
1997 දෙසැම්බර් මස තිරගත වූ ටයිටැනික් චිත්‍රපටය ඇකඩමි සම්මාන 14 ක් සඳහා නම් කළ අතර හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය ඇතුළුව සම්මාන 11ක් දිනා ගැනීමට සමත් වූවේය.
ලොව පුරා විහිදී සිටින සුවහසක් සිනමා ලෝලීන්ගේ නෙත්, සිත් වසඟයට ගත් මනෝහර චිත්‍රපටයක් ලෙස “ටයිටැනික්“ චිත්‍රපටය හඳුන්වා දිය හැකිය. නිරන්තරයෙන් බටහිර චිත්‍රපට නරඹන්නන් ද ඉඳහිට බටහිර චිත්‍රපට නරඹන සිනමා ලෝලීන් පමණක් නොව, කිසිදා බටහිර චිත්‍රපට නරඹා නැති අය පවා “ටයිටැනික්“ චිත්‍රපටය නැරඹූ බව නම් විශ්වාසය. “ටයිටැනික්“ චිත්‍රපටය වැඩිම ආදායම් වාර්තා තැබූ චිත්‍රපට අතරට එක්ව තිබෙන්නේත් ඒ නිසා විය යුතුය.
2010 දී ජේම්ස් කැමරන් විසින් නිර්මාණය කළ සුපිරි චිත්‍රපටයක් වූ AVATAR චිත්‍රපටය ආදායම් වාර්තා තබමින් ඉදිරියට පැමිණෙන තෙක්ම, ටයිටැනික් මුල් තැන හෙඹවූවේය.
“ටයිටැනික්“ චිත්‍රපටයේ තේමා ගීත අදටත් සමහර ජංගම දුරකතනවල “Ringing Tone“ එක ලෙස ඇසෙන්නේ ද ඒ නිසාය.
ටයිටැනික් චිත්‍රපටය තිරගත වී මේ වසරේ දෙසැම්බර් වන විට වසර විසි පහක් ගත වන විටත්, අදටත් අපේ මතක සිත්තම් තුළ එහි රූප රාමු සිතුවමක් සේ රැඳෙන්නේත් යළි යළිත් මැවෙන්නේත් එය අපේ සිත් තුළ සදාතනික මතක සටහන් තබා ඇති නිසාමය.
1912 අප්‍රේල් මාසයේ 15 වන දින එක්සත් රාජධානියේ සවුත්හැම්ප්ටන් සිට එක්සත් ජනපදයේ නිව්යෝකර් බලා ටයිටැනික් නෞකාව ගමන් ආරම්භ කළේය.
එහෙත් එය හිම තට්ටුවක ගැටී මුහුදු පතුලේ ගිලී ගියේ මුළු ලොවක් කම්පා කරවමිනි.
ඒ හේතුව නිසාම ටයිටැනික් ගැන බොහෝ නිර්මාණ බිහි විය. ඒ අතර ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂකවරයකු වන ජේම්ස් කැමරන්ට ද මෙම අනුවේදනීය සත්‍ය සිදුවීම ගැන චිත්‍රපටයක් නිපදවීමට ආශාවක් ඇති වූවේය.
සිදුවූ ව්‍යසනයේ චිත්තවේගීය බලපෑම ප්‍රකාශ කිරීම සඳහා මිනිස් ජීවිත අහිමි වීම හා බැඳුණු ආදර කතාවක් අත්‍යවශ්‍ය බව ඔහු වටහා ගත්තේය.
සමාජ පන්ති දෙකක සිටි ජැක් - රෝස් ආදර කතාව ඔහුම ලියා, අධ්‍යක්ෂණය කොට, ටයිටැනික් චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ ඒ නිසාය. 1997 දෙසැම්බර් මස තිරගත වූ ටයිටැනික් චිත්‍රපටය ඇකඩමි සම්මාන 14 ක් සඳහා නම් කළ අතර හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය ඇතුළුව සම්මාන 11ක් දිනා ගැනීමට සමත් වූවේය.
එය, ලොව පුරා ප්‍රදර්ශනය කිරීමෙන් ඩොලර් මිලියන දෙක ඉක්මවූ දෙවන චිත්‍රපටය බවට වාර්තා පොතට එකතු විය.
එමෙන්ම, ටයිටැනික් චිත්‍රපටයට අතිශය ජනප්‍රසාදයක් දිනා ගැනීමට හේතුවූ ජැක් සහ රෝස්ගේ ආදරය ද අපට අමතක කළ නොහැකිය. තද තැඹිලි පැහැති කැරලි ගැසුණු හිස කෙස් ඇති ධනවත් වංශවත් පවුලක දඟකාර තරුණිය වූ රෝස්ගේ චරිතයට රඟපෑ කේට් වින්ස්ලට් උපන්නේ 1975 දීය.
මේ වන විට ඇගේ වයස අවුරුදු 47කට ආසන්නය. ටයිටැනික් හී රඟපා ගතවූ වසර විසි පහකට ආසන්න කාලයකදී ඇය හොලිවුඩයේ ගෞරවාදරයට පාත්‍ර වූ නිළියක් බවට පත්වූවාය.
2009 සහ 2021 අතර ලෝකයේ බලගතුම චරිත 100 අතරට කේට් ගේ නම ඇතුළත්ව ඇත්තේ ද ඇගේ ජනප්‍රියත්වය සහ දක්ෂතා නිසාය. ඇකඩමි සම්මානයක්, ග්‍රැමී සම්මානයක් සහ ප්‍රයිම් ටයිම් එමී සම්මාන තුනක්, BAFTA සම්මාන තුනකුත්, ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන පහක් මේ වන විට ඇයට හිමි වී තිබේ.
ව්‍යාපාරික NED ROCKNROLL සමඟ විවාහ වී සිටින ඇය දරුවන් තිදෙනකුගේ මවකි. මේ වන විටත්, ටයිටැනික් චිත්‍රපටයේ ඇගේ පෙම්වතා වූ ලියනාඩෝ ඩි කැප්‍රියෝ සමඟ ඉතා හොඳ මිතුදමක් පවත්වා ගෙන යන කේට්, කොවිඩ් කාලයේ තම මිතුරු ලියෝව හමුවීමට නොහැකි වීම කනගාටුවට කාරණාවක් බව පවසයි.
1974 උපන් ලියනාඩෝ ඩි කැප්‍රියෝ, කේට් මෙන්ම තම වෘත්තීය රංගන දිවිය ආරම්භ කළේ ටයිටැනික් චිත්‍රපටයේ රඟපෑමත් සමඟය.
රූපවාහිනී දැන්වීම්වල රඟපෑමෙන් තම රංගන චාරිකාව ආරම්භ කළ ලියෝ ප්‍රවීණ දක්ෂ රංගන ශිල්පියෙකු මෙන්ම චිත්‍රපට නිෂ්පාදකවරයකු ලෙස ද ප්‍රසිද්ධය. සමාජසේවා ක්‍රියා කාරිකයකු ලෙස ද සැලකිය යුතු සේවාවක් ඉටුකරන ඔහු 2016දී THE REVENANT චිත්‍රපටය සඳහා ඔස්කාර් සම්මානය දිනා ගත්තේය. ඔහු ඇකඩමි සම්මාන හයක් සඳහා නිර්දේශ වී ඇති අතර ඉන් පහක් රංගනය වෙනුවෙන් ද එකක් නිෂ්පාදනය සඳහාය.
THE WOLF OF WALL STREET, THE REVENANT, ONE UPON A TIME IN HOLLY WOOD, INCEPTION, DON'T LOOK UP, SHUTTER ISLAND DJANGO, BLODD DIAMOND වැනි ජනප්‍රිය චිත්‍රපට ගණනාවකින් ඔබට ඔහුගේ රංගන කුසලතාවයන් දැක බලා ගත හැකිය.