ප්ලාස්ටික් සැත්කමෙන් සැඟව ගිය ජුහිගේ සොඳුරු රුව | සිළුමිණ

ප්ලාස්ටික් සැත්කමෙන් සැඟව ගිය ජුහිගේ සොඳුරු රුව

ප්ලාස්ටික් සැත්කම් කියන්නේ සිනමා නළු නිළියන්ට අලුත් දේවල් නෙමෙයි. ඒවා ඔවුන්ගේ ජීවිතවල සාමාන්‍ය කාරණා. තමන්ගේ සිරුර තව පොඩ්ඩක් මෙහෙම වුණොත් හොඳයි, අරහෙම වුණොත් හොඳයි. නහය පොඩ්ඩක් මෙහෙම වුණොත්, තොල් මෙහෙම වුණොත් හොඳයි කියලා හිතන මේ නළු නිළියෝ අධික මුදල් සම්භාරයක් වැය කරමින් ප්ලාස්ටික් සැත්කම් කරගන්නවා. ඉතින් මේ සැත්කම් ඔවුන්ගේ සුන්දරත්වය තවත් ඔප් නංවන නිසා ඔවුන් වෙත ප්‍රේක්ෂක ආකර්ෂණය වැඩි වෙනවා. එයම තමයි ඔවුන්ගේ අභිප්‍රාය වෙන්නෙත්.

ඒත් ඇතැම් වෙලාවට ඔවුන් බලාපොරොත්තු වන ප්‍රතිඵලයට හාත්පසින්ම වෙනස් ප්‍රතිඵලයක් මේ සැත්කම්වලින් ලැබෙනවා. ඉතින් එහෙම වුණාම ඔවුන් වැය කරන මුදල් වගේම ඔවුන්ගේ සමස්ත වෘත්තිය ජීවිතයත් වතුරේ යනවා. මේක මහ අවාසනාවන්ත තත්ත්වයක්. නමුත් ලොවම දන්නා ජනප්‍රිය ඉන්දීය නළු නිළියන් කිහිප දෙනෙකුටම මේ තත්ත්වයට මුහුණ දෙන්නට සිදු වුණා. ඒ අතරින් ඉදිරියෙන්ම සිටින්නේ 90 දශකයේ අතිශයින් ජනාදරයට පත් වූ ජනප්‍රිය හින්දි නිළියක් වන ජුහි චව්ලා.

ජූහි චව්ලා කියන්නේ 90 දශකයේ හින්දි සිනමාව වර්ණවත් කළ නිළියක්. ඇයගේ රංගන ශෛලිය ඉතා විනෝදවත් වූ බැවින් ඇයට සමකාලීන ශ්‍රී දේවි, මධුරි ඩික්සිත් වැනි අතිශයින් ජනප්‍රිය නිළියන් සමඟ කරට කර රැඳී සිටින්නට හැකියාව ලැබුණා. ඇය සුන්දර රූපයකට හිමිකම් කියූ කාන්තාවක්. ඇයගේ අමුතුම බැල්මක් සහිත ඇස්දෙක වගේම සැහැල්ලු, විනෝදමත් සිනහව ක්ෂණිකව මුහුණට ගෙනෙන දීප්තිය අතිශයින් දුර්ලභ සුන්දරත්වයක් ඇයට ලබා දුන්නා. ‘හම් හේ රාහි ප්යාර් කේ‘ ‘ක්යාමාත් සේ ක්යාමාතක්‘ වගේ සිනමාපටවල රංගනයෙන් ජූහි චවුලා මුළු මහත් ආසියාව පුරාම එක රැයින් ජනප්‍රිය වුණා. එහිදී ඇයගේ ස්වභාවික රූ සපුව ඇයට ප්‍රමාණවත් වුණත් කල්යත්ම ඇය වඩාත් සුන්දර වන්නට ප්ලාස්ටික් සැත්කමකට යොමු වුණා. වැඩි නිළියන් සංඛ්‍යාවකට මේ ප්ලාස්ටික් සැත්කම් ප්‍රතිඵලදායක වුවත් කනගාටුවකට වගේ ජූහිට නම් මේ සැත්කම සාර්ථක වුණේ නැහැ. එයට හේතු වුණේ ඇයගේ සිරුරට එම සැත්කමට යොදා ගත් රසායනික ද්‍රව්‍ය අහිතකර බලපෑම් එක් කිරීමයි. මේ හේතුවෙන් සැත්කම අවසානයේ ජූහි චව්ලා වඩාත් අවලස්සන වී තිබුණා. ඇයගේ මුහුණේ එක් අර්ධයක් අවසඟ වන ලකුණු පෙන්නුම් කළ අතර ඇයගේ නාසයේ හැඩය වඩාත් විකෘති වී තිබුණා. මේ නිසා ජූහි චවුලා අවලස්සන වූ බව තමයි බොහෝ ප්‍රේක්ෂකයන්ගේ මතය වුණේ.

ඒත් ඇයගේ රංගන දක්ෂතාව නිසාම අධ්‍යක්ෂවරුන් ඇයව දිගින් දිගටම සිනමාපටවලට සම්බන්ධ කර ගත් නිසා විරූපී වීමෙන් ඇයගේ රංගන ජීවිතයට බාධාවක් වුණේ නැහැ. නමුත් ක්‍රමයෙන් වියපත් වී සිනමාවෙන් ඉවත් වූ පසු මේ වන විට ඇයගේ මේ විරූපී බව පැහැදිලිව පෙනෙන බවත්, ඇයගේ වියපත් දිවිය මේ සැත්කම නිසා වඩාත් අවලස්සන වී තිබෙන බවත් ඡායාරූප මඟින් තහවුරු වන බවයි ඇයට ආදරය කරන ප්‍රේක්ෂකයන්ගේ අදහස වන්නේ.

ජූහි චවුලා පමණක් නොවෙයි හින්දි සිනමාවේ නම රැන්දූ තවත් නිළියන් කිහිප දෙනෙක්ම මේ සැත්කම් හේතුවෙන් අවලස්සන වූ බව පැවසෙනවා. රාකී සවාන්ත්, කංගනා රනාවත්, කොඑනා මිත්‍රා, මිනිෂා ලම්බා වැනි නිළියන් මේ සඳහා හොඳ උදාහරණ. එහෙත් අදටත් සිනමාවට එක්වන බොහෝ යුවතියන් තමන්ගේ සිනමා දිවිය වඩාත් සාර්ථක කර ගැනීම වෙනුවෙන් මේ ප්ලාස්ටික් සැත්කම් වෙත යොමු වෙමින් සිටිනවා.

 

Comments