චිත්ත ඒකාග්‍රතාව ඇතිකර ගැනීමට ලොවට කියා දෙන ගයි රොසෙන්බර්ග් | සිළුමිණ

චිත්ත ඒකාග්‍රතාව ඇතිකර ගැනීමට ලොවට කියා දෙන ගයි රොසෙන්බර්ග්

හිමාලයේ  යෝග, ෂැඔලින් ආරාම, සෙන් බුදුදහම සහ නින්ජා සටන්වල සිත එකඟ කර ගැනීමත්  හදාරලා

බුදු දහම  ආශ්‍රයෙන් මානසික  පීඩනයෙන්  මිදීමට මඟක්

 

ගාලු කොටුවේ ඇති සුප්‍රසිද්ධ අවන්හලක් නම් 'අන්කල්ගේ' කඩේ. චිරාත් ද සිල්වා වෘත්තියෙන් සන්නිවේදන සමාගමක ප්‍රාදේශීය කළමනාකරු වෙකි. මේ කඩේ චිරාන්ගේ පියාගේ ව්‍යාපාරයකි. විවේකයක් ලද විටෙක තම පියාගේ ව්‍යාපාරයේ සහායට එක්වීම චිරාන්ගේ සිරිතය. සාමාන්‍ය පුද්ගලයකුට වඩා උසින් වැඩි විදේශිකයකු දිනක් තම ජංගම දුරකථනයේ දෝෂයක් හදා ගන්නට තැනක් චිරාන්ගෙන් අසා සිටියේ. චිරාන් වහාම මැදිහත්වී තමන් සේවය කරන සන්නිවේදන ආයතනයෙන් මේ විදේශිකයාට දුරකථනය අලුත්වැඩියා කර දෙන ලදි.

 

විදේශිකයා සමඟ කතාබස් කිරීමේදී චිරාත්ට දැන ගන්නට ලැබුණේ ඔහු ඊශ්‍රායලයේ සිට පැමිණි යුදෙව් ජාතිකයකු බවය. ඔහු 20 වසරකට අධික කාලයක් නිතිපතා පුරුද්දක් ලෙස ලංකාවට ආගිය පුද්ගලයෙකි.

මේ විදේශිකයා නමින් ගයි රොසෙන්බර්ග් ය. ගයිගේ මුතුන් මිත්තන් ලංකාව සමඟ පරම්පරා ගාණක් වෙළෙඳාම් කළ උදවිය විය. සුප්‍රකට ‘ඩෙල්මා ටී‘ අලෙවියට ඊශ්‍රායලයේ වෙළෙඳ නියෝජිතයන් වූයේ ගයි රොසෙන්බර්ග්ගේ' සීයාගේ පරම්පරාවයි.

ඊශ්‍රායලයේ සිට පැමිණි ගයි සමඟ කතා කිරීමේදී චිරාත්ට දැන ගැනීමට හැකි වූයේ ‘ගයි‘ යම් ක්‍රියාවකට සිත යොමු කිරීමේදී සියලු බාධක - ප්‍රශ්න වලින් අයාලේ යන සිත එක් අරමුණක් කරා යොමු කිරීමේ නොහොත් ‘චිත්ත ඒකාග්‍රතාවය‘ ඇති කිරීමට සිත දියුණු කළ මනා පුහුණුවක් ලැබූ පුද්ගලයකු බව ය. ඒ වන විටත් ඊශ්‍රායලයේ මෙන්ම ලොව රටවල් කීපයක ඔලිම්පික් පදක්කම් ලාභී ක්‍රීඩකයින්, ජූඩෝ, ක්‍රිකට්, පාපන්දු හා ගොල්ෆ් වැනි බොහෝ ක්‍රීඩකයින් මෙන්ම ව්‍යාපාරකයින් ද තම ‘චිත්ත ඒකාග්‍රතාවය‘ ඇතිකර ගැනීමට ගයි ගේ සහය ලබාගෙන තිබුණි.

“මම ලෝකය පුරා මේ චිත්ත ඒකාග්‍රතාවය ඇති කර ගැනීමට සහය වෙනවා. ලංකාවේ අයටත් අවශ්‍ය නම් මගේ සහාය ලබාගන්න පුළුවන්.“

චිරාත්ට මුලින්ම මතකයට ආවේ තම මිතුරකු වූ මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවයි. මෝටර් රථ ධාවන තරගයකදී විවිධ බාධා මධ්‍යයේ චිත්ත ඒකාග්‍රතාවයකින් යුතුව නිරවුල් මනසකින් තම ඉලක්කය හඹා යන ලෙස සිත දැහැනකට සමවැදුනා මෙන් එක් අරමුණක පිහිටුවන ආකාරය ගයි විසින් ඩිලන්තට මනා ලෙස පුහුණු කරන ලදි.

ගයි රොසෙන්බර්ග් උපන්නේ ඊශ්‍රායලයේ ව්‍යාපාරික පවුලකය. ඔහු තම පියාගේ ව්‍යාපාරවලට පාසල් වියේදීම පිවිසෙන්නේ නිරායාසයෙනි. පසුගිය විසි වසර පුරා ඔහු වසරකට කිහිපවරක් ලංකාවට ආවේ ඔහු මේ සුන්දර දිවයිනට ආදරය කරන නිසාය. තම පියාගේ අකල් වියෝව නිසා ගයි රොසෙන්බර්ග්ට තම පියාගේ ව්‍යාපාර කටයුතුවලට කරගහන්නට සිදුවිය. ගයිගේ පියා ගත කළේ දැඩි පීඩනයකින් යුතු ව්‍යාපාරික ජීවිතයකි. පියාගේ ව්‍යාපාර කටයුතුවලට අත ගැසීම නිසා ගයි ට දැඩි මානසික ආතතියක් ඇති වන්නට විය.

“අයි ඈම් අ හැලපිස්ට්“ (I am a Halapist) ගයි අප සමඟ කතාවට එක්විය. ගයි එයින් අදහස් කළේ තමන් ලංකාවේ කුරහන් හැලප කෑමට ඉතාම ආසා කරන බවකි.

“ව්‍යාපාර කටයුතු නිසා ප්‍රෙෂර් එක වැඩිවුණාම මානසික ආතතිය නැති කරගන්න මම ජොගින් (දුවන්න) පටන්ගත්තා. මට පුදුම සහනයක් ලැබුණා. පුදුම රිලැක්ස් එකක්. මට එතකොට දැනගන්න ලැබුණා යෝග අභ්‍යාස ක්‍රම ගැන. මම ඉන්දියාවේ හිමාලයට ගිහින් යෝග අභ්‍යාසවල යෙදුණා.“

හිමාලයේ යෝග අභ්‍යාස පුහුණුවෙන් පසු ගයි එන්නේ ලංකාවටය. ඔහු ලංකාවේ පන්සල් මෙන්ම ආරණ්‍යවල ආරණ්‍යවාසී ජීවිතයක් ගත කරමින් සිත එකඟ කරගන්නා ආකාරය ගැන භාවනායෝගීව පුහුණුවක් ලැබීය. ගයි ලංකාවට එන්න පෙර ජපානයේ ෂැඔලින් ආරාම, සෙන් බුදු දහම, නින්ජා සටන් ක්‍රම ආදියේදී සිත එක් අරමුණකට ගන්නා හැටි ගැන මනා පුහුණුවක් ලබා තිබුණි.

“මේක බෞද්ධයින්ට උගන්නන්න ලේසියි. චිත්ත ඒකාග්‍රතාවය කියන්නේ සම්මා සතිය. දැන් ජපන් කන්සායි ක්‍රමයේදි එකම දෙයක්, පොඩි දෙයක් සිත එක අරමුණක තියාගෙන හැමදාම කරනවා.“

ගයි කියන්නේ ක්‍රිකට් පිටියේදී ‘බැට්‘ කරනවා නම් සිත එක අරමුණක තබා ගැනීමට පුහුණු කළ යුතු බවය.

අපට ගයි හමුවන විට ඊශ්‍රායලයේ 24 වියැති රථ ධාවන ශූරයකු වන බාර් බරුම්, නම් වූ තරුණයා පැමිණ සිටියේය. මෝටර් රථ ධාවනය සඳහා එක් අරමුණක සිත තබා ගැනීම ගැන 'බාර්' ඊශ්‍රායලයේදී පුහුණුව ලබා තිබුණේ ගයි ගෙනි.

“මම වාහනේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 60ට වැඩි කළා. බාර් අධික උණුසුම නොතකා එක අරමුණක චිත්ත ඒකාග්‍රතාවයෙන් දිනුම් කණුව කරා යන්න සිත එක අරමුණක තබාගන්න පුහුණු වුණා.“

ගයි කියන්නේ ක්‍රීඩාවේ මෙන්ම ව්‍යාපාරික කටයුතු වලදී ද මානසික විඩාවෙන් මිදී චිත්ත ඒකාග්‍රතාවය ඇති කර ගැනීමට තමන්ට පුහුණුව ලබා දිය හැකි බවය. ඩිලන්ත මාලගමුව මෙන්ම නිලූක කරුණාරත්න ද ගයිගෙන් පුහුණුව ලැබුවේ චිත්ත ඒකාග්‍රතාවයෙන් යුතුව ක්‍රීඩාවේ යෙදීමටය.

දැන් අලුතින්ම ගයි පිවිස ඇත්තේ “ඉන්දිරා කැන්සර් ට්‍රස්ට්“ ආයතනයේ පිළිකා රෝගීන් සඳහා කැපවීමටය. රොෂාන් මහානාම ඒ සඳහා ගයි සම්බන්ධ කර ගත්තේය.

“පිළිකා රෝගින්ගේ මානසිකත්වය ස්ථාවර කරන්න සිත එකඟ කරවා ගන්න වැඩමුළුවක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒවගේම පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කරන හෙදියන් වගේම සේවකයින් පිළිකා රෝගීන්ගේ ප්‍රශ්න අහල අහල පීඩනයට පත්වෙලා ඉන්නේ. ඒ අයගෙත් මනස නිරවුල් කරන්න වැඩමුළුවක් කරන්න බලාපොරොත්තු වෙනවා.“

ඊශ්‍රායලයේ සිට ලංකාවට පැමිණි මේ ගයි රොසෙන්බර්ග්ට තම චිත්ත ඒකාග්‍රතාවය ඇති කරන්න වැඩමුළුවක් පැවත්වීමට පන්සලක්, ආරණ්‍යයක්ම අත්‍යවශ්‍ය නැහැ. පදනම් ආයතනය, ක්‍රිකට් ආයතනය, බැංකුවක් හෝ වෙනත් ආයතනයක වුවත් ගයි ට බාධාවක් නොවේ. අවශ්‍ය කරුණ වන්නේ වැඩමුළුවට සහභාගි වන පුද්ගලයින් තම චිත්ත ඒකාග්‍රතාවය උදෙසා සිත එක අරමුණකට ගැනීමට අවශ්‍ය අරමුණ පමණි. සෑම දෙයකටම මුල් වන්නේ සිත බව තමන් උගත්තේ බුදු දහමින් බව ගයි කියයි.

Comments