මට ඕන ලංකාවේ වෙනස්ම විදිහේ සිනමාවක් ගොඩනඟන්න | Page 3 | සිළුමිණ

මට ඕන ලංකාවේ වෙනස්ම විදිහේ සිනමාවක් ගොඩනඟන්න

අද තියෙන ලොකුම ප්‍රශ්නය චිත්‍රපටයක් හදන එක නෙමෙයි පෙන්වා ගන්න එකයි

මම දැන්වීම්කරණයට ආවෙම සිනමාවට පිවිසීමේ සිහිනය එක්ක

කසුන් චන්ද්‍රනාත් පතිරණ අධ්‍යක්ෂණය කළ, කළණ ගුණසේකර හා යුරේනි නොශිකා රංගනයෙන් දායක වන ‘නයිට් රයිඩර්‘ චිත්‍රපටය මේ දිනවල තිරගත වන සිනමා නිර්මාණ අතර වනවා. කප්පරක් සිහින, බලාපොරොත්තු පොදි බැඳගෙන ජීවිතය ජය ගැනීමට වෙහෙසෙන කුලී රථ රියැදුරකුට අනපේක්ෂිත ලෙස මුණ ගැසෙන නාදුනන තරුණියක් සමඟින් රැයක් පුරා කොළඹ නගරය තුළ දිවෙන ත්‍රාසජනක වීර චාරිකාවයි නයිට් රයිඩර්.

පුරා වසර දහයකට ආසන්න ප්‍රමාණයක් වෙළෙඳ දැන්වීම්කරණයෙහි අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කළ කසුන් චන්ද්‍රනාත් පතිරණ සිනමාවට පිවිසෙන නයිට් රයිඩර් සිනමාපටය ගැන ඔහු සමඟ කළ කතා බහයි මේ.....

“වෘත්තීය වෙළෙඳ දැන්වීම් අධ්‍යක්ෂවරයෙක් වශයෙන් දැනට වසර 10ක් තිස්සේ මම වැඩ කරනවා. වෙලාවකට හිතෙනවා දැන්වීම් ක්ෂේත්‍රයේ ඉඳලා සිනමාවට එන්න ගත්ත කාලය වැඩිද කියලත්. නමුත් මම දැන්වීම්කරණයට ආවෙම සිනමා ක්ෂේත්‍රයට පිවිසීමේ සිහිනය එක්ක. නයිට් රයිඩර් චිත්‍රපටයේ වැඩකටයුතු ආරම්භ කළේ මීට අවුරුදු 5කට කලින්. මේ නිර්මාණය තුළින් අපිට අවශ්‍යය වුණේ සාමාන්‍ය වර්ගීකරණයෙන් බැහැරව ඒ කියන්නේ වාණිජමය හෝ කලාත්මක ධාරාවලින් පිට අපේ දේශපාලනික හා සමාජ ප්‍රකාශනයක් ඉදිරිපත් කරන්න. හැබැයි එය සෞන්දර්යාත්මකව. ඒ අනුව තමයි නයිට් රයිඩර් චිත්‍රපටය නිර්මාණය වුණේ.

මේ චිත්‍රපටය ලියපු මටයි ශ්‍රීනාත් චතුරංගටයි ඕන වුණේ 70 සහ 80 දශකයේ ෆිල්ම්ස්වල තිබුණු ත්‍රාසය, භීතිය හා කුතුහලය නැවත අපේ ෆිල්ම්ස්වලට ගෙන ඒම. නයිට් රයිඩර් සිනමාපටය Thriller කැටගරියට අයත් දේශපාලන කතාවක් වනවා. මේක මේ මොහොතේ දේශපාලන තත්ත්වයට බොහෝ සෙයින් සමාන වෙනවා.

නයිට් රයිඩර් චිත්‍රපටය සිනමාශාලා වල තිරගත වෙන්න පටන් ගත්තේ පසුගිය ජුලි 29 වනදා සිට. මේ වෙනකොට අපේ කණ්ඩායම සිනමාශාලා වලට ගිහින් ප්‍රේක්ෂකයින් මුණගැහිලා, ලැබෙන ප්‍රතිචාර කොහොමද කියලා බලනවා. මේ වෙද්දී නුවර සහ මහරගම ප්‍රේක්ෂකයින්ගෙන් අදහස් විමසලා බැලුවා. එතනදි අපිට ලැබුණු ප්‍රතිචාරය සෑහෙන්න හොඳ එකක්. ගොඩ දෙනෙක්ගේ අදහස වුණේ කාලෙකට පස්සේ ලංකාවේ සිනමාවෙන් දකින්න ලැබුණු වෙනස් වැඩක් සහ වෙනස් අත්දැකීමක් කියන දේ. ඒක අපිට චිත්‍රපටයේ ප්‍රචාරණ කටයුතු වලට ලොකු ශක්තියක් වෙලා තියෙනවා. මංගල දර්ශනයේ සිට මේ වෙනකම් ලැබුණු ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැන තෘප්තිමත්.

චිත්‍රපටය මේ වෙද්දී සිනමාහල් 35 ක තිරගත වෙනවා. ඉදිරියේදී තවත් දර්ශන වාර සහ සිනමාශාලා ලැබෙන්නට ඉඩ තියෙනවා.

විශේෂයෙන්ම කියන්න ඕනේ මේ මොහොතේ රටේ පවතින තත්වය මත යම් බලපෑමක් තියෙනවා සිනමා නිර්මාණ වලට. මොකද රටේ පවතින ආර්ථික සමාජීය ගැටළු මත සිනමා ප්‍රේක්ෂකයින්ගේ සැලකිය යුතු අඩුවක් තියෙනවා. කොහොම නමුත් අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී තත්වය යහපත් වුණොත් මීට වඩා ප්‍රේක්ෂකයින් පිරිසක් සිනමාශාලා වෙත එයි කියලා.

රටේ වත්මන් තත්වය එක්ක ප්‍රචාරණ මාධ්‍යයට තිබුණු මිල නොසිතු තරමින් ඉහළ ගිහින් තියෙනවා. සාමාන්‍යයෙන් කටවුට් එකක් පෝස්ටර් එකක් ප්‍රින්ට් කරන්න ගිය මුදලට වඩා අද ගුණයකින් ඉහළ ගිහින් තියෙනවා. ඒ වගේම ප්‍රවාහන පිරිවැය විශාල වශයෙන් වැඩි වෙලා තියෙනවා. ඒකත් එක්ක අපි චිත්‍රපටය තිරගත කරද්දී සැලසුම් කරලා තිබුණු බජට් එක අද වෙද්දී කිසිසේත්ම ප්‍රමාණවත් නොවන මට්ටමකට පත්වෙලා තියෙනවා. ඒ නිසා මේ තත්වය සෑහෙන අභියෝගාත්මක තත්වයක්. මේ තරම් දුරක් ඇවිත් මෙතනින් එහාට මේ වැඩේ මඟ අතහැරලා යන්න සුදානමක් නැහැ. අපේ හැකි සියලුම ශක්තිය යොදවලා මෙහි සාර්ථකත්වය තෙක් වැඩ කරනවා. මේ සියලු ආර්ථික සහ සමාජීය පීඩන මැද්දේ වුණත් කණ්ඩායමක් විදියට මගේ කණ්ඩායම මට ලබා දෙන සහයෝගය අතිශයින් අගය කරන්න ඕනේ. ඔවුන් හැමවිටම මගෙත් එක්ක ඉන්නවා.

සිනමා ප්‍රේක්ෂකයින්ගේ පැත්තෙන් ගත්තම මේ වෙලාවේ මේ තියෙන ආර්ථික තත්වයන් එක්ක සිනමාශාලාවට ගිහින් චිත්‍රපටයක් බලන්න අවශ්‍ය කරන මුලික මුදල හොයාගන්න එක, දැන් ළමයෙක්ට අවශ්‍ය කරන කිරි එකක් සහ බෙහෙත් ටිකක් අරන් දෙන්න බැරි පසුබිමක් තියෙන රටක චිත්‍රපටයක් බලන්න මනුස්සයෙක්ට ආර්ථික සහ මානසික නිදහස තියෙනවා කියන එක බලාපොරොත්තු විය හැකි තත්වයක් නෙවෙයි. නමුත් අපි හිතනවා ටිකෙන් ටික මේ තත්වය වෙනස් වෙලා සුබවාදී වෙයි කියල. ඒ සුබවාදී තැනදී නයිට් රයිඩර් මුණගැහෙන්න පුළුවන් තත්වයක් ලංකාවේ ප්‍රේක්ෂකයින්ට ලැබෙයි කියලා. දැනටත් තිරගත වන සිනමාශාලා වලින් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. තාමත් චිත්‍රපටයකට මුලික වශයෙන් ලැබෙන්න ඕනේ ප්‍රේක්ෂක ප්‍රමාණය සිනමාශාලා වෙත එමින් තියෙනවා. ඒ නිසා සිනමාශාලා හිමියන්ගේ පවා විශ්වාසයක් තියෙනවා මේ වෙලාවේ මේ චිත්‍රපටය සාර්ථකව තිරගත වෙයි කියලා. ඒකත් එක්ක අපි තවදුරටත් එහි සාර්ථකත්වය වෙනුවෙන් වැඩ කරන්න පෙළඹිලා ඉන්නවා.

විදෙස් රටවල ප්‍රදර්ශනය කරන්නත් මේ වනවිට ආරාධනා කිහිපයක් ලැබිලා තියෙනවා. ඊට අමතරව ඉතාලිය කැනඩාව වගේ රටවලින් අපිට ආරාධනා ලැබිලා තියෙනවා. ප්‍රේක්ෂකයින්ට මේ මොහොතේ මට කියන්න තියෙන දේ තමයි පුළුවන් තරම් ලංකාවේ ඉන්න ප්‍රේක්ෂක ජනතාවට රසවිඳින්න හැකි සිනමා නිර්මාණයක් කරන්න සෑහෙන කාලයක් තිස්සේ මහන්සි වුණා. ඒ මහන්සියේ ප්‍රථිපලය තමයි නයිට් රයිඩර්. එන්න මේ චිත්‍රපටය බලන්න. මේක ඕනෑම කෙනෙකුට රසවිඳින්න පුළුවන් චිත්‍රපටයක්. ඒ වගේම ලංකාවේ මෙතෙක් කල් අත් විඳින්න නොලැබුණු වෙනස් ශෛලියක චිත්‍රපටයක් විදියට අපිට හඳුන්වන්න පුළුවන්.

මේ නිර්මාණයෙන් පස්සේ අලුත් නිර්මාණයක් කරන්නත් මම සුදානමින් ඉන්නවා. එකක් තමයි මේ චිත්‍රපටය ප්‍රදර්ශනයත් එක්ක චිත්‍රපටය නිෂ්පාදනය සහ ප්‍රදර්ශනය කිරීමේ ක්‍රමවේදය ඇතු‍ෙළ් අපිට නිර්මාණය කර ගන්න පුළුවන් වුණා අපේම කවයක්, අපේම සහෝදර සිනමාකරුවන්, සිනමාව ගැන උනන්දුවක් දක්වන තරුණ සිනමාකරුවන්ගේ කවයක්. මේක ඉතාම ශක්තිමත් කවයක්. මේ සියලු දෙනාම ඉතාම උනන්දුවකින් වැඩ කරන්න ඕනෑම මොහොතක වැඩ කරන්න සුදානම් කණ්ඩායමක්. මේ සියලු දෙනාගේම ශක්තියෙන් අපි තීරණය කළා ඊළඟ වැඩේ ට මේ එක්කම අතගහන්න. තරුණ සිනමාකරුවන් වන අපි හැමෝටම තියෙන අභියෝගය තමයි චිත්‍රපටයක් කිරීමට වඩා චිත්‍රපටයක් ප්‍රදර්ශනය කරගැනීමේ අභියෝගය. ඒ නිසා මේ ප්‍රදර්ශනය කිරීමේ ක්‍රමවේදය ගැන යම් හෝ අත්දැකීමක් සහ අවබෝධයක් ලබා ගන්න පුළුවන් වුණේ මේ නයිට් රයිඩර් චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමේ ක්‍රමවේදය හරහා. දැන් ඒ ගැන යම් අවබෝධයක් තියෙනවා. තවත් ඒ ගැන අධ්‍යනය කරනවා. ඉදිරි නිර්මාණය බොහෝ දුරට මගේම නිර්මාණයක් නොවෙන්නත් පුළුවන්. තවත් තරුණ නිර්මාණකරුවෙක් හඳුන්වා දීමක් වෙන්න වෙන්න පුළුවන්. දිගින් දිගටම ලංකාවේ මෙතෙක් කල් සිනමාවට මඟ හැරිලා තිබුණු තරුණ සිනමාකරුවන්ගේ තරුණ අදහස් වල හඳුන්වා දීමක් කරන්න අපේ කණ්ඩායම තුළින් අපි බලාපොරොත්තු වෙනවා. ඒ කණ්ඩායම තුළින්ම ලංකාවේ වෙනස් විදියේ සිනමාවක් ගොඩනගන්න අපි අපේ සියලුම ශක්තිය යොදා වැඩ කරන බවට පොරොන්දු වෙනවා.

 

 

Comments