
නිරූපණ ක්ෂේත්‍රයෙන් පස්සේ සිනමා රංගනයට ආ දිල්රුෆා ශානාස් සැබවින්ම සුන්දර යුවතියක්. දිල්රුෆා මුලින්ම රිදී තිරයෙන් දකින්න ලැබෙන්නේ උදයකාන්ත වර්ණසූරිය ගේ ගිනිමල් පොකුරු චිත්‍රපටයෙන්. ඇයගේ සිනමා ගමන සේම කලා ගමන කොහොමද ඉදිරියට යන්නේ කියලා දැන ගන්නත් එක්කම අපි දිල්රුෆා සමඟ කතා කළා.
- මම කැමති නැහැ තරුණියන්ගේ ආකර්ෂණය මගේ ආදරවන්තයාට ලැබෙනවාට
- ක්ෂේත්‍රයේ කෙනෙක්ට ආදරේ කරන්න මම කැමති නැහැ
“මගේ අම්මා තාත්තා දෙන්නම මුස්ලිම්. ඒ වුණාට මම ඉගෙන ගත්තේ සිංහල පාසලක, කෑගල්ල ඩඩ්ලි සේනානායක විද්‍යාලයෙන්. මම පාසලේදී බෞද්ධ ශිෂ්ටාචාරය ඉගෙන ගත්තා. මට එක ආගමක් කියලා නැහැ. මම පන්සල්, පල්ලි කෝවිල් යන කෙනෙක්. මගේ අම්මා තාත්තා වුණත් කැමති වුණේ නැහැ මම කලාවට සම්බන්ධ වෙනවට. මගේ ඥාතින් පවා දැඩි ලෙස විරුද්ධ වුණා. ඒ දේවල් බිඳ ගෙන ආව ගමනක් මට තියෙන්නේ. මට නංගිලා දෙන්නෙක් ඉන්නවා. පොඩි නංගි රැකියාවක් කරන ගමන් මිසිස් ශ්‍රී ලංකා තරගයටත් ඉදිරිපත් වුණා. මියුසික් වීඩියෝ, කමර්ෂල් සහ මා එක්කම ෆිල්ම් එකෙත් එයා රඟපානවා. අනිත් නංගි නම් රැකියාවක් කරගෙන ඉන්නවා.“
දිල්රුෆා කියන්නේ හිතුණොත් දෙයක් කොහොම හරි කරන චරිතයක් කියලයි අපට හිතෙන්නේ.
“ඔව්. එහෙම තීරණ ගත්ත අවස්ථා තියෙනවා. ඒ හැම දෙයක්ම හරි ගියා කියන්නේ නැහැ මම. වැරදුණු තැනුත් තියෙනවා.
මම මේ ක්ෂේත්‍රයට එන්නේ දෙරණ මිස් ශ්‍රී ලංකා පැජන්ට් එකෙන්. ඊට පස්සේ මිස් යුනිවර්ස් පැජන්ට් එකට සහභාගී වුණා. ඒ එක්කම 2017 මම මිස් Transcontinental ක්‍රවුන් එක ජයග්‍රහණය කළා. මම කාලයක් දෙරණ නාළිකාවේ නිවේදිකාවක් විදියට වැඩ කළා. මගේ මුල්ම චිත්‍රපටය උදයකාන්ත වර්ණසූරිය ගේ “ගිනිමල් පොකුරු“. ඒ එක්කම වෙෙළඳ දැන්වීම් සඳහාත් පෙනී සිටියා. මේ දවස්වල චිත්‍රපට දෙකක වැඩ කළා. ඒ D Cinema යටතේ යු. ඒ. පල්ලියගුරු නිෂ්පාදනය කරනු ලැබූ “69“ සහ “ජිගලෝ“ චිත්‍රපටය. ඒ චිත්‍රපට දෙකෙන් 69 චිත්‍රපටය ළඟදීම දැක ගන්න පුළුවන්.“
දිල්රුෆා ශානාස් කියන්නේ නිරූපණය සහ රංගනයට අමතරව Luckys Beauty Salon එකේ කොටස්කරුවෙක් විදියට සහ Interior design කරගෙන යන අතරතුර කලාවේ නියැෙළන කෙනෙක්. සිනමා නිළියක් විදියට කටයුතු කරන නිසා, සිනමාවට සම්බන්ධවීම ගැන අද වෙද්දී මොකද හිතෙන්නේ කියන එක ගැන අපි ඇගෙන් ඇහුවා. ඇය කියන්නේ ගිනිමල් පොකුරු චිත්‍රපටයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නේ චුලක්ෂි රණතුංග නිසා බවයි. එතැනින් පටන් ගත්ත ගමනේ ඇයට පුළුවන් විදියට කැමති නිර්මාණවලට සම්බන්ධ වෙමින් ඉදිරියට යන බව තමයි ඇය කියන්නේ.
අද වෙද්දී රංගන ක්ෂේත්‍රයට එන්න පහසුයි, නමුත් පවතින්න අපහසුයි. දිල්රුෆාට මේ දේ කොහොමද දැනෙන්නේ කියලා ඇහුවම නම් ඇය කියන්නේ මෙහෙම අදහසක්.
“අපි දක්ෂයි නම් මොනවා හරි දෙයක් කරන්න පුළුවන් නම් කවුරු මොනවා කිව්වත් අපි අපිට යන්න ඕනේ තැනට යන්න ශක්තිය තියෙනවා නම් අපි යනවා. මිනිස්සුන්ට ඕනේ දෙයක් කියන්න පුළුවන්. නමුත් හෘද සාක්ෂියට අනුව අපි කරන දේ හරි නම් අපිට ඒකෙන් හානියක් වෙන්නේ නැහැ. මම නම් අනිත් අය කියන කටකතා එහෙම වැඩිය ගණන් ගන්නේ නැහැ. මම කරපු දෙයක් කියන්න බය වෙන්නෙත් නැහැ. මට හොඳයි නම් මම ඒ දේ කරනවා.“
දිල්රුෆා රංගනයේ දී සීමාවන් යොදාගෙන තියෙනවද?
“අපේ රටේ සමහර දේවල් විවෘතව කරන්න අමාරුයි. ඒ මිනිස්සු ඇඳුමෙන් හෝ ඒ කෙනා කරපු චරිතයෙන් මුළු ජිවිත කතාවම ලියලා ඉවර කරන නිසා. ඒ නිසා අපේ රටේ සිමාවන් නැතුව වැඩක් කරන්න අමාරුයි. ඒ නිසා සමහර තැන්වලදී චරිත තෝරා ගැනීම් තියෙනවා. හැබැයි පිටරටක නිර්මාණයක් නම් මම දෙපාරක් හිතන්නේ නැහැ.“
මේ වෙද්දීත් ඉන්දියානු සිනමා නිර් මානයකට ආරාධනා එහෙම ලැබිලා නේද තියෙන්නේ, ඒක භාර ගත්තද?
“ඒක ගැන සාකච්ඡා වෙමින් පවතිනවා. මුරලි 88 ෆිල්ම් එකට සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුණා. එතනදී තමයි මට ඒ අය හමුවුණේ. හිතුණොත් ඒක මම කරනවා. ඒක සම්පූර්ණයෙන්ම ඉන්දියන් නිෂ්පාදනයක්. එයාලගේ කලින් කමර්ෂල් එකක් මම කළා. මට දෙමළ භාෂාවත් පුළුවන් නිසයි ඔවුන් මට කතා කළේ.
ඔබේ ආදරේ ගැන කතා කළොත්?
“මම ආදරවන්තියක් වෙලා හිටියා. සමහර දේවල්වලදී අදහස් ගැළපුණේ නැති නිසා ඒ ආදර කතා අතරමඟ නතර වුණා. අවුරුදු ගනණ් තිබුණු ආදර කතාවක් නැති වුණා. ඒ නිසා දැන් පෙම්වතියක් නම් නෙවෙයි. මේ කාලයේ නිදහසේ ඉන්නවා. මම කොහොමත් ක්ෂේත්‍රයේ කෙනෙක්ට ආදරේ කරන්න කැමති නැහැ. මොකද කලින් ක්ෂේත්‍රයේ කෙනෙක් එක්ක ආදරයක් තිබ්බා. එතැනදී මම දැකපු දෙයක් තමයි ඒ අයට ගොඩක් තරුණියන්ගේ ආකර්ෂණය තියෙනවා. මම ආදරේදී ටිකක් ආත්මාර්ථකාමී කෙනෙක් නිසා කැමති නැහැ තරුණියන්ගේ ආකර්ෂණය ආදරවන්තයාට ලැබෙනවට. ඒ නිසා ක්ෂේත්‍රයේ කෙනෙක් මම කවදාවත් තෝරා ගන්න එකක් නැහැ.
ඉදිරි ඉලක්ක කියලා ලොකු දේවල් ඔළුවේ තියාගෙන මම වැඩ කරන්නේ නැහැ. ඒ වෙලාවට හොඳයි කියලා හිතුණොත් මම ඒ දේ කරනවා. මොකද ගොඩක් බලාපොරොත්තු තියාගෙන කරන ඒවා හරි ගිහිල්ලත් තියෙනවා වැරදිලත් තියෙනවා. දැනට තියෙන්නේ ඉන්දියානු ටැමිල් ෆිල්ම් එකට ආස හිතුණොත් ඒක කරන එක.
අනුෂා රණසිංහ
ඡායාරූප - චාරුක පෙරේරා