මේ දවස් වල ආදර යෝජනා ගොඩක් එනවා | Page 3 | සිළුමිණ

මේ දවස් වල ආදර යෝජනා ගොඩක් එනවා

  • මගේ අරමුණු ඉටුවනතුරු ආදරේට ඉඩක් නෑ
  • සිනමා අධ්‍යක්ෂණයෙන් සහ සංගීතයෙන් ඉදිරියට එන්නයි මට ඕනෑ

කලා පවුලක තුන්වැනි පරම්පරාව නියෝජනය කිරීමේ භාග්‍ය උදා කරගත් ඈ චමත්කා පීරිස්ය. මෙරට box office රජු ලෙස විරුදාවලිය ලත් සිනමා අධ්‍යක්ෂකවරයෙකු වු සුනිල්සෝම පීරිස්ගේ මිණිබිරිය වන චමත්කා මෙවර රසඳුන කවරය සරසන්නීය. සිනමා අධ්‍යක්ෂකවරයෙකු වන සුදේශ් වසන්ත පීරිස්ගේ වැඩිමහල් දියණිය වන චමත්කාගේ සීයා සහ පියා යන දෙදෙනාම එකම මාවතක ගමන් කළත් ඇය වෙනත් මගක ගමන් කරන්නීය. පද රචනය, තනු නිර්මාණය, සංගීත නිර්මාණය, ගායනය යන අංශයන් හී දක්ෂතා පෙන්නුම් කරන චමත්කා ගැනය මේ තොරතුරු.

 ඔබ කලා ක්ෂේත්‍රයට අවතීරණ වන්නේ කොහොමද?

මුලින්ම මගේ සීයගේ සිනමා පටවල පුංචි චරිත රඟපෑවා. ඊට පස්සෙ මම ගීත ගායනයට එක් වුණා. ‘64 මායම‘ සිනමාපටයට තමයි මුලින්ම දායක වෙන්නේ. පායලා මදු සඳක්, ගීතය පූර්ණ සචින්ත අයියත් සමඟ ගායනා කළා. අප්පච්චිගේ චිත්‍රපටයක් වන “රන් සයුර, නැති බැරි ටාසන්“ සිනමා පටවලට ගිත ගායනයෙන් දායක වුණා. පසුව මගේම කියලා 2014 වසරේ යූටියුබ් නාලිකාවක් ආරම්භ කළා. ඒ ආරම්භයත් සමඟම cover song කීපයක් ඒ යූ ටියුබ් චැනලය ඔස්සේම විකාශනය කළා. ඊට අමතරව ටික් ටොක් හරහා ගීත කීපයක්ම ප්‍රේක්ෂකයන්ට රසවිඳින්න සැළැස්සුවා. මම ඒ අතරම සංගීත භාණ්ඩ වාදනයත් ඉගෙන ගත්තා.

 ඔබ සංගීත ක්ෂේත්‍රයට රැගෙන එන්නේ කවුරුන්ද?

සංගීත ක්ෂේත්‍රය ගැන උනන්දුවක් ඇති වුණේ විවිධ ශිල්පීන්ගේ හඬවලට මම ආසා කරන්න පටන් ගත්ත දවසේ ඉඳන්. මම අවුරුදු 12 ,14 කාලයේදී ගීත ගායනා කරලා තියෙනවා. පොඩි කාලෙ ඉඳන් ගිටාර් වාදනයට හරිම ආසාවක් ඇති වුණා. මගේ ගිටාර් ගුරුවරයා කේෂාන් පෙරේරා. ඔහු තමයි මාව මේ තැනට ගේන්න උත්සාහ ගත්තේ. ඔහු මගේ අප්පච්චිගේ සිනමා පටවල සංගීත අධ්‍යක්ෂකවරයා. ඉදිරියේ තිරගත‍ෙවන්න තිබෙන “සීරුවෙන්“ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂකවරයා ද ඔහුයි. ගොඩක් පුහුණු වීම් තුළින් මේ ගමනට අවතීර්ණ වන්න පුළුවන් කියලා කේෂාන් අයියා තමයි මාව ඉදිරියට ඇදගෙන එන්නේ.

 ජනවාරි මාසේ එළිදැක්වූ ගීතය ගැන සඳහන් කළොත්?

මගේ අලුත් ගිතය වන “හැඟුමන් හංගා“ ගීතයේ පද රචනය, ගී තනු නිර්මාණය, ගායනය මගේමයි. සංගීතය කේෂාන් පෙරේරාගේ. ඒ ගීතයට රූප රචනය කළේ මගෙ අප්පච්චි. ගීතයෙන් පස්සේ තමයි කවුරුත් මම කවුද කියලා හොයන්න පටන් ගත්තේ. රසිකයන්ගෙන් ලැබුණ ප්‍රතිචාර නිසා මට අලුත් නිර්මාණ කරන්න තිබුණ ආසාව වැඩි වුණා. මගේ අලුත්ම ගීතය “සීරුවෙන් මාරුතේ“. ඒ ගීතය ‘සීරුවෙන්‘ සිනමාපටයට ගැයූ ගීතයක්. ලාල් ප්‍රිරියදේව අධ්‍යක්ෂණය කළ සුනිල් ටී ප්‍රනාන්දු නිෂ්පාදනය කරන ඔවුන්ගේ අලුත්ම චිත්‍රපටයේත් මම ගීත ගායනා කරනවා.

 ඔබ සිනමාවට සම්බන්ධවෙන්න අදහස් කරගෙන ද ඉන්නේ?

මගේ අප්පච්චිගේ අලුත්ම සිනමාපටය සීරුවෙන්. ඒ චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂවරිය ලෙස මම කටයුතු කළා. මගේ සීයත් අප්පච්චිත් මම ඔවුන්ගේ කලාව සමඟ කටයුතු කරනවට හරි කැමතියි. මට දැනෙන දෙයක් තමයි අපි ඕනෑම ක්ෂේත්‍රයකට එනවා නම් එහි ප්‍රායෝගික හා න්‍යායික අධ්‍යාපනය තිබිය යුතුයි. සීරුවෙන් සිනමාපටයේ සහාය අධ්‍යක්ෂකවරිය ලෙස කටයුතු කරන කොට එහි බැරෑරුම්කම මට හොඳට අවබෝධ වුණා. මට ඉගෙන ගන්නට බොහෝ දේ තිබෙනවා. මම ඒවා ඉගෙන ගනිමින් ඉන්නේ කිව්වොත් නිවැරදියි.

 ඔබ මේ ක්ෂේත්‍රයට අවතීර්ණ වන්නේ පාසල් අධ්‍යාපනයෙන් පසුවද?

මගේ ජීවිතයට කිසිදු අයුරකින් කවුරුත් බලපෑම් එල්ල කළේ නැහැ. මගේ ගමන් මඟ සොයා ගන්නට ඒ නිසා පූර්ණ නිදහස තිබුණා. පාසල් කාලේ මට පාසලේ විෂය බාහිර කටයුතුවලට ගොඩක් නැඹුරු වන්නට අවස්ථාවක් ලැබුණා. පාසල් තූර්ය වාදක කණ්ඩායමේ නායිකාව සහ ක්‍රීඩා නායිකාව වීම වගකීම් සහිත තනතුරක් නිසා මගේ පූර්ණ කැපකිරීම් ඒ තුළ සිදු කළා. මේ ක්‍රියාකාරකම් නිසා තමයි මට ඒ කාලේ මේ ක්ෂේත්‍රයට යොමු වෙන්නට අවස්ථාව නැතිව ගියේ. දැනටත් මම අධ්‍යාපනය හදාරන ගමන් තමයි මේ කටයුතු වල නියැළෙන්නේ.

 දැනට සංගිත නිර්මාණ කීයක් විතර කර තියෙනවාද?

මම කාගෙන්වත් සංගීත නිර්මාණය පිළිබඳ ඉගෙන ගෙන නෑ. මම මේ සියල්ල අන්තර්ජාලය හරහා සහ මගේ යාළුවන්ගෙන් ඉගෙන ගත්තේ. “මානය දෑසේ“ නමින් තමයි ඒ මම නිර්මාණය කරපු සින්දු එළි දක්වා තියෙන්නේ.

දැනට සිනමාපට හතරකට සංගීතයෙන් ගායනයෙන් දායක වෙලා තියෙනවා. නිර්මාණ 10- 15ට පමණ දායක වුණා. මම මේ නිර්මාණ යූටියුබ් නාලිකාව හරහා දාලා තිබ්බා. ඒත් ඒ යූටියුබ් නාලිකාව හැක් කරලා. ඒ සියල්ලම මට නැති වුණා. දැන් අලුත් යූටියුබ් නාලිකාවක් ආරම්භ කරල. මගේ සියලු වැඩ ඒකෙ විකාශනය වෙනවා. මගේම ගීත ටිකක් නිර්මාණය කරන්න තමයි අදහස තියෙන්නේ. ඒ වගේම ටික් ටොක්වලින් මාව ජනප්‍රියත්වයට ගෙන ගිය සියලු දෙනාටම මම ස්තුතිවන්ත වෙනවා. මට හොඳ ප්‍රතිචාරයක් ලැබුණා මගේ මුහුණ දන්නැති වුණාට මගේ හඬ බොහෝ අය හඳුනනවා. සප්ත ස්වරය cover version එකෙට ගොඩක් අය කැමති වුණා. එ්ක මට ලැබුණු හොඳ අවස්ථාවක්.

 චමත්කාට ආදරේ ගැන මොන වගේ අදහසක් ද තියෙන්නේ?

මම ඇත්තටම ආදරේ කරලා තියනවා. ඒත් මේ ගමන තුළ මම ආදරයේ දෙවනුවට හිතනවා. මේ දවස්වල ආදරේට නම් යෝජනා ගොඩක් ගලා එනවා. ඒත් ඒ සියලු දෙනාටම මගෙන් සාධනීය පිළිතුරක් ලැබෙන්නේ නැහැ. මගේ අරමුණු ඉෂ්ට කර ගන්නකම් මං ඒ සියලු දේවල් බැහැර කරලයි තියෙන්න.

 චමත්කාගේ ඉදිරි සැලසුම් මොනවාද?‍

මම මේ වන විට අධ්‍යාපනය හදාරන ගමන් USA කොම්පැණියක (talent sell) රැකියාවකත් නිරත වෙනවා. මම සවස 05.30 ට ගිහින් පාන්දර 02.30 වෙනකන් මේ රැකියාව කරන්නෙත් මට මුදල් අවශ්‍ය නිසයි. අලුත් අභියෝග භාර ගන්න මම කැමතියි. මගේම කියලා අලුත් නිර්මාණ කීපයකුත් කරන්න ඉදිරියේදී සැලසුම් කරනවා. ඒ සියලු වැඩකටයුතු සඳහා අම්මා ඇතුළු සියලු දෙනාම උදව් කරනවා. සිනමා අධ්‍යක්ෂණය සහ සංගීතය යන දෙකම එකට කරන්න තමයි මගේ එකම බලාපොරොත්තුව.

Comments