ඔබේ ආත්ම සහකරු හෝ සහකාරිය හඳුනා ගන්න ලැබෙන විශේෂ ලක්ෂණ | සිළුමිණ

ඔබේ ආත්ම සහකරු හෝ සහකාරිය හඳුනා ගන්න ලැබෙන විශේෂ ලක්ෂණ

ඔබේ ආත්මීය සහකරුවා  කැමති, ආස කරන දේවල්, එහෙම නැත්නම්  ගති ස්වභාවය ඔබට වඩා හාත්පසින්ම  වෙනස් වෙන්න පුළුවන්

1. කොන්දේසි රහිත උදවු

ඔබේ ආත්ම සහකරු හෝ සහකාරිය කියන්නේ ඔබේ ලොකුම රසිකයා කිවුවොත් නිවැරැදියි. ඔවුන්ට ඕනේ ඔබ සාර්ථක වෙනවා දකින්න. මොකද ඔබේ සතුට කියන්නේ ඔවුන්ගේත් ලොකුම සතුට වෙන හින්දා. සාමාන්‍යයෙන් ගත්තොත් ආදර සම්බන්ධතාවයක පාදම ශක්තිමත් වෙන්න බලපාන ලොකුම සාධකයක් වෙන්නේ එකිනෙකාගේ සතුට. ඒත් මෙතැනදී දෙදෙනාගේම සතුට එකක් වෙනවා. සමහරවිට ඔවුන්ට ඔබගේ සතුට වෙනුවෙන් කැපකිරීම් කරන්න සිදු වුණත් ඒක පවා ඔවුන් කරන්නේ සතුටෙන්මයි. උදාහරණයක් විදිහට අපේ වෘත්තීය ජීවිතයේ ලැබුණු ලොකුම අවස්ථාවක් විදිහට ඔබට විදේශ රටක සංචාරයකට යන්න වුණා කියලා හිතමු. ආත්මාර්ථකාමි

සහකරුවකු හෝ සහකාරියක් නම් ඔබට ඊට ඉඩ දෙන්නේ නෑ. ඒත් නියම ආත්මීය සහකරුවන් ඔබේ දියුණුවට යන මාර්ගය කවදාවත් අවහිර කරන්නේ නෑ. මොකද ඒ දේවල් ළඟා කරගන්න එක ඔබේ සතුට කියලා ඔවුන් දන්න නිසා. සමහරවිට ඔවුන් දුකින් ඉන්නවා වෙන්න පුළුවන්, ඒත් ඒ බව කියලා ඔබේ ගමන නවත්තන්න ඔවුන් සූදානම් නෑ. මොකද කිව්වොත් ඔබේ සතුට තමා ඔවුන්ගේ ජීවිතයේ අංක එක වෙන්නේ.

2. අධිවිශ්වාසය

ඔබේ ආත්මීය සහකරු එක්ක කාලය ගත කරන එකෙන් ඔබේ ස්නායු සංසුන් කෙරෙනවා. ඔවුන්ගේ අතින් අල්ලන එකෙන් පවා ඔබේ කාන්සිය, පාළුව මැකිලා යනවා. ඔවුන් එක්ක කතාබහ කරන එකෙන් ඔබ මානසිකව ධනාත්මක පුද්ගලයෙක් වෙනවා. කොටින්ම කිවුවොත් ඔවුන් ඔබව සන්සුන් කරවලා ලෝකයේ අනිත් හැම බාධාවකින්ම ඔබව බේර ගන්නවා. ඔබට ආරක්ෂිත හා සුවපහසු හැඟීමක් දනවන්න ඔහුට හෝ ඇයට පුළුවන්. මේ හැමදේටම හේතුව එකම වචනයකින් විස්තර කළ හැකියි. ඒ තමයි විශ්වාසය. ඔවුන්ට ඔබේ රහස්, දුර්වලකම් වගේම ඔබේ පෞරුෂත්වය වැනි හැමදේම ඔබ ඔවුන්ට පෙන්වන්න මැළි වෙන්නේ නැත්තේ මෙන්න මේ විශ්වාසය නිසයි. ඒවගේම ඔබේ ආත්මීය සහකරුවා හෝ සහකාරියත් ඔබට ඒ විදියටම විශ්වාසය පෙන්නන්න මැළි වෙන්නේ නෑ. ඒ ඔබ දෙදෙනා ඇත්තටම එකිනෙකා හොඳින් විශ්වාස කරන නිසයි. ඔබේ හද පත්ලෙන්ම නැගෙන දේවල් ඔහු හෝ ඇය ඉදිරියේ කරන්න බැරිනම් ඒ ඔබගේ ආත්මීය සහකරු හෝ සහකාරිය නෙවෙයි. ඒත් කවුරුහරි කෙනෙක් ළඟ ඔබට කැමති ඕනම විදිහකට බොහොම පහසුවෙන් ඉන්න පුළුවන් නම් අන්න එතැන ඔබේ ආත්මීය සහකරු හෝ සහකාරිය වෙන්න බොහෝ දුරට ඉඩ තිබෙනවා.

3. පොදු සමානතා

ඔබේ ආත්මීය සහකරුවා කැමති, ආස කරන දේවල්, එහෙම නැත්නම් ගති ස්වභාවය ඔබට වඩා හාත්පසින්ම වෙනස් වෙන්න පුළුවන්. ඔබ ලැජ්ජාශීලී හුදෙකලාව ප්‍රිය කරන කෙනෙක් වුණත් ඔහු හෝ ඇය සමාජශීලි කෙනෙක් වෙන්න පුළුවන්. ඔබේ පෞරුෂයන් එකිනෙකින් වෙනස් විය හැකියි. එහෙත් ගැඹුරින් ඔබ දෙදෙනා සමීප කරවන ගතිගුණ ඔබ දෙදෙනා ළඟම තිබෙනවා. ප්‍රියතාවන්, ආශාවන් හා තෝරා ගැනීම්වලින් ඔබ දෙදෙනාම එක සමානයි. ඔබ හා ඔබේ ආත්මීය සහකරුවා එකම දේවල් අගය කරන අය ද? ඔබ දෙදෙනාටම වැඩිය වටින්නේ මොකක්ද? මේ වගේ දේවල් ගැන ඔබ හිතා බලන්නම ඕනේ. බැලූ බැල්මට දෙදෙනාම වෙනස් වගේ පෙනුණත් එකම දිශානතියකට ගමන් කරන දෙන්නෙක් නම් ඒ ඔබේ ආත්මීය සහකරුවා වීමට වැඩි ඉඩක් තියෙනවා. ඒ නිසා මතුපිටින් පෙනෙන වෙනස්කම්වත් කෑමබීමවලින්වත් යානවාහන වගේ සාමාන්‍ය දේවල් ගැන තියෙන ආශාවන්ගෙන්වත් එකිනෙකාගෙන් වෙනස් කියලා හිතන්න යන්න එපා. ඔබ දෙදෙනා ඇතුළතින්ම හොඳට ගැළපෙන දෙන්නෙක්.

4. ඔබේ නරකම තැනදී ආදරය කිරීම

මේක ඉතාම විශේෂ කාරණයක්. ඔබේ සහකරු හෝ සහකාරිය අන්තෙටම ඇදවැටුණු අවස්ථා ඔබ දැක තිබෙනවාද, එක්කෝ අසාර්ථක වීම් නිසා, තරහ වගේ මානසික හැඟීම් නිසා? මෙන්න මේ අවස්ථාවෙදි සාමාන්‍ය කෙනකුගේ හා ආත්මීය සහකරුගේ වෙනස හොඳින් හඳුනා ගන්න පුළුවන්. හිතන්න ඔබට ඔබේ රැකියාව අහිමි වුණා කියලා, මෙවැනි අවස්ථාවලදී ඔබේ සහකරු ඔබව අත්හැර ගිහින් නම් ඒ ඔබගේ ආත්මීය සහකරුවා වෙන්න බෑ. මොකද ඔබේ ආත්මීය සහකරු හෝ සහකාරිය නම් ඔබේ ජීවිතයේ මොන ප්‍රශ්න තිබ්බත් ඔබව පිළිගන්නවා. ඔබ එක්කම රැඳෙනවා. ඔබට එක වගේ ආදරේ කරනවා. ඔබ සාර්ථක වුණත් අසාර්ථක වුණත් මේ පුද්ගලයා ඔබත් එක්ක හැම මොහොතෙම ඉන්නවා. ඔවුන් ඔබව දරා ගනීවි. ඔබ වෙනුවෙන් ආඩම්බර වේවි. ඔබ තබන ඊළඟ පියවර කුමක් වුණත් ඔබට ඒ සඳහා ශක්තියක් වේවි. ඒනිසා ඔබට හොඳම දවසේදී විතරක් ආදරේ කරන කෙනෙක් වෙනුවට නරකම දවසෙත් ඔබව අත්හරින්නෙ නැති කෙනෙක් ඔබේ ජීවිතයට ළඟා කරගන්න.

5. ඔබේ ගුරුවරයා සොයා ගැනීම

ඔබේ සහකරුවා හෝ සහකාරිය කියන්නේ ඔබේ මිතුරා හෝ මිතුරිය පමණක් නොවෙයි, ඔවුන් ඔබට යමක් උගන්නන්නයි බලන්නේ. ඔවුන් ඔබට අභියෝග කරනවා. ඔබව ඉස්සරහට තල්ලු කරනවා. ඒ වගේම ඔවුන් ඔබේ ඉලක්කයට යන්න ඔබට උදවු කරනවා විතරක් නෙමෙයි දුර්වලකම් මඟහරවා ගන්නටත් උපදෙස් දෙනවා. ඔබේ ආත්මීය සහකරු හෝ සහකාරිය කියන්නේ ඔබට ඔබේ ජීවිත කාලයේදී හමුවන ප්‍රියතම ගුරුවරයා වගේම ප්‍රියතම ශිෂ්‍යයායි. ඔහු හෝ ඇය ඔබේ ගුරුවරයා විතරක් නෙවෙයි. ආත්මීය සහකරුවෙක් විදියට ඔබටත් ඔවුන්ට කියා දෙන්න දෙයක් හැමවෙලේම තියෙන්නට පුළුවන්. ඔබේ ඇතුළාන්තය හරියට අඳුනගත්ත කෙනෙක් නම් ඔබේ දුර්වල තැන් ඔවුන් දන්නවා. ඒ වගේ දේවල් මඟහරවා ගන්න ඔබට අවංකව උදවු කරනවා. ඔබට කවදාහරි ඔබේ සහකරු හෝ සහකාරිය එහෙම උදවු කරනවා දැනිලා තියෙනවාද? උත්තරය නැහැ නම් ඔබට මේ දක්වා ඔබගේ ආත්මීය සහකරු හෝ සහකාරිය මුණ ගැහිලා නෑ. ගොඩක් දෙනෙක් තමන්ව නිවැරැදි කරන්න හදද්දී ඒක ප්‍රතික්ෂේප කරනවා. ඉගෙනගන්න එක වගේම හැදෙන එකත් හුඟක් අමාරු වෙන්න පුළුවන් මේ වගේ තැනකදි. හැබැයි ඒක ඔබ කරන්න ඕන දෙයක්. ඒ නිසා ඔබව ඉහළට අරන් යන්න පුළුවන් කෙනෙක් තෝරා ගැනීම අතිශය වැදගත්.

 

අන්තර්ජාලය ඇසුරෙන්

Comments