
කඩවර ගොටුව පිළියෙල කිරීමේදී විශේෂයෙන් සැලකිලිමත් විය යුතු කරුණු
කඩවර දෙවියන් උදෙසා සිදු කරනු ලබන පූජාව ද මුරුතැන් පූජාව ද සිදු කරන අයුරු ඔබ දැනුම්වත් කිරීමට මෙම ලිපිය මඟින් බලාපොරොත්තු වෙමි.
සාමාන්‍ය සම්මතයෙන් සිදු කරනු ලබන පලතුරු පූජාවට වඩා වෙනස් අයුරින් සිදු කරනු ලබන පූජාවක් වන කඩවර පූජාව හෙවත් කඩවර ගොටුව කැප කිරීම ගැන පූජාව ඔබ ඇතැම් කරුණු නොදන්නවා ඇත.
බොහෝ සේ පිහිට උපකාර ලබාගත හැකි කඩවර දෙවියන් උදෙසා සිදු කරනු ලබන පූජාව හෙවත් ගොටුව ගැනත් එය නිසි අයුරින් පිළියෙල කර එයින් උපරීම ප්‍රතිඵල ලබාගන්නේ කෙසේද යන්නත් ඔබ සැම දැනුම්වත් කිරීම මෙම ලිපියේ පරමාර්ථයයි.
කඩවර දෙවියන් කතරගම දෙවියන්ගේ අඩුක්කුවෙන් දෙයක් ලබාගැනීමට වරම් ඇති කතරගම දෙවියන්ගේ සෙනෙවිරක් පදවියක වැජඹෙන සෙනෙවිරක් කඩවර ප්‍රමුඛ , මල් කඩවර නොහොත් කඩවර ආදී වශයෙන් හත් කට්ටුවකින් සමන්විත අයෙකි. මෙම කඩවර දෙවියන් එක් එක් රෝගවලදී කඩවර දෙවියන් වශයෙන් තවත් සමහර රෝගවලදී කඩවර යක්ෂයා ලෙසින් ද කඩවර දෙවියන් සමඟ කටයුතු කරයි.
ඒ නිසාම කඩවර පූජාවට කඩවර ගොටුව වශයෙන් හැඳින්වීමට ද ඇතැම් අය හුරුවී ඇත. එහෙයින් කඩවර ගොටුව සූදානම් කරන විට දෙවියන් සඳහා ද යක්ෂ සේනාධිපති සඳහා ද වන දේවල් ඒ සඳහා සූදානම් කළ යුතුය. මෙහිදී පලතුරු ජාති 7ක්, රතුමල්, රතු සේලයක්, රතු මල් මාලාවක්, පොල් ගෙඩියක්, තැඹිලි ගෙඩියක්, කැවිලි ජාති 7ක්, මුරුක්කු, උලුඳු වඩේ, දිය මස්, ගොඩ මස්, (මෙහිදී දිය මස්වලට මෝරා, මඩු මාළු, දියබරි මාළු තැබීමෙන් සහ ගොඩ මස් සඳහා ඌරු මස්, හරක් මස් තැබීමෙන් වළකින්න) මීට අමතරව බදින ලද බිත්තරයක්, ඇට ඇට පුළුටු ද, එනම් මුං, වී, තල, මෑ, උළුඳු සහ පස් වර්ගයේ අට බැදගෙන සාදාගත හැකි වනවා ඇත.
මෙම විශේෂිත ගොට්ට සඳහා සාමාන්‍ය පූජාවකට වඩා රීරි එනම් ලේ ගොටුවක්, මත්පැන් ස්වල්පයක්, කළු සුරුට්ටුවක් ගන්න, අබින් වැනි දේ ද ස්වල්ප වශයෙන් යොදා පිළියෙල කරගන්නවා ඇත. මෙහිදී රීරි හෙවත් රුධිරය සඳහා අමුකහ, බුලත්විටට ගන්නා හුණු සමඟ එක්කර කොටාගත් විට රතු පැහැති තලපයක් ඔබට සදා ගත හැකිය. එය ද පිරිසුදු බුලත් කොළයක තබා සූදානම් කර ගන්න.
මීට අමතරව හත් මාළුවක් ද මේ සඳහා එක්කරනු ලැබේ. ඒ සඳහා අළු කෙසෙල්, අළු පුහුල් සහ බණ්ඩක්කා ආදිය යොදා ගැනීමෙන් වළකින්න. මෙයට අල වර්ග දෙකක්, බෝංචි, වම්බටු, මුරුංගා, මෑකරල්, කරවිල වැනි දේ භාවිත කළ හැකිය. මේ සියල්ල හොඳින් සෝදා තබා කොටා නැවුම් ඇතිලියක තබා සාදා ගත යුතුය. සාමාන්‍ය වෑංජනයක් පිළියෙල කරන ආකාරයට ඉතුරු දෑ ද එක්කර ලුණු ඇඹුල් නොබලා පිරිමි අයකු විසින් මෙය සාදා ගත යුතුය. මෙය ද වෙනම නෙළුම් කොළයක තබා එම ගොටුව තුළ තැන්පත් කරන්න. මේ සමඟ කුඩා විලක්කුවක් ද සාදා එය පොල්තෙල්වලින් පොඟවා සුදානම් කර ගන්න. කපුරු, හඳුන්කූරු වෙන වෙනම සූදානම් කර ගන්න.
ඔබ මේ සියල්ල සූදානම් කරගත් පසු පලතුරු වට්ටිය සහ බුලත් සියල්ල කහ වතුරෙන් සොදා බුලත් වට්ටිය පතුලට අතුරන්න. ඉන් පසු එහි මැදට පොල් ගෙඩිය සහ තැඹිලිගෙඩිය තබා අනෙකුත් දේවල් එය වටා පිළිවෙළකට තැන්පත් කර එහි කොනක සාදාගත් කුඩා විලක්කුව ද හඳුන් කූරු ද දල්වන්න. තැඹිලි ගෙඩිය මත කපුරු පෙති 2ක් පමණ තබා රතු සේලයෙන් එය ආවරණය කර එම ස්ථානය බාරව සිටින කපු මහතාට එම ගොටුව බාර දෙන්න. ඔහු යාතිකාව කරන අතර ඔබ සිතින් ඔබගේ දුක් ගැනවිල්ල පවසා සිටින්න. ඒ සමඟ කඩවර දෙවියන්ගේ පිහිට ආරක්ෂාව තම භව බෝගයන්ට ද ලැබෙන ලෙස ඉල්ලා සිටින්න.
ඔබ නියම ආකාරයෙන් මෙම පූජාව හෙවත් කඩවර ගොටුව කැපකර සිටියේ නම් සියලු කාරණා ඉතා ඉක්මනින් යහපත් ලෙස ඉටුවන බව ද විශ්වාසයෙන් පවසමි. එසේම ඔබ යම් කාරණා සඳහා මෙම පූජාව කැප කළේ නම් එම කටයුතු කාරණා ඉෂ්ට සිද්ධ වු පසු මේ ආකාරයටම පැමිණ පුද පූජා පවත්වන බවට ද සිතින් භාර වන්න. එසේම එය ඉටු කිරීමට ද සිතේ තබා ගන්න. කඩවර දෙවියන් හොඳට මෙන්ම නරකට ද සිටිය හැකිය. ඒ ඔහු වෙනුවෙන් සිදු කරන දේ යහපත් ලෙස සිදු කරන්නේ දැයි බලා සිටින බැවිනි. එබැවින් මේ පූජාව නියමිත අයුරින් කටයුතු සිදු කර යහපත ලබා ගන්න.