මතක ලන්තෑරුම් අඳුර මැද ඔබේ හුස්මක සුවඳ දැනුණා | සිළුමිණ

මතක ලන්තෑරුම් අඳුර මැද ඔබේ හුස්මක සුවඳ දැනුණා

ගැ - මතක ලන්තෑරුම් අඳුර මැද

ඔබේ හුස්මක සුවඳ දැනුණා

අහම්බෙන් වට මුරුගසන් වැහි

මැද්දේ මම තනියෙන්ම තෙමුණා

කියන්නම මඟ බලාගෙන උන්

වචන අමතක වෙලා රිදුණා

දැනුණෙ නැතිවට මගේ කඳුළින්

කමිසේ උරහිස තෙමී තිබුණා

 

පි - මතක ලන්තෑරුම් අඳුර මැද

හුස්ම නොතියා ඉන්න තිබුණා

අහම්බෙන්වත් මුරුගසන් වැහි

නොදී ඈතට යන්න තිබුණා

කියන්නම ගිය වචන අමතක

වුණත් මගෙ හදවතට දැනුණා

නොදැණුනා වාගේම උන්නට

සුදු කමිස උරහිසට රිදුණා

 

ගැ - පරවෙලා මිහිදන් වෙලා උන්

හිත ඔහේ පරවෙන්න තිබුණා

නිල්පාට කටරොළු මලක මිල

පිපුණු හිතකට දෙන්න තිබුණා

 

තනිය හුරු මට මගේ ලෝකේ

තනිය තනි නොකරන්න තිබුණා

එදා ඔයා දිහා නොබලම

බිම බලාගෙන යන්න තිබුණා

 

ගායනය - කරුණාරත්න දිවුල්ගනේ

අභිෂේකා විමලවීර

පද රචනය - අභිෂේකා විමලවීර

තනු නිර්මාණය - තරිඳු ප්‍රියංකර ද සිල්වා

 

වසර ගණනක් තිස්සේ පාළුවෙන් වෙළී ඇති සිතට සතුටක් ගෙනාවේ නම් ඒ ඇය හා ගෙවූ දවස් පමණි. මේ වගේ හැන්දෑවල් කීයක් නම් ගෙවෙන්න ඇති ද. සුසුමක් පිටවූයේ ඔහුටත් නොදැනීමය.

 

“මටත් තිබුණා හරි ලස්සන අතීතයක්. ඒ අතීතය ලස්සන වුණේ ඇය නිසා. ඇය මට හමු වුණේ අහම්බෙන්. ඒත් අපිටත් නොදැනීම අපේ හිත් ළං වුණා. ඒ හිත් ආදරයෙන් බැඳුණා. “අම්මලා අකමැති වුණත් මම ඔයා එක්ක එනවා.” දවසක් ඇය මට එහෙම කිවුවා.

වසර කිහිපයක් තිස්සේ ඇය හා ප්‍රේමයෙන් බැඳී වූන් මම ඇය අමතක කර දමන්නට උත්සාහ දරමින් සිටියෙමි. ඒ ඇගේ අම්මා මට අකමැතිවූ නිසාය.

“ඇයි ඔයා කතා නැත්තේ”

අපි යමු ද ...දැන් හවස් වෙලා... මම අද යාළුවෙක් මුණගැහෙන්න යන්න ඕන”

“මේ තරම් හැන්දෑ වෙලා...”

ඇය රථයට ගොඩවුයේ එසේ අසමිනි. අප බොහෝ දුරක් පැමිණියේ නිහඬවමය. ඈ නිවස ඉදිරිපිටදී රථයෙන් බැස

ගියේ ලේන්සු පොඩියෙන් දෑස් පිසිමිනි.

හිතට බරක් වූ ඇගේ ආදරය බිමින් තියන්නට දැන් කාලය එළැඹ ඇතැයි මා සිත මට කීය.

ඒ හමුවීමෙන් පසු දවසක් දෙකක් නොව සතියක් පමණ ගෙවී ගියේය. ඈ බොහෝ නිහඬය. ඇමතුමක් දෙන්නට සිතුණත් මා එය මඟහරවා ගත්තේ බොහෝ අමාරුවෙනි. “ඇය අමතක කරනවා” ඒ මා සිත නිතර මට කීය.

එක් සිකුරාදා හැන්දෑවක දුරකථන ඇමතුමක් ආවේ මා නිවසට යන අතරතුරය.

“හලෝ....”

“මම අචිනිගේ යාළුවෙක් කතා කරන්නේ.... අචිනිට සනීප නැතිව ඉස්පිරිතාලේ නතර කළා.............”

මම රෝහලට ගියෙමි. ඇය ඇඳක් මත වැතිරී සිටියාය.

මා ඇගේ වෛද්‍යවරයා හමු වුණෙමි.

“හෙට හවසට එනවද මා හමුවන්න” මා කවුදැයි කියා දැන හඳුනාගත් පසු වෛද්‍යවරයා පැවැසීය.

පසුදා සන්ධ්‍යාවේ මා වෛද්‍යවරයා හමුවීමි.

ඔහු බොහෝ දේ කීය. අචිනිගේ රෝගී තත්ත්වය ගැන කීවේ ඊටත් පසුවය.

“මේක අමාරු තත්ත්වයක්. අචිනිට තියෙන්නේ කැන්සර් එකක්. දැන් කරන්න කිසිම දෙයක් නැහැ. තවත් මාසයකට වඩා එයා ජීවත් වෙන එකක් නැහැ. ............”

වෛද්‍යවරයා තවත් මොන මොනවාදෝ ගොඩක් දේ කීවේය. ඒත් මගේ හිතට ඒ කිසිවක් මතක නැත. රෑ එළිවෙනකම්ම මට නින්ද ගියේ නැහැ.

“මං අචිනිව බඳිනවා”

“ඇයි පුතා මේ හදිසියේ” අම්මා එහෙම ඇහුවේ මගෙ අතින් අල්ලාගෙන.

“පුතා වැරැද්දක් කරන්නේ නැහැ කියලා අපි දන්නවා. කමක් නැහැ. පුතාගේ කැමැත්තක්”

තාත්තා එහෙම කිවුවේ මගෙ අතින් අල්ලාගෙන.

දවස් දෙකක් ඇතුළත හැමදේම සිද්ධ වුණා. අචිනි රෝහලෙන් කෙළින්ම ආවේ හෝටලේට. කවුරුවත් දන්නේ නැහැ අචිනි පිළිකා රෝගියෙක් කියලා. අචිනි මගෙ මනමාලි වුණා. උත්සවය අවසන් වෙලා ආයෙමත් අචිනිව රෝහල්ගත කළා. ටික දවසකට පස්සේ අපි අපේ ගෙදර පදිංචියට ගියා. ගෙදර හැමදෙයක්ම කළේ මම. අචිනි දැනන් හිටියේ නැහැ එයා පිළිකා රෝගියෙක් කියලා. මම හැම දෙයක්ම එයාගෙන් හැංගුවා. එයාගේ අම්මා සහෝදරයෝ මම ඒ හැමෝවම අතහැරියා.

ඉඩක් ලැබෙන හැම දවසකම මම එයාව කොහේ හරි එක්කගෙන ගියා. එයා නොදැකපු තැන් දකින්න එක්කගෙන ගියා. මගේ රස්සාවෙන් ලැබෙන සල්ලි එයාගේ බෙහෙත්වලට මදි වෙන කොට මම කුලී වැඩත් කළා. මං හැමදේම කළේ අචිනිගෙ සතුට වෙනුවෙන්. මේ හැමදෙයක්ම වෙලා අවුරුද්දකට විතර පස්සේ එයා මාව දාලා ගියා. එයාගේ අන්තිම හුස්ම පොද ගියේ මගේ අත්දෙක උඩ.

එදා ඉඳන් අද වන තුරු මම තනියෙන් ඉන්නවා. දන්නවද අචිනි මිය ගියෙත් තරුණියක් විදිහට. මට එයාගෙන් සතුටක් ලබන්න ඕන වුණේ නැහැ. මට ඕන වුණේ එයාව සතුටින් තියන්න විතරයි.

අවුරුදු පහක් විතර ගෙවිලා ගියා. මගෙ තාත්තා මැරුණා. අම්මාට ඕන මාව කාට හරි විවාහ කරලා දෙන්න. ඒත් මගෙ හිතට එහෙම හිතෙන්නේ නැහැ. සෑහෙන කාලෙකට පස්සේ මගෙ හිත ගත්ත කෙනෙක් හමු වුණා. අපි නිතර හමු වුණා. ඒත් මොකක්දෝ නොගැළපීමක් ඈ ගාව තියෙනවා කියලා මට දැනුණා.

අචිනි ගැන හැම දෙයක්ම මම එයාට කිවුවා. එයා මාව සැක කරනවා. මම දන්නේ නැහැ ඒ ඇයි කියන්න. අන්තිමටම මට හිතුණා විවාහ නොවී ඉන්න එක හොඳයි කියලා.”

වසර ගණනක් පැරණි තම ප්‍රේම කතාව මා මිතුරා පැවසුවේ එලෙසිනි.

කතාව කොතරම් පැරණි වුවද අදටත් හිත රිදවන ඒ කතාව දවසේ කොයි මොහොතක හෝ මතකයට එයි.

මතක ලන්තෑරුම් අඳුර මැද

හුස්ම නොතියා ඉන්න තිබුණා

අහම්බෙන්වත් මුරුගසන් වැහි

නොදී ඈතට යන්න තිබුණා...

කියන්නම ගිය වචන අමතක

වුණත් මගෙ හදවතට දැනුණා

නොදැණුනා වාගේම උන්නට

සුදු කමිස උරහිසට රිදුණා....

අභිෂේකා විමලවීර විසින් පද රචනා කළ කරුණාරත්න දිවුල්ගනේ හා අභිෂේකා විසින් ගයන මේ ගීතය ඒ මතකය යළි යළිත් අලුත් කරයි.

ගීතයේ අත්දැකීම පිළිබඳ අභිෂේකා පවසන්නේ මෙවන් කතාවකි.

“ මතක ලන්තෑරුම් ගීතය මම ලියලා ටික කලක් වෙනවා. තුන්ඈඳුතු ප්‍රේමයක් හිතේ තියාගෙන මම මේක ලිවුවේ. තමන්ට කැමති කොටස අහන්න විඳින්න පුළුවන්. නිශ්චිතවම දෙයක් මගේ හිතේ නැති වුණත් බිරියක් එහෙමත් නැත්නම් තමන් එක්ක ජීවිතේ බෙදාගත්ත කෙනෙක්, පෙම්වතියක් සමඟ බැඳුණු ප්‍රේමයක් ගැන තමයි මම ලිවුවේ. ඕනෑම කෙනකුට මේ ගීතය විඳින්න පුළුවන් තමන්ට ගළපාගෙන.“

ඇය කීවා නිවැරැදිය. මේ ගීතය ඇසූ පළමු මොහොතේම මට සිහි වූයේ මගේ මිත්‍රයාය.

 

Comments