
ප්‍රේක්ෂකයෝ ‘පියාඹන්න ආයෙත්’ බලනවා නම් අපිට ශක්තියක්
රූපවාහිනී වැඩසටහන් නිර්මාණකරුවෙක්, පුවත්පත් මාධ්‍යවේදියෙක්, වේදිකා, ටෙලි නාට්‍ය සහ සිනමාවෙි විවිධ කලා භූමිකාවන්හි නිරත වුණ ෂර්ලි සමරසිංහගේ කුලුඳුල් සිනමා අධ්‍යක්ෂණය “පියාඹන්න ආයෙත්“ චිත්‍රපටය පසුගියදා වැනිදා ප්‍රදර්ශනය ඇරඹුවා. ඔහුගේ සිනමාගමනය සහ කලා භාවිතාව පිළිබඳව ෂර්ලි සමඟ රසඳුන කළ කතාබහයි මේ.
චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් දක්වා පැමිණි ගමන කොයි වගේ ද කිව්වොත්
මම ජාතික තරුණ සේවා සභාව සහ ජාතික චිත්‍රපට සංස්ථාව සහ කැලණිය විශ්වවිද්‍යාලයෙන් මාධ්‍යය පිළිබඳව හැදෑරීම් කළා. ගෙවුණු කාලය තුළ රූපවාහිනී මාධ්‍යයේ වැඩසටහන් අධ්‍යක්ෂකවරයෙක් ලෙස මෙන්ම වාර්තා චිත්‍රපට සහ කෙටි චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් ලෙස ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය අත්දැකීම් බොහොමයක් තියෙනවා.ඒ අතරින් මා නිර්මාණය කළ ‘අහස‘ SKY කියන කෙටි චිත්‍රපටය ලංකාවේ සිනමා උළෙල පහක ඇගයීම් සහ බැංගලෝර් කෙටි චිත්‍රපට සම්මාන උළෙලේ ජුරියේ සම්මානයට පාත්‍ර වුණා. සයපෙති කුසුම සහ පාංශු වෘත්තාන්ත චිත්‍රපටවල නිෂ්පාදන කළමනාකරු ලෙසත් තවත් චිත්‍රපට කීපයක සහාය අධ්‍යක්ෂකවරයා ලෙසත් කටයුතු කළා. ඔ්‍ය හැමදේම කරන අතරේ තමයි මට ඕන වුණේ චිත්‍රපටයක් කරන්න. ඒ අනුව තමයි “පියාඹන්න ආයෙත්“ මගෙ පළමු වෘතාන්ත චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ.
මේ වන විට ඔබට ලැබෙන ප්‍රතිචාර කොහොමද
මාධ්‍ය දර්ශනය සහ පසුගියදා පැවැති මංගල දර්ශනය බලපු අය චිත්‍රපටය බෙහෙවින් අගය කළා. සමාජ මාධ්‍ය හරහාත් බොහෝ ප්‍රතිචාර ලැබෙමින් තියෙනවා. මම හිතන්නෙ චිත්‍රපටයක් බලන්න රසිකයින් සිනමා ශාලාවකටම යන්න ඕනෑ. ටෙලිවිෂන් එකෙන් චිත්‍රපට බලන එකෙන් සිනමා රස වින්දනය ලබාගන්න බැහැ. අද අපේ රටේ චිත්‍රපට කීපයක් පමණයි වසරකට හැදෙන්නෙ. ප්‍රේක්ෂකයෝ මේ චිත්‍රපට බලනව නම් අපිට ශක්තියක්. මම හිතනවා ප්‍රේක්ෂකයන් ඉදිරියේ දී චිත්‍රපටය බලලා අපිට හොඳ ප්‍රතිචාර දක්වයි කියල.
ඔබේ සිනමාපටයට කලණ සහ චමත්කාගෙන් ලැබුණ සහාය කොහොමද?
කලණ කියන්නෙ දැනට චිත්‍රපට විස්සක පමණ ප්‍රධාන චරිතය රඟපාපු නළුවෙක් වගේම මම ක්ෂේත්‍රයට ආපු මුල් කාලයේ පටන් මගේ මිත්‍ර සමාගමේ ඉන්න කෙනෙක්.
අදටත් මට මේ චරිතයට කලණ ඇරෙන්න වෙන කෙනෙක්ව මතක් වෙන්නෙ නෑ. චමත්කා චිත්‍රපට කීපයකට රගපෑවත් ඒ අතරින් “හුස්ම“ චිත්‍රපටයේ අභියෝගාත්මක චරිතයක් කළා. ඇය සිනමාව ගැන හදාරමින් චරිත ගැන අධ්‍යයනයක් එක්ක රංගනයේ යෙදෙන කෙනෙක්. ඔවුන් තෝරා ගැනීම ගැන මට තිබෙන්නේ සතුටක්. විශේෂයෙන්ම අධ්‍යක්ෂකවරයා විදියට මම ගොඩක් සතුටුවෙනවා කලණ සහ චමත්කා චිත්‍රපටයට කරපු කැපකිරීම් සහ සාධාරණය ගැන.
පියාඹන්න ආයෙත් කතා තේමාව ගැන අදහස ඇතිවුණේ කොහොමද.?
DCINEMA ආයතනය වෙනුවෙන් යූ. ඒ. පල්ලියගුරු තමයි මූලිකව පිටපත රචනා කරන්නේ. එම ආයතනයේ මා නිර්මාණ අධ්‍යක්ෂකවරයෙක් මම වැඩ කළා. ඒ අතර තමයි මෑතකදී කලණ ‘සූස්ති‘ චිත්‍රපටයේ රඟපෑවේ. ඒ දවස්වල තමයි අපි මුලින්ම මේ චිත්‍රපටයේ තේමාව ගැන කතා කළේ. කොවිඩ් රැල්ලෙන් පස්සේ අපිට කෙටි කාලයක් ලැබුණා නැවත එළියට බැහැලා නිදහස අත් විඳින්න. රංගන ශිල්පීන් කාර්මික ශිල්පීන් වැඩ නොකර ගෙදරට වෙලා හිටිය විරාමයේදී ලංකාවේ පේදුරු තුඩුවෙ ඉඳල දෙවුන්දර තුඩුව දක්වා දර්ශන තලවලට අපිට යන්න හැකි වුණා චිත්‍රපටයේ රූගත කිරීම් වෙනුවෙන්. මෙහි ඇතුළත් වෙන්නෙ ආදරය ගැන නැවුම් අර්ථකතනයක් සහ අපි හැමෝගෙම ජීවිතවල ඇතුළාන්තය තුළ ප්‍රේමය පිළිබඳව තියෙන කුතුහලාත්මක කතාවක්. කොහොම හරි මගේ හිතේ මේ දේවල් එකි නෙක බැඳෙමින් චිත්‍රපටය කරගන්නට මාවත සැකසුණා.
මේ චිත්‍රපටය රූගත කරපු බොහෝ ප්‍රදේශවලට මම රූපවාහිනී වැඩසටහන් සඳහා කලින් ගිහිල්ලා තියෙනවා. ඒ ලබා ගත්ත දැනුම මට චිත්‍රපටයට යොදා ගන්න පුළුවන් වුණා.
ආසාවක් තිබූ පමණින්ම චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න බැහැ. අපි සිනමාවේ උප සංස්කෘතිය ගැන හොඳ අවබෝධයක් ලබාගන්න ඕනෙ.
සිනමාශාලා වැසී යන යුගයක හෙට දවසේ අපේ සිනමාවට කුමක් වේවිද?
මොනතරම් අර්බුද ආවත් ලෝකයේ සිනමාව නැතිවෙයි කියල මම හිතන්නෙ නැහැ. එය ලංකාවෙත් එහෙමයි. මේ වන විට නවීන සිනමා සංකීර්ණ කිහිපයක් අගනගරයේ බිහිවෙලා තියෙනවා. ග්‍රාමීය සිනමාශාලා වැසීයන ප්‍රවණතා අතරතුර නවීන වු තාක්ෂණය, පුළුල් සිනමාශාලා අනාගතයේ ඉදිවෙිවී.
හොලිවුඩ් සහ බොලිවුඩ් වැනි විදේශීය චිත්‍රපට ඒ රටවල ප්‍රදර්ශනය වෙන අතර ඊට සමගාමීව ලංකාවේත් ප්‍රදර්ශනය වෙනවා. අපි උත්සහ කරන්න ඕන අපේ රටේ චිත්‍රපටත් ඒ මට්ටමට ගෙන එන්න. “පියාඹන්න ආයෙත්“ චිත්‍රපටයට ලංකාවේ බොහොම අපූරු භූමි දර්ශන සහ පසුතල යොදාගෙන තියෙනවා. ඒව විදේශීය ප්‍රේක්ෂකයින් දැක්කොත් සංචාරක ආකර්ෂණයට අපේ රට නතු වෙිවි. අපේ චිත්‍රපට හරහා මේ දර්ශන විදේශිකයන් දකිනවා කියලා කියන්නේ ඒ හරහා ලංකාවට සංචාරක ආකර්ෂණය ලබාගන්න පුළුවන්.
විශේෂයෙන් විදේශීය චිත්‍රපට ලංකාවේ රූගත කරන්න දර්ශන තලවල ලබාදෙන්න පුළුවන් ක්‍රමවේදයක් අපි හදන්න ඕන. එවිට අපේ නිර්මාණකරුවන්ට සහ කාර්මික ශිල්පීන්ට ඔවුන් හා එක්ව වැඩ කරන්න පුළුවන්. NETFLIX එකෙන් බොහෝ දෙනෙක් චිත්‍රපට බැලුවත් තවම ඒ තාක්ෂණයට අපේ චිත්‍රපට එක් කරන්න බැරිවෙලා.
ලංකාවෙ සිනමාකරුවන් සහ ශිල්පීන්ගේ නිර්මාණ ශක්‍යතාව උපරිමව තියෙනවා. මූල්‍ය පහසුකම් නිෂ්පාදන සඳහා ලැබුණොත් ඉදිරියේදී ලංකාවේ සිනමාව තවත් සාර්ථක වේවි.