අසූවැනි වියේදීත් කඩවසම් තරුණයා හැරිසන් ෆෝඩ් | සිළුමිණ

අසූවැනි වියේදීත් කඩවසම් තරුණයා හැරිසන් ෆෝඩ්

 

1960 දශකයේදී  රංගන ක්ෂේත්‍රයට පිවිසි හැරිසන් ෆෝඩ් එතැන් සිට ක්‍රමයෙන් රංගන දිවියේ ඉදිරියටම ගමන් කළා

අවුරුදු 80 කියන්නේ සාමාන්‍ය මිනිස් ජීවිතයක ආයු කාලය අනුව අන්තිම හරිය තමයි. ගොඩක් වෙලාවට ලෙඩ ඇඳේ. නැතිනම් ආයාසයෙන් කාගේ හරි අතක එල්ලිලා අපහසුවෙන් පිය මාරු කරන වියපත් අවධියක්. මේ බව ගොඩක් දෙනෙක්ට සාධාරණ වුණත් ජනප්‍රිය හොලිවුඩ් නළු හැරිසන් ෆෝඩ්ට නම් වයස කියන්නේ විහිළුවක්. ගොඩක් දෙනා වියපත්ව, රෝගීව, මියයන නැතිනම් ඇඳකට, පුටුවකට සීමාවෙන ජීවිතයේ අසූව දශකයේදීත් හැරිසන් ෆෝඩ් ඉතාම කඩවසම්. ඒවගේම ජවසම්පන්නයි. බැලූ බැල්මට තරුණයෙක් වගේ.

ඉතාම මහලු වියේ ඉන්න හැරිසන් ෆෝඩ්ගේ කඩවසම් සිරුර ලෝකය පුරා පුවත් මවන්න ගත්තේ ඇත්තටම ඔහුගේ පෙනුම ලෝකයම වසඟ කරන්න සමත් වුණ නිසා.

හැරිසන් ෆෝඩ් උපත ලැබූවේ 1942 ජූලි මස 13 වැනිදා. ඇමරිකාවේ චිකාගෝ හිදී.

රංගනය හැරිසන්ට තිළිණ වෙන්නේ ඔහුගේ පියාගෙන්. ජෝන් විලියම් ක්‍රිස්ටෝපර් ෆෝඩ් නම් වූ ඔහුගේ පියා පැරණි ගුවන් විදුලි හඬ රංගන ශිල්පියෙක්. මේ ජාන නිසා වෙන්න ඇති හැරිසන් ෆෝඩ්ට උපතින්ම රංගන හැකියාවක් ලැබී තිබුණා. විශේෂයෙන්ම ඔහු පාසල් වියේදීම හඬ නළුවකු බවට පත් වුණේ තම පියාගේ හැකියාවන් තමාටත් තිබෙන බව පෙන්නුම් කරමින්. පසුව 1960 දශකයේදී ක්‍රමයෙන් රංගන ක්ෂේත්‍රයට පිවිසි හැරිසන් ෆෝඩ් එතැන් සිට ක්‍රමයෙන් රංගන දිවියේ ඉදිරියටම ගමන් කළා.

1970 – 2000 අතර කාලය ඔහුගේ රංගන ජීවිතයේ උපරිමය සනිටුහන් කළ කාලය වශයෙන් පෙන්වා දෙන්නට පුළුවන්. විශේෂයෙන් මේ කාලයේදී ඔහු රංගනයෙන් දායක වූ ඉන්දියානා ජෝන්ස් සිනමාපට මාලාව ඔහුට අති විශාල ජනප්‍රියත්වයක් ලබා දුන්නා. අති විශිෂ්ට හොලිවුඩ් සිනමා අධ්‍යක්ෂ ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නිර්මාණයක් වුණූ ඉන්දියානා ජෝන්ස් චිත්‍රපට මාලාවේ රංගනයෙන් දායක වන විට හැරිසන් ෆෝඩ් ගෙවා දමමින් සිටියේ ඔහුගේ ජීවිතයේ සුන්දරම තරුණ කාලයයි. මේ යුගයේදීම ස්ටාර් වෝස් චිත්‍රපට මාලාවේ රංගනයෙන් දායක වන්නට ලැබීම ඔහුට සිනමා නළුවකු ලෙස හොලිවුඩයේ තවත් ස්ථාවර වන්නට අවස්ථාව ලබා දුන්නා.

මේ ඔහුගේ ජීවිතයේ සාර්ථක කාලය පිළිබඳ ආවර්ජනයක් කියලා කිව්වත් එය සම්පූර්ණ සත්‍යයක් නොවෙයි. එයට හේතුව ඔහු මේ වන විටත් සිනමා නළුවකු ලෙස හොලිවුඩ් සිනමාවට සක්‍රීයව දායක වෙමින් සිටීමයි.

බොහෝ නළුවන් වියපත් වන විට ක්‍රමයෙන් රංගනයට සමු දුන්නත් හැරිසන් ෆෝඩ් එසේ කළේ නැහැ. ඒ වෙනුවට ඔහු තම නළු පෙනුම දිගින් දිගටම ආරක්ෂා කර ගත්තා. ඔහුගේ පෙනුමට ගැළපෙන අන්දමේ චිත්‍රපට ඔහුට ලැබීමත් සමඟ ඔහු වයස අවුරුදු 80දීත් සක්‍රීය සිනමා නළුවකු බවට පත්ව සිටිනවා. 2020 වසරේදී ඉන්දියානා ජෝන්ස් චිත්‍රපටය රූගත කිරීමට නියමිතව තිබුණද එය කල් දැමීමට සිදුවූයේ පැතිර ගිය කෝවිඩ් වසංගතය හේතුවෙන්.

කොහොම වුණත් හැරිසන් ෆෝඩ් අසූවැනි වියේදිත් අතිශය කඩවසම්.

ඇත්තටම ඔහු අසූවැනි වියේ පසුවන මහල්ලෙක් කියලා කියන්නත් බැරි තරම්. මෙතරම් වියපත් වෙලත් තම පෙනුම පවත්වා ගැනීම පිළිබඳව හැරිසන් ෆෝඩ් නම් විශේෂ දෙයක් කියන්නේ නැහැ. ඔහු කියන්නේ තමන් තරුණ වියේදී මෙන්ම ශරීර සුවතාවය ගැනත්, ආහාර ගැනත් මනාව සිතමින් කටයුතු කළ බවයි. විවේකය වගේම ව්‍යායාමත් තමන්ට තරුණ පෙනුම ලබා දෙන්න හේතු වුණු බවත් ඔහු කියනවා. ඇත්තෙන්ම ඔහු තමන්ට වියපත් වුවත් හිමිව තිබෙන තරුණ පෙනුම ගැන අමුතුවෙන් යමක් පවසන්නේ නැති තරම්. එහෙත් ඇත්තෙන්ම හැරිසන් ෆෝඩ් දැක්කම හිතෙන්නේ වයස කියන්නේ විහිළුවක් පමණක්ම බවයි.

Comments