
කෙටි නාට්‍ය උලෙළ සැප්තැම්බර් 18 වනදා ලයනල් වෙන්ඩ්ට් හි දී
වේදිකා නාට්‍යය කලාව යම්තාක් නිහඬ ගමනක පවතිද්දී අපේ කාලයේ නවමු නාට්‍ය අද්දැකීමක් ලබන්නට ප්‍රේක්ෂකාගාරයට කරන ආරාධනාවක් ගැන සිළුමිණ - රසඳුනටත් දැන ගන්නට ලැබුණා. මේ ඇරියුම කරන්නේ සම්මානිත නාට්‍යවේදී සචිත්‍ර රාහුබද්ධ. ඔහු එය නම් කරන්නේ “හිතට වැටුන මිසයිල“ නමින්. ඒ ගැන සචිත්‍ර සමඟ රසඳුන කළ කතා බහයි මේ. “හිතට වැටුන මිසයිල“ මිසයිල වැදුණම කුඩු වෙලා යනවනේ. ඉතින් මේක එක්තරා විදියට ගත්තම එවැනි දෙයක්.
ලංකාව වගේ සමාජයක් ඉතාම හොඳයි කලාකරුවෙක්ට. හේතුව හැමතිස්සෙම ලංකාවේ සමාජය තුළින් ප්‍රශ්න නිර්මාණය වෙනවා. ඒ කරුණු කාරණා නිසා නාට්‍යකරුවන් එහෙමත් නැත්නම් නිර්මාණකරුවන් පෙළීමට ලක් වෙනවා. ඒ පෙළීම් එකතුවෙලා එහෙමත් නැත්නම් ඒ මිසයිල එකතුවෙලා දැනුණු වේදනාව තමයි නාට්‍යය විදියට එළියට එන්නේ. ඒ නිසා තමයි මේ කෙටි නාට්‍යය උලෙළ “හිතට වැටුන මිසයිල“ ලෙසින් නම් කරන්න හේතු වෙන්නේ.“
ඒ එක්කම මේ මොහොතේ නාට්‍යය උලෙළක් කරන්න හේතු වූ සාධක ගැනත් සචිත්‍ර පැහැදිලි කළා.
“එකක් තමයි ලාංකීය දේශපාලන සමාජීය ආර්ථික අතින් මේ මොහොත තීරණාත්මක මොහොතක්. යම්කිසි ආකාරයක මිනිසුන්ගේ විප්ලවීය ස්වභාවයක් තිබිලා ඒක සන්සුන් වෙලා තියෙන වෙලාවක් නිසා. මම විශ්වාස කරනවා විශේෂයෙන්ම නාට්‍යකරුවෝ ඔවුන්ගේ කාර්භාරය ඔවුන්ගේ කලාත්මක නට්‍යය ඇතුලේ කරන්න ඕනේ කියලා. අපි දන්නෙ නැහැ මේ වෙලාවේ සාර්ථක වෙයිද අසාර්ථක වෙයිද කියලා. නමුත් මම එය කරනවා.
හිතට වැටුන මිසයිල කෙටි නාට්‍යය උලෙළට සචිත්‍රගේ කෙටි නාට්‍යය හතරක් ඇතුළත් වෙලා තියෙනවා. ඔහු ඒ එකිනෙක ගැන පැහැදිලි කළේ මෙලෙසින්
“කැපනං“ නාට්‍ය 2019 යෞවන සම්මාන නාට්‍ය උලෙළේ හොඳම නාට්‍ය නිෂ්පාදනය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම පිටපත, හොඳම සංගීතය, හොඳම වේශ නිරූපණය, හොඳම පසුතල, හොඳම රංග වින්‍යාසය, හොඳම වේදිකා පරිපාලනය, හොඳම නළුවා, හොඳම සහාය නළුවා ඇතුළු සම්මාන රැසක් දිනාගත් කෙටි නාට්‍යයක්. මෙහි රංගනයෙන් දායක වෙන්නේ කුසල් මධුරංග සහ ක්‍රිශේන් සිරිවර්ධන.
“දෙමළා නම්” මගේ අලුත්ම නාට්‍යය. 2022 වසරේ නව නිෂ්පාදනය. මෙහි මංගල දර්ශනය තමයි අපි 18 වනදා පවත්වන්නේ. රංගනයෙන් දායක වෙන්නේ ජෙනට් ඇන්තනි සහ දේශාන් සේනාරත්න
“උත්පලවර්ණා“ නාට්‍යය 2021 වසරේ රාජ්‍ය කෙටි නාට්‍ය උලෙළේ අවසාන වටය නියෝජනය කළ නාට්‍යයක්. ස්ත්‍රිය ගැන කතාවෙන මෙම නාට්‍යයේ නයෝමි තක්ෂිලා සහ හසිත් වෙත්තසිංහ රඟපානවා
“රත්මල් යහනක සැතපී“ නාට්‍ය 2021 වසරේ කරපු නිෂ්පාදනයක්. 2021 වසරේ රාජ්‍ය කෙටි නාට්‍ය උලෙළ හොඳම කෙටි නාට්‍ය නිෂ්පාදනය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම පිටපත, හොඳම සංගීතය, හොඳම රංගාලෝකය, හොඳම රංග වින්‍යාසය, හොඳම නළුවා කියන සම්මාන ලැබූ නාට්‍යයක්. චරිත මවන්නේ දේශාන් සේනාරත්න සහ බුද්දික රණවීර.“
මේ කාලයේ වේදිකා නාට්‍යය උලෙළක් පැවැත්වීමම අභියෝගයක්. එහෙත් සචිත්‍ර මේ අභියෝගය අද දවසේදී භාරගෙන තිබෙනවා.
“අද නාට්‍යකරුවන් ඉස්සරට වඩා දෙතුන් ගුණයක ජීවන අරගලයේ යෙදිලා තමයි මේ වැඩේ කරන්නේ. නමුත් අපිට බැහැ ප්‍රේක්ෂකයින් පිට පටවලා ටිකට් පතේ මිල ඉහළ දාන්න. ඒත් මම විශ්වාස කරනවා මේ අර්බුද මැද වුණත් නාට්‍යය කලාවට පෙම් බඳින, ඒකට වෙලාවක් මුදලක් වෙන් කර ගන්න අවශ්‍යතාව තියෙන පිරිසක් අපේ රටේ ඉන්නවා කියලා. ඔවුන් එක්ක අපිට මේ ගමන ඉස්සරහට යන්න ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා එහෙම වේදිකාවට පෙම් බඳින අය සැප්තැම්බර් 18 සවස 3.30 ට 7.00 ට ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී ‘හිතට වැටුන මිසයිල’ සමඟ එකතු වෙයි කියන විශ්වාසය මට තියෙනවා.