නුඹ තබායන්න නුඹ දුන් සෙනෙහස මගෙ තනි මැකෙන්න | Page 2 | සිළුමිණ

නුඹ තබායන්න නුඹ දුන් සෙනෙහස මගෙ තනි මැකෙන්න

ආදරය හැමදාමත් අලුත්. ඒ මත ගොඩනැගෙන කතා මේ විශ්වය තුළ අනන්තයි අප්‍රමාණයි. තම හිත බැඳුණ ආදරය දිනාගන්න කෙනෙක් නොකරන දෙයක් නැති තරම්. හැම ආදර කතාවක් පිටුපසම සිත රිදවන කතාවක් ද නැතැයි කාට නම් කිවහැකිද ?

ඇයත් ඔහුත් ආදරයෙන් බැඳුණේ ඔවුහු හමුනොවිය යුතු යුගයකය. හමු නොවු යුගයක යැයි කියන්නේ දෙදෙනා දෙදෙනෙක්ගේ වී සිටියදී හමු වූ බැවිනි. ඇයත් ඔහුත් හමු වුයේ අතරමඟකදීය. ඒ හමුවීම කිසිසේත් විශේෂිත හේතුවක් මත සිදුනොවීය. ඔහු පවසන පරිදි ඇයත් ඔහුත් හමු වුයේ බස් නැවතුමකදීය. ආගිය කතාවෙන් පටන් ගත් ඔවුන්ගේ සම්බන්ධතාව බොහෝ දිග දුර ගියේය. ඒ වන විට ඇය තම පළමු සැමියාගෙන් වෙන්ව තනිවම දිවි ගෙවන්නට ඇරඹියාය.

ඇය විවාහ වුණේ අම්මලා කැමති වුණ කෙනෙක් එක්ක. හොඳට ඉගෙන ගත්තත් ඇයට දේපොළ තිබුණේ නැහැ. ඒ නිසා අම්මලාට බැරි වුණා ඇයව හොඳ කෙනෙක්ට බන්දලා දෙන්න. නංගිලා දෙන්නෙක්ට ලොකු අක්කා වුණ ඇයට තව දුරටත් ගෙදර වෙලා කාලය ගෙවන්න ලැබුණේ නැහැ. තාත්තා විතරයි රැකියාවක් කළේ. තාත්තා කළේ දරුවන්ට උගන්නපු එක. ඒ තාත්තාට කරන්න පුළුවන් වුණේ එච්චරයි. තාත්තා හදිසියේම රෝගී වුණා. ඔහුට රැකියාව නැති වුණා. ඉගෙන ගන්න නංගිලා දෙන්නටයි අම්මටයි තාත්තාටයි හැමෝටම හයියක් වුණේ ඇය. ඇගේ හිතේ ප්‍රේමයක් තිබුණා. ඒත් ඒ ප්‍රේමය ඇගේම කරගන්න ඇයට ඉඩක් ලැබුණේ නැහැ. අන්තිමට වුණේ අම්මලා ගෙනාව යෝජනාවකට ඇයට කැමති වෙන්න.

“පුතේ එ් ළමයා ඉගෙන ගෙන නෑ ඔයා තරම් . ඒත් ඉන්න ගේ දොර, රජයේ රස්සාව තියෙනවා. අපිටත් දැන් මහ දේවල් කරන්න බැහැනේ. දූ මේකට කැමැති වුණොත් හොඳයි. නැත්නම් මට මැරෙන්න වෙන්නේ හිතේ ගින්දරෙන්.“ අම්මා මන්තරේ වගේ කියවනකොට එයාට අපේ ගෙදරට එන්න ඉඩ දුන්නා. මහා ලොකු ලස්සන පෙනුමක් තිබුණේ නැහැ. ඒත් මගෙ හිත බොහෝම අකමැත්තෙන් එයාට කැමැත්ත දුන්නා. මාස කිහිපයකට පස්සේ අපි විවාහ වුණා. ඇත්තම කියනවා නම් රෙජිස්ටාර්ගෙ ගාවට ගියාමයි දන්නේ එයාට අත්සන ගහන්නත් අමාරු බව. මගෙ හිත බිඳුණේ ඒ මොහොතේ. ඒත් අම්මයි තාත්තායි නිසා මම ඉවසුවා. ජීවිතේ දවසින් දවස එපා වෙන්න ගත්තේ මටත් නොදැනීමයි. එයා රජයේ ආයතනයක තාවකාලික රස්සාවක් කළේ. රස්සාව ස්ථිර වෙයි ද කියලාවත් ෂුවර් එකක් නැහැ. එයාගේ අම්මා හැමදේම හංගනවා. මට තේරෙන්නේ නැහැ මම මොනවා කරන්නද කියලා. මැරන්නද ජිවත් වෙන්නද, පවුල් කන්නද, දාලා යන්න ද කියලා කිසිම තිරණයක් ගන්න බැරිව මම අන්තිමටම අසරණ වෙලා ඉන්න මොහොතක තමයි මට ඔයාව හමුවුණේ.“ ඇය මාව හඳුනාගෙන මාසයකට විතර පස්සේ එහෙම කිව්වා.

ඒ හිනාව හරි සුන්දරයි. මට මගේ ප්‍රශ්න අමතක කරන්න ඒ හිනාවම ඇති. අපි හැම උදයකම හවසකම හමු වුණා. අපි අපි ගැන කතා වුණා. ඇය බොහෝම හොඳ කෙනෙක්. ඇත්තටම අපේ ජීවිතේ ඒ හමුවීමෙන් පස්සේ හැඩ වුණා කිව්වොත් හරියටම හරි. ඒත් අපිට ජීවත් වෙන්න වුණේ ගින්දරත් එක්ක. මම ජීවිතේ සතුටක් සැනසීමක් ලැබුවා, ඒ ඇගෙන් පමණයි.

බොහෝම ටික කලකින් ඇගේ නුගත් සැමියා අපේ සම්බන්ධය ගැන දැනගත්තා. ඔහු වටේම ගිනි තිබ්බා කිව්වොත් හරියටම හරි. ඇයට පාරට බහින්න බැරිව ගියා. ඇය කාටත් රහසින් ඒ කියන්නේ ඇගේ නංගිලා දෙන්නා විතරක් දන්න දුර පළාතකට මාරුවක් ගත්තා. ඇය පැනලා ගියේ නැහැ. ඒ වෙලාවේ ඇය හිතුවේ මා ගැන. මම හොඳටම ඒ බව දන්නවා. ආදරය හිත අස්සේ තියාගෙන අපි අපෙන් වෙන්වුණා. එදායි පස්සේ කවදාවත් ඇය මට හමුවුණේ නැහැ. මම ජීවත් වෙනවා. මගෙ දරුවෝ බිරිඳ එක්ක. ඒත් මං දන්නවා මගේ හිත තියෙන්නේ ඈ ළඟ. ජීවිතේ මෙවැනි අත්දැකිම් හරි වේදනවක්. එත් මොනවා කරන්නද? “ සුසුමක් පිටකරමින් මා මිතුරා කී ඔහුගේ කතාව කලකට පසු මට සිහි වූයේ මේ ගීතයේ පද ඇසුණාට පස්සේ. එක වගේ අත්දැකීම් එකතු වී තැනුණ මේ ගීතයෙන් කියන්නෙ ඔහු ගැනද කියලා නිකමට හිතුණා. ගැයෙන ගීතයකට මිනිස් හිත්වලට කොයිතරම් නම් සංවේදී වෙන්න පුළුවන් ද කියන එක මේ ගීතය එක සාක්ෂියක්.

ගීතය ලියන්නේ අධිකරණ වෛද්‍ය ජයාන් උඩුගම. ගීතය ගයන්නේ ප්‍රවීණ ගායන ශිල්පී කරුණාරත්න දිවුල්ගනේ. ගීතයේ සංගීත නිර්මාණ ප්‍රවීණ සංගීතවේදී දර්ශන වික්‍රමතුංගයන්. ගීතය පිළිබඳ අදහස් දක්වමින් ජයාන් උඩුගම පවසන්නේ මෙවන් කතාවක්.

“ප්‍රියයන්ගෙන් වෙන්වීම කියන්නේ මහා දුකක්. එවැනි අත්දැකීමක් තමයි මගේ ගීතයට තේමා වුණේ. මේ ගීතය රසිකයෝ ආදරයෙන් පිළිගත්තා. මට දැනෙන්නේ මෙහෙමයි. මම මගේ කතාව ලිව්වා. මේ ගීතය අහලා එය ඔබේ කතාවට ගලපාගන්න රසිකයන්ට අවසර තියෙනවා. කරුණාරත්න දිවුල්ගනයන්ගේ ගී හඬත්, දර්ශන වික්‍රමතුංගයන්ගේ සංගීතයත් මගේ පදවලට උපරිම සාධාරණයක් කළා කියන හැඟීම මට තියෙනවා. “

ගී පද රචක වෛද්‍ය ජයාන් උඩුගම පවසන්නේ එලෙසිනි.

 

 

Comments