්‍රිය වුණු ගීතයක්. මේ ගීතය අපට සුවිශේෂී වන්නේ එය ගායනා කරන්නේ ශ්‍රී ලාංකික ගායිකාවක් වීමය. ඇය යොහානි. ඇය ගායනා කරන ‘මැණිකේ‘ ගීතය ඉන්දියාව පුරා අතිශයින් ජනප්‍රිය වීම හේතුවෙන් එම ගීතය බොලිවුඩ් සිනමා පටවලට යොදා ගැනීම කෙරෙහි අධ්‍යක්ෂවරුන් රාශියක් උනන්දු වුණා.

එහෙත් ඒ වාසනාව උදා වුණේ ‘තෑන්ක් ගෝඩ්‘ සිනමාපටයේ අධ්‍යක්ෂ ඉන්ද්‍ර කුමාර්ටය. ඔහු වහාම තම සිනමා පටයේ තේමා සංගීතයට මෙන්ම ප්‍රධාන ගීතයකට ද මැණිකේ ගීතය යොදා ගත්තේ හින්දි භාෂාවත් සමඟය.

එම ගීතයේ කාන්තා හඬ සඳහා ශ්‍රී ලාංකික ගායිකා යොහානි දිලෝකා ද සිල්වා හෙවත් යොහානි යොදා ගැණුනු අතර පිරිමි ගායනය සඳහා ඉන්දියාවේ ජනප්‍රිය ගායකයකු වන සූර්යා රඝුනාතන් යොදා ගැනිණි. ගීතයේ රැප් කොටස ගායනා කර ඇත්තේ ‘මෙලෝ ඩී.‘ විසිනි.

“මැණිකේ මගෙ හිතේ“ ගීතය සිනමා පටයට පෙර ජනතාව අතරට මුදා හැරීමෙන් සිනමා පටය සම්බන්ධ අති විශාල ජනප්‍රියත්වයක් ඉන්දියාව පුරා පැතිර යන්නට විය. ඒ හේතුවෙන්ම ආගම විවේචනය කරන්නේ යැයි චෝදනා කරමින් සිනමා පටයට විරුද්ධව නීතිමය කටයුතු කරන බවට ප්‍රචාරයක් ද පැතිර යන්නට විය. එහෙත් යොහානිගේ ගීතය හේතුවෙන්ම තෑන්ක් ගෝඩ් සිනමා පටයට දැනටමත් ලැබී ඇති ජනප්‍රියත්වය අතිවිශාලය.

ජනප්‍රිය බොලිවුඩ් නළු අජේ දෙව්ගන් ප්‍රධාන චරිතය රඟපාන මේ සිනමා පටයේ නෝරා ෆතෙහි සමඟ සිද්ධාර්ත් මල්හෝත්‍රා ද රංගනයෙන් දායක වෙති. මැණිකේ ගීතය සඳහා මේ ජනප්‍රිය නළු නිළියන් තිදෙනාම රංගන දායකත්වය ලබා දෙති. ගීතය ජනතාව අතරට මුදා හැරි වහාම පැයක් ඇතුළත මිලියන දෙකක ජනතාවක් ගීතය නැරඹූ බව වාර්තාවී තිබේ. එහෙත් ඇතැම් ගීත රසිකයන් මේ නව ගීතයට චෝදනා එල්ල කර ඇත්තේ ගීතය ‘රැප් ‘ කිරීමෙන් එහි රසභාවයන් අඩුවී ඇති බවයි.

කෙසේ වුවද යොහානි මේ ගීතය ගායනා කිරීම සම්බන්ධව ඉන්දීය වෙබ් අඩවි කිහිපයකටම අදහස් දක්වමින් පවසා තිබුණේ ‘ගීතය ගැයීමේදී ඇය මුහුණ දුන් ප්‍රධාන අභියෝගය වූයේ හින්දි භාෂාව නිවැරදිව හැසිරවීම‘ බවයි.

“මම හැදී වැඩුණේ හින්දි ගීත අසමින්. එහෙත් නියම හින්දි ගීතයක් ගායනා කිරීම වෙනස්ම අත්දැකීමක් යොහානි තමා ගීතය ගායනා කිරීමේදී මුහුණ දුන් අභියෝග පිළිබඳව එසේ සඳහන් කර තිබිණී. නිවැරදිව භාෂාව ව්‍යවහාර නොකිරීම හේතුවෙන් ගීතය ‍ දෙතුන්වරක් යළි යළිත් ගායනා කිරිමට සිදුවූ බවද ඇය පවසා තිබේ.

කෙසේ වුවද මැණිකේ ගීතය හේතුවෙන්ම මේ වන විටත් තෑන්ක් ගෝඩ් සිනමා පටය ඉන්දියාව පුරා ජනප්‍රිය වී තිබේ. බොහෝ දෙනා බලාපොරොත්තු වන්නේ ඔක්තෝබර් 25 වැනිදා එය තිරගත වීමත් සමඟ ආදායම් වාර්තා පිහිටුවනු ඇති බවටය.

 දිත්‍ය වීරප්‍රිය

Comments