මට ඕන වුණේ රටටම දැනෙන ගීතයක් නිර්මාණය කරන්න | සිළුමිණ

මට ඕන වුණේ රටටම දැනෙන ගීතයක් නිර්මාණය කරන්න

මම  ගීත නිර්මාණය කළේ  එක රැයකින් නෙමෙයි

අද වන විට තරුණ පරපුර අතර ජනප්‍රියතම ගීතයක් තමයි‘සළඹ සලා‘ කියන්නේ. මේ ගීතය නිර්මාණය කළේ සගා ගුරුගේ විසිනි. ඔහු විවිධත්වයෙන් රස තැන් සොයන්නෙක්. ඒ සමඟම ඔහුගේ අලුත්ම තොරතුරු ඔබට ගෙන ඒමටයි මේ කතාබහ.

සළඹ සලා ගීතය ගැන කතා කළොත් ?

සළඹ සලා ගීතය මගේ සංකල්පයට නිර්මාණය වුණ ගීතයක්. දැන් ඒ ගීතය අපේ රටේ රසිකයන්ට භාර කරලා ඉවරයි. මේ වෙද්දි සියලුම රූපවාහිනි ගුවන්විදුලි සේවාවන්වල, සමාජ මාධ්‍යවල ඉහළින්ම තියෙන ගීතයක්. මට ඕන වුණේ ලංකාවටම දැනෙන ගීතයක් නිර්මාණය කරන්න. මේ ගීතය මම 2021 වසරේ තමයි ලිව්වේ. ගීතයේ සංගීතය නිර්මාණය කළේ සඳරුවන් ජයසිංහ. ගීතයට සුදුසුම හඬ වුණේ ටෂ්නි පෙරේරා. සළඹ සලා කියන චිත්‍රය මනසේ තිබ්බා. විශේෂයෙන්ම කියන්න ඕන මම මේ සිංදුව මටම කියවෙච්ච ගීතයක්. මට වචන ලියන්න අවස්ථාවක් තිබුණේ නැහැ. මම එදා ඒ වෙලේම මගේ ජංගම දුරකථනයෙන් කටට ආපු වචන ටික පටිගත කර ගත්තා. ඊට පස්සෙ තමයි මම මේක නිවැරදිව ලිව්වේ.

ඔබ මෑතකදී රචනා කරපු ගීත මොනවද?

මම මුල්ම ගීතය නිර්මාණය කළේ මීට අවුරුදු 5කට කලින්. ඒ සංඛ දිනෙත්ගෙ රෑ සිහිනෙ මා කියන ගීතය. එය බොහෝ ජනප්‍රිය වුණා. විශේෂයෙන් මතක් කරන්න ඕන ඉන්දියාවේ ප්‍රසිද්ධ ගායකයෙක්ගෙ පුතෙක් වන ආධිත්‍ය නාරායන් ලංකාවට ඇවිල්ලා මේ ගීතය ගායනා කරනවා. මම ශානිකා මධුමාලි, මිලින්ද සඳරුවන්, තීක්ෂණ අනුරාධ, සුප්‍රියා අබේසිංහ, ටෂ්නී පෙරේරා යන ගායක ගායිකාවන්ට ගීත නිර්මාණය කරලා තියෙනවා. ශ්‍රී fm ආයතනයටත් ගීත නිර්මාණය කරලා තියෙනවා. ඒ ගී ඉදිරියේදී අහන්න ලැබේවි.

ඔබට හිතෙන විදිහට දක්ෂ ගී පද රචකයෙක්ට තිබිය යුතු ගුණාංග මොනවද?

මම දකින, විශ්වාස කරන එකම දේ තමයි මිනිස්සුන්ගේ හදවතට දැනෙන්න ලියන්න හැකියාව තියෙන්න ඕන. ඒ වගේම කැපවීම තියෙන්නත් ඕන.

ඔබ ගුවන්විදුලි නිවේදකයෙක් වැඩසටහන් නිෂ්පාදකයෙක් ලෙස කටයුතු කරන්න පටන් අරන් කොතරම් කල්ද?

මම මාධ්‍ය ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු 15ක් වෙනවා අද වනවිට. ලංකාවෙ ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනයක කළමනාකරුවෙක් දක්වා ඉහළට ගියා. මම එම මධ්‍ය ආයතනයේම රූපවාහිනි ආරම්භ කරද්දී පළමුවෙනි නිවේදකයා වෙනවා. දැනට ශ්‍රී fm ආයතන‍ෙය් නිවේදකයෙක් සහ නිෂ්පාදකයෙක් විදියට වැඩ කරන ගමන් ස්වර්ණවාහිනියෙ වැඩසටහන්වලටත් දායක වෙනවා.

ඔබේ පවුල් ජීවිතය ගැන කිව්වොත් ?

මම විවාහකයි. මේ වෙද්දි මගේ බිරිය ඕස්ට්‍රේලියානු ආයතනයක රැකියාව කරනවා. ඇය කාර්‍යබහුල කෙනෙක්. ඔස්ට්‍රේලියානු කාල වේලාවෙන් තමයි ඇයට වැඩ කරන්න වෙලා තියෙන්නෙ. මමත් දවසට පැය 15ක් විතර වැඩ කරන නිසා අපිට සතියට එක දවසක් වගේ තමයි නිදහසේ කාලය ගතකරන්න තියෙන්නේ. මොන වැඩ රාජකාරි තිබුණත් අපි කාලය බෙදා ගෙන බොහොම සහයෝගයෙන් ඉන්නවා. අපි කාලය බෙදා හදාගෙන වැඩ කරනවා.

ඔබේ ඉදිරි වැඩකටයුතු කිව්වොත්?

මම ශ්‍රීfm ආයතනය වෙනුවෙන් මගේ උපරිම කැපවීම කරනවා. විශේෂයෙන් කියන්න ඕන දැනට මම උදේ 11 සිට 'ශ්‍රී fm lunch time redio' වැඩසටහන කරනවා. ඒ වගේම සෙනසුරාදා දවසෙ සති අන්තෙ “සීමාවෙන් එහා“ දේශපාලනමය වැඩසටහන කරනවා. නවකයන්ට ප්‍රමිති සහගතව තම ගී නිර්මාණ එළිදැක්වීමේදී ඒ සඳහා අවශ්‍ය දායකත්වය ලබාදෙමින් නිර්මාණවලට අවස්ථාව ලබාදෙන 'ශ්‍රී fm new release' වැඩසටහන කරනවා. මෙහිදී සිහිකරන්න ඕන චන්දන තිලකරත්නයන්ව. ඔහු අපට දක්වන සහාය බොහෝමයි. ඒ වගේම මගේ නිර්මාණයන්ට අතහිත දෙන ලංකාවෙ මාධ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්තයෙක් වන ශ්‍රී fm වැඩසටහන් අංශයේ ප්‍රධානී වසන්ත කරුණාරත්න මතක් කළ යුතුයි. මම නිවේදකයෙක්, වැඩසටහන් නිෂ්පාදකයෙක්, වගේම තවත් බොහෝ දේ මා අතින් සිදු කෙරෙනවා. මම මාධ්‍ය ක්ෂේත්‍රයේ එක තැනකට සීමාවෙච්ච පුද්ගලයෙක් නෙමෙයි. පොඩි තැනින් මාධ්‍ය ආරම්භ කරපු මාධ්‍ය හැසිරවීමේදී කළ යුතු දෑ මොනවාද නොකළයුතු දෑ මොනවාද කියලා හොඳින් දන්නවා.

 

Comments