මම ඉංග්‍රීසි සින්දු මාකට් කරන්නයි උත්සාහ කරන්නේ | සිළුමිණ

මම ඉංග්‍රීසි සින්දු මාකට් කරන්නයි උත්සාහ කරන්නේ

මම මගේ  ටාගට්වලට ජීවිතේ  කැප කරලා තියෙන්නේ. ඒ නිසා  මම ආදරවන්තයෙක් නෙමෙයි

තාත්තා  ඉතුරු කරලා ගිය දෙයින් මම සෑහෙන්න හම්බ කළා අදටත්  හම්බ කරනවා ඉදිරියටත්  හම්බ කරයි

 

මාරියෝ ආනන්ද කියන්නේ මෙරට රසික හදවත් තුළ නොමැකෙන හඬක් හිමිව තිබූ ගායන ශිල්පී ග්‍රේෂන් ආනන්දගේ පුතණුවන්. ග්‍රේෂන් ආනන්දයන් අප අතරින් සමුගෙන වසර ගණනාවක් ගත වුවත් ඔහුගේ හඬත්, රුවත් මාරියෝ තුළින් අපි දකිනවා. හැමදාමත් කලා ලෝකයේ උඩු ගං බලා පිහිනන්න වෙර දරන මාරියෝ ගැන පසුගිය දිනෙක ලංකාවේ ඉහළ පෙළේ ව්‍යාපාරිකයෙක් වන කිෂූ ගෝමස් හොඳ සහතිකයක් ලබා දෙනවා. ඔහු මාරියෝ හඳුන්වන්නේ ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තරය ජයගත හැකි ගායකයින් කිහිප දෙනෙක් ඉන්නවා නම් ඉන් අංක එක මාරියෝ බවයි. මාරියෝ කියන්නේ කවදත් කියන දේ කෙළින් කතා කරන කලාකරුවෙක්. ඔහු සමඟ කළ සොඳුරු කතා බහයි මේ...

 

මේ දවස්වල මොකද වෙන්නේ

මම කරගෙන යන Living on the edge (මාරියෝ ආනන්ද රැඳ නොසැලී) කියන කන්සේෆ්ට් එකේ කලින් මම පිහිනුම් ක්‍රීඩකයින් මෝටිවේට් කරන්න පිහිනුම් ක්‍රීඩාව ගැන සින්දු කිහිපයක් කළා. මේ අවුරුද්ද මම කැප කළේ වුෂු කරන ළමයින්ව මෝටි‍ෙව්ට් කරන්න. ඒකේ සින්දු දෙකක් එළිදැක්වෙනවා ඔක්තෝම්බර් මස පළවෙනිදට ජාතික චිත්‍රපට සංස්ථාවේදි. එක ගීතයක් මම සැලසුම් කරගෙන යන්නේ දැන් තනිවෙලා ඉන්න දුප්පත් ළමයි වෙනුවෙන්. ඒ කියන්නේ රට අතහැරලා යන්න පුළුවන් අය යද්දී එහෙම යන්න බැරි ළමයින්ගේ හිත්වලට පොඩි බලාපොරොත්තුවක් ඇති කරන්නට හැකි විදියේ සින්දුවක් කරන්නයි සූදානම් වෙන්නේ. ඒ ගීතයට ග්‍රාමීය මට්ටමේ ඉන්න අපේම දරුවන්වත් සහභාගී කරගන්නවා.

මාරියෝ සංගීතයට එකතු කරන්නේ මෝටිවේෂන් පැත්ත, මොකක් ද ඔබේ ඉලක්කය කියලා ඇහුවොත්..?

අවංකවම හා පැහැදිලිවම කියන්න ඕනේ මේක කිසිසේත්ම දේශපාලනික නැහැ කියන කාරණය. මම කවදාවත් කිසිම දේශපාලන පක්ෂයකට වැඩ කරන්නේ නැහැ. මට අවශ්‍ය ලංකාවේ අපේම අයට තනි තනියෙන් නැගිටින්න ශක්තිය දෙන්න. උදාහරණයක් විදියට කිවුවොත් තමන්ට හැකියාවක් තියෙනවා නම් ඒ තමන්ගේ හැකියාවෙන්ම නැගිටලා පෙන්වන්න කියන එක. ඒකට තමයි මම අපේ දරුවන්ව යොමු කරන්න හදන්නේ. එහෙම ළමයි හැදුණොත් මේ සිස්ටම් එක හැදෙනවා. එහෙම නැතුව සිස්ටම් එක හදන්න බැහැ එක පාලකයෙක් වෙනස් කිරීමෙන්. ඒක අපි දැක්ක දෙයක්නේ. පළවෙනියටම මිනිසුන්ගේ චින්තනය වෙනස් වෙන්න නම් මිනිස්සු ගැත්තෝ වෙන්න බැහැ. තව කෙනෙක් කියන දේට ඔළුව නවාගෙන මේ ගමන යන්න බැහැ. අපි තනි තනියෙන් නැගිටින්න ඕනේ. එහෙම නැගිටින මිනිහා පගාව ගන්නෙත් නැහැ පගාව දෙන්න යන්නෙත් නැහැ. අන්න ඒ පෞරුෂය හදන එකට තමයි මම මේ මෝටිවේෂන් පැත්ත කරන්නේ.

මාරියෝ ආනන්ද කියූ සැණින් අදටත් මතකයට නැ‍ෙඟන්නේ ඔබේ පියා ග්‍රේෂන් ආනන්ද, ඔහුගේ ගීත යළිත් ඔබේ හඬින් අහන්න ලැබෙනවා ...

තාත්තාව මතක් කළ යුතු හැම තැනකම තාත්තාගේ ගීතයක් දෙකක් මම ගායනා කරනවා. මගේ ගීත ගොඩක් වෙලාවට ඉංග්‍රීසි බසින් ගායනා කරන්නේ. නමුත් මිනිස්සුන්ට කොයි තරම් හැඟීමක් දැනෙනවාද තමන්ගේ භාෂාවෙන් ගීතයක් ඇහෙද්දී. ඒ ලබන සතුට වෙනමම ලෝකයක්. මේ මෑතකත් මම තාත්තාගේ ගීතයක් ගායනා කළ අවස්ථාවේදී ඒක අත්වින්දා. තාත්තා මට ඉතුරු කරලා ගිය ඒ දේ සෑහෙන පිංකඳක්. ඒකෙන් මම සෑහෙන්න හම්බ කළා. අදටත් හම්බ කරනවා. ඉදිරියටත් හම්බ කරයි.

මාරියෝ ආනන්දටම අනන්‍ය වූ සිංහල සින්දු කරන්න වැඩි කැමැත්තක් නැද්ද?

මගේම සිංහල සිංදු තියෙනවා යූටියුබ් අවකාශය තුළ. නමුත් මම ඒවා මාකට් කරන්න මහන්සි වෙන්නෙ නැහැ. මොකද මගේ ටාගට් එක තියෙන්නේ ඒ පාරේ නෙවෙයි. අපි ලංකාවේ තියෙන ලිමිට් එකෙන් පිට ගියොත් තමයි අපේ රට වෙනුවෙන් දෙයක් කරන්න පුළුවන් වෙන්නෙ. ඒ නිසා අපි දැන් හිතන්න ඕනේ මේ සීමාවෙන් එපිටට. ඒ නිසයි මම ඉංග්‍රීසි සිංදු මාකට් කරන්න උත්සාහ කරන්නෙ. හැබැයි මම නිර්මාණය කරන ක්‍රීඩා ගීත සහ විශේෂ අවස්ථාවක් උදෙසා නිර්මාණය වන ගීතවල ඉංග්‍රීසි සිංදුව සේම එහි සිංහල වර්ෂන් එකත් නිර්මාණය කරනවා. ඔක්තෝම්බර් පළමු වෙනිදා නිර්මාණය වන ගීතය ගත්තත් සිංහල එක අපේ ළමයින්ට. ඉංග්‍රීසි සිංදුව ලෝකයේ ම මිනිස්සුන්ට නිර්මාණය වෙන්නෙ.

ඔබ සිහින මැව්වෙ කවුරු වෙන්න ද?

මට හැමදාම ඕනෙ වුණේ යම්කිසි දෙයකට නායකයත්වය දිය හැකි දෙයක් කරන්න. හැබැයි මම හිතාමතාම නායකත්වය දෙන්න ගියේ නැහැ. දැන් මගේ ජීවිතේ ගත වෙන්නෙ අවුරුදු 10-20 අතරේ ළමයි එක්ක. ඒ නිසාම මම කරන කියන දේවල් එක්ක මම ඒ අයට යම්කිසි නායකයෙක් බවට නිරායාසයෙන්ම පත් වෙලා තියෙනවා.

ලංකාවේ ඉහළ පෙළේ ව්‍යාපාරිකයෙක් වන කිෂූ ගෝමස් හොඳ සහතිකයක් දෙනවා. ඒ ගැන ඔබ මොකද හිතන්නේ

පසුගිය දවසක ඩ්‍රීම්රෝන් ආයතනයේ සින්දුව හදන්න මට කිෂූ සර් භාර දුන්නා. මොකද මම ඉංග්‍රීසි බසින් සින්දු හදන නිසා ඒ අයට ඕනේ වෙලා තිබ්බේ ග්ලෝබල් මාකට් එකට ගැළපෙන සින්දුවක් කරන්න. මට හරි පුදුමයි. මගේ මේ ජීවිත කාලයටම කිෂූ සර් දවස් හතරක් පහක් හමුවෙලා ඇති. ඒ හැමවෙලාවෙම මම වේදිකාවේ, ඔහු ප්‍රේක්ෂකාගාරයේ. මම දැක්ක නිහතමානිම චරිතයක්. ඒ වගේ දැවැන්ත චරිතයක් මගේ ජීවිතේට ඒ දුන් දිරිය ගැන ලොකු සතුටක් තියෙනවා. ඔහු මගේ ගමන් මඟ අවබෝධ කරගෙන තියෙනවා. ඒ නිසයි ඔහු මාව එහෙම ශක්තිමත් කරන්න ඇත්තෙ. කිෂූ සර් මම දකින්නෙ ස්වෝත්සාහයෙන් නැගී සිටින අයට වචනයකින් හරි දෙපයට වාරු දෙන චරිතයක්.

මාරියෝ රූප මාධ්‍යය තුළ වැඩිපුර දකින්න නැත්තේ ඇයි?

මම අවංකවම කැමතියි මාධ්‍යය එක්ක ගනුදෙනු කරන්න. මම කැමතියි උදෑසන වැඩසටහන්වලට සහභාගි වෙන්න. ඒ තුළින් අපේ ජීවිතේ ගැන කතා කිරීම තුළ තව මනුස්සයෙක්ව ඇහැරීමට ලක් කරන්න පුළුවන්. එහෙම නැතුව වට සාකච්ඡාවලට යන්න මගේ කැමැත්තක් නැහැ. ඒ වැඩසටහන් අවතක්සේරුවට ලක් කරනවා නෙවෙයි. නමුත් මගෙ විදියට මට ඒවා ගැළපෙන්නේ නැහැ. මේ වෙලාවේ මම දිනේෂ් සුබසිංහ සහ රංග ප්‍රේමරත්න අයියාව ආදරෙන් මතක් කරනවා. ඒ අය කරපු Tone Poem වැඩසටහන් 5කට විතර මම සහභාගි වුණා. කලාව කියන්නෙ ආනන්දයෙන් ප්‍රඥාවට අරන් යනවා කියලනේ. එහෙම වෙන වැඩසටහන්වලට මම ඉතාම කැමැත්තෙන් සහභාගි වෙනවා.

මාරියෝ පෞද්ගලික ජීවිතේ ගැන දැන් කතා කරන්න අකමැති ද?

මම මුල් කාලයේ මගේ ජීවිතේ කතාව විවෘතව ම කිවුවා. අද ඒක එහෙම නැහැ කියන්නෙ නැහැ. මට හිතෙනවා අද පෞද්ගලික ජීවිතේ ගැන කතා කරනවට වඩා අපි කළ යුත්තේ මේ මොහොතේ රට පත්ව තියෙන තැනින් ඔසවා තබන්නට කාලය වෙන්කිරීම. මේ වෙලාවෙ පෞද්ගලික ජීවිතේ මම ආදරවන්තයෙක් ‍ෙනාවෙයි. එතරම්ම මම මගේ ටාගට්වලට ජීවිතේ කැප කරලා තියෙන්නේ. එහෙම නැතුව පෞද්ගලික ජීවිතේ ගැන කතා කරන්න අකමැත්තක් නැහැ.

Comments