මාත් එක්ක සතුටින් ඉන්න පුළුවන් කෙනෙක් තමයි මම හොයන්නේ | සිළුමිණ

මාත් එක්ක සතුටින් ඉන්න පුළුවන් කෙනෙක් තමයි මම හොයන්නේ

මම ජීවිතේ මහ ලොකු දේවල් බලාපොරොත්තු වෙන්නේ නැහැ

මම ජීවිතේ ගැන ලොකුවට හිතන කෙනෙක් නෙවෙයි

මේ වන විට විකාශය වන “බොනිකර තරු“ හි ශාරදා අපිට මතකයට නැඟෙන්නේ “නාඩගම්කාරයෝ“- ටෙලි නාට්‍යයේ හංසි ලෙසින්. නමුත් මධාරා කියන්නේ කාලයක් තිස්සේ වෙ‍ෙළඳ දැන්වීම්වල පෙනී සිට රංගනයට ආ සොඳුරු යුවතියක්. ඇය රංගනයට අමතරව වෘත්තියෙන් මනෝවිද්‍යා උපදේශිකාවක් ලෙස කටයුතු කරනවා. මේ සියල්ල ගැනම අපි මධාරා සෙව්වන්දි සමඟ කතා කළා.

 

මධාරා මුලින්ම කතාවට මුල පිරුවේ ගෙදරින්.

මගේ ගම ගාල්ල. පවුලේ විස්තර ගැන කියනවා නම් අම්මා තාත්තා සහ මල්ලි තමයි මට ඉන්නේ. අම්මා රැකියාවක් කරන්නේ නැහැ ගෘහණියක්. තාත්තා ව්‍යාපාර කටයුතු කරන්නේ. මල්ලි තාම අධ්‍යාපනය ලබනවා. මම පාසල් ගියේ ගාල්ල රිපන් බාලිකාවට.

කලාවට අවතීර්ණ වෙන්නේ වෙළඳ දැන්වීම් හරහා. මහේන්ද්‍ර පෙරේරා සර් යටතේ රංගනය ගැන ඉගෙන ගත්තා. ඒ අතරේ තමයි මට රංගනයට එන්න අවස්ථාව ලැබුණේ. ‘නාඩගම්කාරයෝ’ ටෙලි නාට්‍යයේ හංසි කියන චරිතය තුළින් තමයි ප්‍රේක්ෂකයින් මාව හඳුනා ගන්නේ. ඊට කලින් මම චන්දන ධර්මප්‍රිය මාමගේ ‘ජිවිතේ තව දුරයි‘ නාට්‍යයේ රඟපෑවා. මුලින්ම නම් අධ්‍යාපන කටයුතු අතරමඟ නතර කර ගනී කියලා ගෙදරින් කලාවට සම්බන්ධ වෙනවට කැමැත්තක් තිබ්බේ නැහැ. දැන් එහෙම ප්‍රශ්න නැහැ. ගොඩක් හොඳ සහයෝගයක් ලබා දෙනවා.

මහේන්ද්‍ර පෙරේරා කියන්නේ කලාවේ දැවැන්ත චරිතයක්, ඔහුගෙන් ලැබුණු ගුරුහරුකම් ඔබ දකින්නේ කොහොමද?

අද මම මෙතන ඉන්නේ මහේන්ද්‍ර පෙරේරා සර් නිසා. සර් හැම තිස්සෙම මට යා යුතු නිවැරදි මඟ පෙන්වා දුන්නා. ඒ එක්කම ප්‍රදීප් රාමවික්‍රම අයියාවත් මතක් කරන්න ඕනේ. ඒ අය තමයි මගේ ගුරුවරු. ඒ එක්කම නිර්මාණ තුළදී මට මේ කලා ක්ෂේත්‍රයේ දැවැන්ත චරිත මුණගැහිලා තියෙනවා. ඒ අයත් මගේ රංගන ජීවිතේට ලොකු සහයෝගයක් ලබා දීලා තියෙනවා මගේ චරිත නිරූපණය සාර්ථක කර ගන්න.

මධාරා කියන්නේ වෘත්තියෙන් මනෝ උපදේශිකාවක් ඒ ගැන කතා කළොත්?

ඔව් මම පරිවාසේ මනෝ උපදේශිකාවක විදියට කටයුතු කළා. දැන්නම් පුද්ගලික අංශයේ සේවය කරන්නේ. ඉතින් මම රැකියාව කරන අතරතුර තමයි නාට්‍යට සම්බන්ධ වෙන්නේ. කලා කටයුතු බොහොමයකට ආරාධනා ආවා. නමුත් රැකියාවත් එක්ක, තියෙන කාර්යබහුලත්වයත් එක්ක ගොඩාක් නිර්මාණවලට නම් දායකත්වය ලබා දෙන්නට බැරි වුණා. ඒත් වෘත්තීය මට්ටමින් බාධාවක් නොවන නිර්මාණ එක්ක මම කැමතියි කලාවේ ඉදිරියට යන්න. මම ආසාවෙන් ඉන්නවා මානසික මට්ටම අවුල් වුණු චරිතයක් කරන්න. ඒ එක්කම මගේ එකම අරමුණ හොඳ මනෝ උපදේශිකාවක් වෙන එක.

මධාරා ජීවිතේ දකින්නේ කොහොමද?

අපි මේ ගත කරන මොහොත ගැන හිතනවා නම් බොහොම සුන්දර දෙයක්. අතීතය ගැන හෝ අනාගතය ගැන ඕනෑවට වඩා හිතන්න ගියොත් ජීවිතේ අර්බුදකාරී වෙන්න පුළුවන්. ඒ නිසා මම හැමෝටම කියන්නේ ජිවිතේ මේ මොහොත සුන්දරව ගත කරන්න.

සමාජයේ ජනප්‍රිය වෙන්න වෙන්න කටකතා, නිර්මාණය වෙනවා, ඔබ මේ දේවල් දකින්නේ කොහොමද ?

ඕනෙම ජනප්‍රිය පුද්ගලයෙක්ට කටකතා හැදෙන එක සාමාන්‍ය දෙයක්. ඒ නිසා ඒ දේවල් මත්තෙම ජිවිතේ තීන්දු නොකර තමන්ගේ ගමන ඉස්සරහට අරගෙන යන එක තමයි කරන්න ඕනේ. මම එහෙමයි කටයුතු කරන්නේ.

මධාරාට මේ වෙද්දී කටකතා හැදිලා තියෙනවද?

මම දන්නා තරමින් නැහැ.

කටකතාවක් හැදුණත් මධාරා ඒ දේවල් ගැන හිතන්නෙම නැද්ද?

නොකරපු දේවල් ගැන කටකතා හැදෙද්දී හිතට පොඩි අවුලක් දැනෙයි. නමුත් ඒ ගැන තේරුම් අරගෙන ඉදිරියට යන්න ඕනේ කරන ශක්තිය මට තියෙනවා. කවුරු මොනවා කිව්වත් මම මා ගැන විශ්වාසයෙන් කටයුතු කරනවා.

මධාරා මේ වෙද්දී ආදරවන්තියක් ද කියලා ඇහුව ගමන් කිව්වේ නැහැ කියන පිළිතුර. ඔබ හොයන්නේ මොනවගේ කෙනෙක් ද?

එහෙම ලොකු දේවල් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මමත් ජීවිතේ ගැන ලොකුවට හිතන කෙනෙක් නෙවෙයි. මගේ පාඩුවේ ඉන්න කැමති කෙනෙක්. ඒ නිසා මාත් එක්ක සතුටින් ඉන්න පුළුවන්, මාව තේරුම් ගන්න පුළුවන් කෙනෙක් තමයි හොයන්නේ.

ඔබට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැන මොනවගේ හැඟීමක්ද තියෙන්නේ?

බොහෝ තැන්වලදී මාව දැක්කම හංසි හෝ ශාරදා කියලා තමයි ප්‍රේක්ෂකයින් මට කතා කරන්නේ. ඒ අය බලපු නිර්මාණ තුළින් වඩාත් සමීප චරිතයේ නමින්. ඉතින් ඒ ලැබෙන ප්‍රේක්ෂක ආදරය ගැන සතුටක් තියෙනවා. මගෙන් මනෝ උපදේශන ගන්න එන අය මාව හඳුනාගෙන කතා බහ කරනවා. ඒ එක්කම මම ඉන්න නිසා මාව හොයාගෙන මගේ ගාවට එන අයත් ඉන්නවා. මම ඕනෙම කෙනෙක් එක්ක කතා බහ කරන චරිතයක්. මට ආදරය කරන ප්‍රේක්ෂකයින්ට මම හැමදාමත් ආදරෙයි.

 

Comments