මට ඕන මගේම නිර්මාණවලින් ජනතාව අතරට එන්න | Page 4 | සිළුමිණ

මට ඕන මගේම නිර්මාණවලින් ජනතාව අතරට එන්න

හර්ෂදේව ආරියසිංහ වෘත්තියේ පරිගණක ක්ෂේත්‍රයේ රැකියාවක නියුතු වුවත් සිය උරුමයෙන් ලද සංගීත හැකියාවන් සමඟ ස්වත්‍රන්ත නිර්මාණකරණයේ යෙදෙන යොවුන් කලාකරුවෙක්. ඔහුගේ කලාපසුබිම වගේම මේ වෙද්දී එළිදක්වන්න නියමිතව තිබෙන නවතම ගීත නිර්මාණ ගැන රසඳුන සමඟ කළ තාබහයි මේ.

හර්ෂදේව ආරියසිංහට සංගීතය උරුම වෙන්නේ මවු - පිය උරුමයෙන්මයි. ඒ ආරම්භය බොහෝ දිගුයි.

“මම මේ ක්ෂේත්‍රයට එන්නේ බොහෝ සම්බන්ධකම් තිබෙන පවුල් වට පිටාවකින්. මගේ සියා, ඒ කියන්නේ අම්මගේ තාත්තා නැසී ගිය ප්‍රවීණ සංගීතවේදී ආර්. ඒ. චන්ද්‍රසේන. සීයා 1940 ගණන් වල ඉඳන් 1960,70,80 දශක වල සංගීත අධ්‍යක්ෂවරයෙක් විදියට වැඩ කරලා තියෙනවා. ඒ වගේම මගේ තාත්තා අතිදක්ෂ තාල තරංග (තබ්ලා) වාදන ශිල්පීයෙක් වගේම ජනප්‍රිය ගායන ශිල්පී ඩබ්ලිව්. ඩී. ආරියසිංහ. මගේ අම්මා සංගීත විශාරද දර්ශනී චන්ද්‍රසේන. ඇය ගුරුවරියක් සහ අධ්‍යපන අමාත්‍යංශයේ වැඩ කරලා තියෙනවා. ඒ එක්කම සංගීත නිර්මාණ රැසක් කරලා තියෙනවා. පොඩි කාලේ ඉඳන්ම හැදුණේ ඒ හැමෝගෙම ආභාසය ඇතුව. ඒ නිසා මගේ සංගීත ජිවිතේ සකස් කරගන්න පහසු වුණා. තාත්තාගෙන් ගායනය පැත්තේ ආභාසය ලබද්දී, සීයාගෙන් සහ අම්මාගෙන් මම සංගීත අධ්‍යක්ෂණය පැත්තෙන් ලබන්න ඕනේ දැනුම ලබා ගත්තා.

මගේ වෘත්තීය විදියට මම තෝරා ගත්තේ පරිගණක වෘත්තීය. ඒ වුණත් සංගීත කටයුතු නතර කරලා නැහැ. දැන් මම එංගලන්තයේ ඉන්න සංගීත අධ්‍යක්ෂකවරු එක්ක වැඩ කරන්න පටන් අරන් තියෙනවා. මෙහෙ තියෙන තාක්ෂණය එක්ක සංගීත විෂය උගන්වන විදිය හදාරලා මෙහෙ තියෙන හොඳම දේවල් ලංකාවේ සංගීතයට එකතු කරන්න මම උත්සාහ ගන්නවා. ඒක මගේ ඉදිරියට එන ගීත නිර්මාණ තුළින් දැක ගන්න පුළුවන්.“

ඔහුගේ අලුත් නිර්මාණ කිහිපයක්ම ඉදිරියේදී අහන්න දකින ලැබෙන බව කිව්ව නිසා, ඒ ගැන වැඩි විස්තර ඇහුවම හර්ෂදේව කිව්වේ මෙහෙම කතාවක්

“අලුත් නිර්මාණ තුනක් මේ වෙද්දී වැඩ අවසන් කරලා තියෙනවා. ලංකාවේ ඉන්න කාලේ වැඩ පටන් ගත්තට එංගලන්තයට ආවට පස්සේ තමයි ගීත තුනේම වැඩ කටයුතු අවසන් කළේ. ඉන් “සීතල දවසක“ ගීතය මේ මාසයේ එළිදක්වන්න නියමිතයි. එය ඉතාම ලස්සන ආදර ගීතයක්. මේ ගීතයේ විශේෂත්වය වෙන්නේ පද රචනය, සංගීතය, සංගීත අධ්‍යක්ෂණය, ගායනය මගේ. ඒවගේම එහි රූප රචනයටත් මම දායක වුණා. ඒක මට අලුත්ම අත්දැකීමක්. මේ ගීතයේ තාක්ෂණය අතින් ගත්තම ඉතාම දියුණු තැනක තියෙනවා. ඒ ගීතය එංගලන්තයට ඇවිත් කරපු පර්යේෂණ සාර්ථකවීම් හරහා කරපු නිර්මාණයක්. ලංකාවේ සාමාන්‍යය ගීත වලට වඩා වෙනසක් කරලා තියෙනවා. ඒ ඔස්සේ ලංකාවේ සංගීතය ඉහළට ඔසවා තබන්න මට පුළුවන් වුණා කියන විශ්වාසය මට තියෙනවා. පර්යේෂණ මට්ටමින් කළ මේ නිර්මාණයේ සංගීතය ඉගෙන ගන්න අයට ගන්න දෙයක් තියෙනවා. ඉතුරු ගීත දෙක ඉදිරි මාසය තුළ එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා.“

ඔබ ගායනයට එන්නේ පිය උරුමයෙන්, ඒ නිසාම ඔබේම පියාගේ ගීතත් නැවත ප්‍රති නිර්මාණය කළා, ඒ වෙනුවෙන් ලැබුණු ප්‍රතිචාර සහ ඉදිරියට තවත් ගීත ප්‍රති නිර්මාණය කරන්න අදහසක් නැද්ද?

“මේ වෙද්දී නිර්මාණ දෙකක් ප්‍රති නිර්මාණය කළා. නමුත් මම කැමති වුණේ නැහැ තාත්තාගේ නිර්මාණ වලින් එළියට එන්න. මම වඩාත්ම කැමති මගේම ස්වතන්ත්‍ර නිර්මාණ තුළින් මටම අනන්‍යතාවක් නිර්මාණය කර ගන්න. ඒක සාර්ථක වුණා. මම මුලින්ම කළේ නොබලා මා දිහා කියන ගීතය. එය ජනප්‍රිය වුණා. රයිනි චාරුකා සහාය ගායිකාව ලෙස ගීතය ගැයුවා. ඊට පස්සේ හීන මකා, සැමරුම් සේනා, සංසාර ආලේ සහ ආයාසේ කියන මගේම ගීත නිර්මාණය කළා. කොහොමත් මට මගේම කියන රසික රසිකාවියන් එකතු වුණාට පස්සේ තමයි තාත්තාගේ ගීත දෙකක් ප්‍රති නිර්මාණය කළේ. ඒ ගීත දෙක “මා ළඟටම තව ළංවෙලා“ කියන ගීතය සහ “වලාකුළු පෙළින් බසින්න“ දුල්ශාරා ද අල්විස් සමඟ ගායනා කළා. ඒ වෙනුවෙන් හොඳ ප්‍රතිචාර ලැබුණා. තාත්තගේ ජනප්‍රිය වුණු ගීත වගේම ජනප්‍රිය නොවුණු ඉතාම ලස්සන ගීත තියෙනවා. ඒවා නැවත ප්‍රති නිර්මාණ කරන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි ප්‍රධාන වශයෙන්ම මගේ ස්වත්‍රන්ත නිර්මාණ ඉදිරියට එළිදක්වන්න තමයි හිතන් ඉන්නේ.“

ලෝකයේ කොහේ හිටියත් සංගීතය නම් විශ්ව භාෂාව මඟහැර ඉන්න බැහැනේ. ඒ නිසාම හර්ෂදේවටත් ඇති මේ සංගීත ගමන් මගේ සපුරා ගන්නට ආසාවෙන් බලාපොරොත්තුවෙන් ඉන්න ඉලක්ක.

“මගේ ලොකුම ඉලක්කය තමයි එංගලන්තයේ වෙස්ටන් මියුසික් සමඟ මුසුවුණු ශ්‍රී ලාංකීය සංගීත නාද රටා සමඟ ගීත කිහිපයක් එළිදැක්වීම. ඒ කියන්නේ සිංහල සංගීතයට හෝ බටහිර සංගීතයට හානි නොකර අපි හැමෝටම අහන්න පුළුවන්, විඳින්න පුළුවන් ලස්සන ගීත කිහිපයක් නිර්මාණය කිරීම. සංගීතයට සීමා නැහැ. පුළුවන් තරම් පර්යේෂණ කරලා හිතන්න පුළුවන් උපරිමයෙන් හිතලා ලස්සන ගීත ටිකක් නිර්මාණය කරන්නයි මගේ අදහස. දෙවැනි එක මගේම ගීත ඇතුළත් සංගීත ප්‍රසංගයක් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. මම මේ දිනවල ඒ සඳහා සුදානම් වෙනවා.“

 

Comments