නොදොඩා ඉනු බෑ ඉවසන්නට බෑ ඔය උණුහුම පපුවට ළඟ ඇයි... | සිළුමිණ

නොදොඩා ඉනු බෑ ඉවසන්නට බෑ ඔය උණුහුම පපුවට ළඟ ඇයි...

ගැ -පන්හිද වෙව්ලයි දෙනුවන් වැසී

කවියකි ඔබේ ආදරේ

හදවත තරුණයි තාමත් මගේ

දැනුණ ද කිවිඳාණනේ...

 

පි - නිල් දිය ගැඹුරුයි මහ සාගරේ

වාගෙයි ඔබේ ආදරේ

සියොළඟ විඳිනා නොයිඳුල් සෙනේ

ඔබමයි සඳ සාවියේ...

 

ගැ -භාවනාව මාව නිවන ආදරේ ඔයා

ඒ තරම්ම මගේ දෙනෙත් වශි කළා ඔයා...

 

පි -නොදොඩා ඉනු බෑ ඉවසන්නට බෑ

ඔය උණුහුම පපුවට ළඟ ඇයි...

 

ගැ - පැරඳුණාද මා නිසාම ප්‍රේම කල්පනා

චෝදනා කරාවි ලෝකයා වහන් වෙලා...

 

පි - මට සීමා නෑ බිය වී මා නෑ

හුස්ම තියෙනකම් ඔබ මගෙමයි...

 

ගායනය - සමිතා එදරන්දතී මුදුන්කොටුව

මංගල ඩිනෙක්ස්

පදරචනය - සම්පත් ප්‍රනාන්දුපුල්ලේ

සංගීතය - සඳරුවන් ජයසිංහ

 

එහෙ මෙහෙ දුවන සිත තැන්පත් වෙන්නනම් භාවනාවක් වගේ ආදරයක් තියෙන්න ඕන.

ඇය එහෙම පැවැසුවේ දිගු කල්පනාවක නියැලී සිටය.

“ඒ මොකෝ“

“මගෙ හිතට හරි මහන්සියි. තැන් තැන්වල ඇවිදලා. හිතට ගැලපෙන ආදරයක් හොයලා... ඇත්තම කිව්වොත් හරිම තෙහෙට්ටුයි.“ ඇය දිගු සුසුමක් පිටකර යළි නිහඩ විය.

පාසලේ පන්තියේ එකට අධ්‍යාපනය ලද අපේ යාළුකම දිගින් දිගටම රැඳුණේ ඇය මා නිවෙස අසලම පදිංචිව සිටි නිසාය.

ඇය ආදරයට අත්පොත් තැබුවේ කොතැනින්දැයි මට හරියටම මතක නැත. එහෙත් ඇගේ හිත ගත් පෙම්වතුන් දෙන්නෙක් හෝ තුන්දෙනෙක්ම පාසල් වියේ සිටම ඇයට සිටියාය.

“ඉගෙන ගන්නේ නැද්ද ආදරය කරන්නේ.“

ඒ ඇගේ ලොකු අම්මා ඇගෙන් නිතරම ඇසු ප්‍රශ්නයයි.

“ලොකු අම්මා ඉන්නකෝ... මං ඒවා බලා ගන්නම්.“

ඒ ඇගේ උත්තරයයි. එහෙත් ඇය ඉගෙනීම ද කළාය. ඒ ඇගේ හිතේ ආදරයට ලැබුණේ මුල් තැනය. ඇය සාමාන්‍ය පෙළ විභාගය අවසන් වනවාත් සමඟම විවාහයක් කර ගත්තාය. නෑ.. ඒක එහෙම කිව්වොත් වැරදියි සමන්මලී ව ගෙදරින් විවාහ කරවලා දුන්නා. ඒ ඇයට වඩා අවුරුදු කිහිපයක් වැඩිමහල් තරුණයකුටය. වසරක් දෙකක් ඇය ඒ ජීවිතය ගෙවන්නට ඇත. ඇය යළිත් ගෙදරටම ආවාය.

“ඒක හරියන්නේ නැහැ. මට බැහැ උය උයා ඉන්න. අනික මම වැඩ කාරියක් ද ? ගෙදර වැඩකරන්නයි බැණුම් අහන්නයි මට බැහැ.“

දින දෙක තුනක් යනවිට ඇය යළිත් සාමාන්‍ය ජීවිතයට හුරු වුවාය. පවුලේ අය ද ඇයට ඇගේ පාඩුවේ ඉන්නට ඉඩදුන්නාය.

ගතවුයේ ටික දිනකි. ඇය යළිත් ප්‍රේමයෙන් වෙළුණාය. ඇගේ නිවැසියෝ සිතුවේ දැන්වත් ඇය සතුටින් සිටිවී යැයි කියාය.

එහෙත් ඇය එවරද රැවටුණාය. කෙටි කළකින්ම ඔහු ඇය අතහැර ගියාය. ඉන් පසු ඇය යළිත් තනිවිය.

“හිතට ගැලපෙන අය හමුවෙන්නේ නැහැ. “

එවර ඇය එසේ කීවාය. එසේ සිතුවාය. එතැන් පටන් දවස ගෙවී ගියේ සාමාන්‍ය ලෙසය. වයෝ වෘද්ධ අම්මා තාත්තා ජීවිතය හැර ගියහ. ඇය ඒ තනිකඩ ජීවිතයට හුරු වුවාය. ජීවියේ වැරදුන තැන් බොහොමයි. එහෙත් කොහොමද ජීවිතේ අතහරින්නේ. ඒ උදේ හවස ඈ සිත ඇයට මිමිණු වදන්ය. නිවෙස මල් උයනක් කරමින් ඇය මල් වැව්වාය. අතට ආදායමක් ගන්නට මල් පැල විකුණුවාය. ඇයට ඔහු හමු වුයේ ඒ අතරේය. ඇත්තම නම් ඔහු ද මල් ලෝලියෙකු විය. ඔහු මුලින් ආවේ මල් ගෙන යන්නටය. නමුදු ටික කලක් යනවිට ඔහු ආවේ ඇය බලන්නටය. ඒ පැමිණිම ඇගේ සිතට සතුටක් ගෙනාවාය.

“ඒයා මට වඩා වසර කිහිපයක් බාලයි. ඒත් මොන හේතුවකටද මන්දා මගෙ හිත එතැන නතර වුණා. එයාගේ ගෙදරින් නම් මට කීයටවත් කැමති නොවෙන බව මං දන්නවා. ඒත් එයා මාව අතහරින්නේ නැති බවත් මං දන්නවා. අපේ හිත් පුදුමාකර විදිහට ආදරයෙන් බැදිලා තියෙන්නේ. ආදරේ කියන්නේ මොකක්ද කියලා මං හරියටම තේරුම් ගත්තේ ඔහුගෙන්. මෙතෙක් දවස් නොවිදපූ ජීවිතය මං දැන් විදිනවා කිව්වොත් හරියටම හරි. ඒක මහා පුදුම බැඳිමක්. අපි අපේ හිත්වලින් බැඳිලා මේ ගෙවන ජීවිතේ මට නම් හිතා ගන්නවත් බැහැ. අනික මං වගේ ගැහැනියක් ළඟ නතර වුණ ඒ හිතට මං ආදරෙයි මැරෙන තුරු“

ඇගේ ඒ කතාව පුදුමයක් නෙවෙන්නට පුළුවන්. ඒහෙත් තනි වුණ හිතකට දැනෙන ආදරයේ තරම ඒ වචන අස්සේ හැංගිලා තියෙනවා.

ආදරය ගැන විවිධ නිර්වචන දෙන්න අපි කාටත් පුළුවන්. ඒ ආදරයේ තරම දන්නේ තනි වුණ ඒ හිත්ම පමණයි. එවන් අත්දැකීම් එක්කර සම්පත් ප්‍රනාන්දුපුල්ලේ ලියූ මේ ගීතය අපට මේ දිනවල නිතර ඇසෙන ගීතයක්. වසර විසි එකකට වැඩි කාලයක් තිස්සේ ජනප්‍රිය ගීත රැසක්ම රචනා කර ඇති ඔහු තමන් විසින් ලියන ලද කිවිදාණනේ ගීතය පිළබඳව පැවැසුවේ මෙවැන්නකි.

“ පන්හිද වෙව්ලයි දෙනුවන් වැසී

කවියකි ඔබේ ආදරේ

හදවත තරුණයි තාමත් මගේ

දැනුණ ද කිවිඳාණනේ...කියන ගීතයට තේමා වුණේ අපේ සමාජයේම අත්දැකීමක්. කොහේ කොතැනක හෝ මෙවැනි දේ අපට දකින්න පුළුවන්. ආදරයට කිසිම වයස් භේදයක් නැහැ. එවැනි සබඳකම් ගැන අවඥාවෙන් බලන්න මට ඕන වුණේ නැහැ. එවැනි ප්‍රේමයත සුන්දර බව කියන්නයි මම මේ ගීතය ලියුවේ. ලැබෙයි ද නොලැබෙයිද කිය විශ්වාසය නොතිබුණත් ඒ දෙදෙනා අතර තියෙන සුන්දර ප්‍රේමය ලියන්නයි මට ඕනෑ වුණේ. මේ ගීතය අවුරුදු තුනක් විතර පරණයි. ඒත් තවමත් ජනප්‍රියයි. ප්‍රවීණ ගායන ශිල්පිනි සමිතා මුදුන්කොටුව හා ගායන ශිල්පී මංගල ඩිනෙක්ස් තමයි ගීතය ගයන්නේ. සංගිත නිර්මාණය සඳරුවන් ජයසිංහගෙන්. කොහොම වුණත් රසිකයන් මේ ගීතය ආදරයෙන් පිළිගත්ත එක ගැන මට සතුටුයි.“

 

Comments