ක්ෂිර සාගරය කැලැඹිණි චිත්‍රපටයේ රඟපෑම මට තාමත් හීනයක් | සිළුමිණ

ක්ෂිර සාගරය කැලැඹිණි චිත්‍රපටයේ රඟපෑම මට තාමත් හීනයක්

 

"මහාචාර්ය සුනිල් ආරියරත්නයන් මගෙන් ඇහුව මගේ චිත්‍රපටයේ සින්දුවක් කියන්න එනවද කොල්ලෝ. උඹට කීයක් ඕනද? කියලා. මං ගත් කටටම ඇහුවා මං සර්ට කීයක් දෙන්න ඕනද? මාව මේකට ගන්නවට කියලා."

 

ගායන රියැලිටි කලාව උඩියටිකුරු කළ කිහිප දෙනා අතරින් අද දවසේ ඉහළින්ම වැජඹෙන නමක් තමයි රවීන් කණිෂ්ක. යෞවනයට පමණක් සීමා නොවී වැඩිහිටි පරම්පරාවද උන්මාදයට පත්කරන මියුරු හඩක් හිමි රවින්ට තමාට ජනප්‍රියත්වය හිමිකර දුන් එවැනිම වැඩසටහනක නිවේදන කටයුතු කිරීමට අවස්ථාව ලැබීමත් දෛවෝපගත සිදුවීමක්. රංගන ක්ෂේත්‍රයත් ගායන ක්ෂේත්‍රයත් ආක්‍රමණය කර ඇති රවීන් නර්ථනයෙනුත් ප්‍රේක්ෂක සිත් ඇඳ බැඳ ගැනීමට සමත්වී තිබේ.

 

රියැලිටි වැඩසටහනක දෙවැනි ස්ථානය දිනාගත් මේ හුරුබුහුටි තරුණයා තුළ දක්ෂතා රැසක් සැඟව තිබෙන බව ඔහුද නොදැන සිටින්නට ඇත. ගීත ගායනයේ දී ඔහු ගීතයට සමවදී. රංගනයේ දී චරිතයෙන් වෙන්කරගැනීමට නොහැකි ලෙස ඔහු එයට බද්ධ වෙයි. ගායනය හැරුණු කොට මේ කිසිවක් ඔහු සහජයෙන් ගෙනා බවට ඔහු තුළ සාක්ෂි නොමැති වීමත් විශේෂත්වයකි.

“එදා රියැලිටි වැඩසටහනේදී මට ජයග්‍රාහී කිරුළ නොලැබුණත් ඒ ලැබූ ජයෙන් මට ලැබුණු දේවල් බොහෝමයි. ගායනය, සංගීතය කියන්නේ මගේ ආත්මය වගේ. ඒතරමටම මං ඒ හා බද්ධවෙලයි ඉන්නේ. නමුත් අද සංගීත ක්ෂේත්‍රය යන රටාව ගැන නම් කලකිරීමක් තියෙන්නේ. හේතුව සමහරු හිතන්නේ වචන ටිකක් වේගෙන් කියාගෙන ගියාම ඒක රැප් එකක් කියලා. තාරුණ්‍යයම බේස් කරගෙන කරන ඒවා තමයි වැඩිපුරම තියෙන්නේ. කොල්ලො කෙල්ලො කැමති නම් ඒක තමයි ‘හිට්‘ කියලා හිතන මට්ටමක් අද තියෙන්නේ. ඉස්සර සින්දු හදවතටයි දැනුණෙ. හැමෝම ගැන නෙවෙයි මං මේ කියන්නේ. සමහර ඒවා තියෙනවා මමත් රසවිඳිනවා. නමුත් මාව හැදිල තියෙන, හදල තියෙන සංගීත රටාවක් තියෙනවා. මට ඉන්නවා ඉලක්කගත ප්‍රේක්ෂක පිරිසක්. ඉතින් ඒ අය වෙනුවෙන් හොඳ දෙයක් කරන්න ඕන.

කොරෝනා සමයත් එක්ක ලැබුණු විවේකයේ දී නිදහසේ නිර්මාණ කිහිපයක්ම කරගන්න ලැබුණා. මගේ සින්දු 10ක් විතර එළියට දාන්න තියෙනවා. අවස්ථාව බලලා එකින් එක එළියට දාන්න හිතන් ඉන්නේ.”

රවීන් රංගනය තාත්විකයි. කෙළිලොල්කම වගේම සීරියස් බවත් ඔහුට මැවෙන්නේ නිරායාසයෙන්. උපහාසාත්මක බව හරි අපූරුවට ඉස්මතු කරන රවීන්ට හාස්‍යයටත් මනා හැකියාවක් ඇති බව පැහැදිලියි. දෙවැනි ඉනිමේ අනුහස් මේ සියල්ලේම සංකලනයක්.

“මං දැනන් හිටියෙ ගායනය ගැන විතරයි. අනෙක් හැකියාවන් මා තුළින් ඉස්මතු කරගත් ඒවා. රංගනය වෙනස්ම විදියට ලැබුණ දෙයක්. රියැලිටි තරගයෙන් පස්සෙ ප්‍රවීණ, ජනප්‍රිය අය විවිධ වැඩසටහන්වලදී හමුවුණා. ඒ ඒ අවස්ථාවලදී මටත් එයාල එක්ක සින්දු කියන්න, නටන්න, රඟපාන්න සිද්ද වුණා. ඒවායින් අත්දැකීම් ලබාගත්තා. ඉගෙන ගෙන නොතිබුණත් දැකල, අධ්‍යයනය කරල මමත් ඒ දේවල් කළා. ඒ අවස්ථා නිසයි මට රංගනයට දොර විවර වුණේ. රවීන් කියන්නෙ කොහොමත් කිසිදෙයක් බෑ කියලා අතාරින ජාතියෙ කෙනෙක් නෙවෙයි. ඔය ‘බැරි වැඩ නොකරන් අබරෝ‘ කියන කියමන මං නම් කවදාවත් පිළිගන්න කෙනෙක් නෙවෙයි. දීපු වැඩ හොඳින්ම කළ නිසාත් මං ගැන විශ්වාසයක් ඇති වුණ නිසාත් සමන් එදිරිමුණිගේ තිර රචනයට සාරංග මෙන්ඩිස් අධ්‍යක්ෂණය කළ දෙවැනි ඉනිමට මාව යෝජනා වුණා. එහි සම්පූර්ණ අදහස වගේම චරිත තේරීමත් දෙරණ උපසභාපති ලක්සිරි වික්‍රමගේ මහතාගේ අනුදැනුමින් තමයි සිදුවුණේ. කිසිම අදහසක් නැතුව පටන් ගත්ත ඒ නිර්මාණය ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම ගිහින් රවීන්, අනුහස් වෙලා තමයි නතර වුණේ. ඊට පස්සේ දියණි කියලා ටෙලි නාට්‍යයකටත් සම්බන්ධ වුණා. ඊට අමතරව ජයප්‍රකාශ් සිවගුරුනාදන්ගේ ‘කිස්’ සහ ජෝයි දිසානායකගේ ‘We’ කියන නාට්‍යය ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකක ගියා.“

දෙවැනි ඉනිම අනුහස් වෙමින් වැඩිම ජනතා මනාපයෙන් අවස්ථා කිහිපයකදී ම ජනප්‍රියම නළුවා සම්මානයට පාත්‍ර වූ රවීන් කණිෂ්කව සිනමාවට ගෙන ඒමේ ගෞරවය හිමිවන්නේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ට.

සුනිල් සර්ගේ ‘ක්ෂීර සාගරය කැළඹිණි‘ චිත්‍රපටය තමයි මගේ කුළුඳුල් සිනමා අත්දැකීම. ජැක්සන් ඇන්තනී, හේමාල් රණසිංහ වැනි ප්‍රවීණයන් ප්‍රධාන චරිත මවද්දී මායි උදාරි වර්ණකුලයි, එහි සමගාමී රංගනයක යෙදෙනවා. මෙය තාම ප්‍රදර්ශනය සඳහා තියෙන චිත්‍රපටයක්. මහාචාර්යතුමා කියන විදියට ඒ චිත්‍රපටය එතුමාගේ අවසන් සිනමාපටය. එය එසේ නොවේවා කියා පතන ගමන්ම එහිදී මගේ ආධුනිකත්වයට ගුරුහරුකම් දෙමින් පූර්වාදර්ශයක් වූ අනතුරකට පත්ව සිටින ජැක්සන් ඇන්තනී මහතාටත් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. මහාචාර්යතුමා වගේ දැවැන්තයෙක්ගෙන් කුළුඳුල් සිනමා අත්දැකීමක් ලැබීම තාමත් මට හීනයක්. ඊට කලින් එන්න තියෙන්නේ නිරෝෂා විරාජිනී සමඟ ගයන මගේ කුළුඳුල් චිත්‍රපට පසුබිම් ගායනය රැගත් ‘කදිර දිව්‍ය රාජ කියන චිත්‍රපටය. ඒකත් මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේමයි. ඉතින් මං වාසනාවන්ත නැද්ද? මහාචාර්යතුමා මගෙන් ඇහුව මගේ චිත්‍රපටයේ සින්දුවක් කියන්න එනවද කොල්ලෝ. උඹට කීයක් ඕනද? කියලා. මං ගත් කටටම ඇහුවා මං සර්ට කීයක් දෙන්න ඕනද? මාව මේකට ගන්නවට කියලා. ඒක නම් තාම හීනයක්.“

කලා නිර්මාණ සමඟ පමණක් නොව ජීවිතයේ හෙට දවස ගැනත් හිතන ඔහු දැන් තමන්ගේම කියා ව්‍යාපාරයකුත් අරඹලා.

“කලා ජීවිතය නිසා මට ලැබුණු ජනප්‍රියත්වය වගේම ලැබුණු දේත් මං නිහතමානීව අගය කරනවා. ලෝකෙ වටේ යන්නත් මට අවස්ථාව ලැබුණේ කලාව නිසා. මේ වෙද්දි මං රටවල් 25කට වගේ ගිහින් තියෙනවා. තව ටික දවසකින් 17 වැනි වතාවටත් මම ඕස්ට්‍රේලියාවට යනවා. කලා ක්ෂේත්‍රයේ රැඳී සිටින අතරේම පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය කටයුත්තකටත් අතගහලයි තියෙන්නේ. ඉදිරියේදී රවීන්ව ඔබට ව්‍යාපාරික ක්ෂේත්‍රයේදීත් හමුවිය හැකියි.”

Comments