රෙදිමෝල වත්තේ කටකාර හැඩකාර පොඩි කෙල්ල මීනා | Page 3 | සිළුමිණ

රෙදිමෝල වත්තේ කටකාර හැඩකාර පොඩි කෙල්ල මීනා

පාරේ යන්නත් බෑ.... මේ මීනා නේද කියලා අහනවා

මේ දිනවල වැඩි ප්‍රේක්ෂක ආකර්ෂණයක් ලබමින් සිරස ටීවි හි විකාශය වන “කියාදෙන්න ආදරේ තරම්“ ටෙලි නාට්‍යයේ පුංචි කටකාරිය ඇයයි. රෙදිමෝලවත්තේ ඉපිද හැදී වැඩෙන “මිනා“ ගේ චරිතය සිය රංගන කුසලතා ඔස්සේ තාත්විකව රසිකයන් අතරට සමීප කරන මේ පොඩිත්තිය පහන්දි නෙතාරා වල්පිට. රත්නපුරයේ උපන් පහන්දි JMC ජාත්‍යන්තර පාසලේ හතර වසරේ ඉගෙනුම ලබනවා.රංගනයේ දී පමණක් නොව සැබෑ ජීවිතයේදීත් ඇය දඟකාර සොඳුරු කටකාරියකි.

 

කියා දෙන්න ආදරේ තරම් නාට්‍යයේ මිනාට ලැබෙන ප්‍රතිචාර කොහොමද ?

අම්මෝ බස් එකක යන්නත් බෑ. පාරේ යන්නත් බෑ. අනේ මේ මිනා නේද කියල ළඟට ඇවිල්ල කතා කරනවා. මාව දැකලවත් නැති මට ආදරේ කරන අය ගොඩක් ඉන්නවා. සමහර අය ලස්සන තෑගිත් එවනවා. මට ගොඩක් සතුටුයි.

කියා දෙන්න ආදරේ තරම් නාට්‍යයේ රඟපාන්න ඔයාට කතා කළේ කවුද.?

නාට්‍යය අධ්‍යක්ෂණය කරන ධනුෂ්ක මාමා. “රාවණ“ නාට්‍යයේ පුංචි මන්දෝදරීට රඟපානකොට මගෙ තාත්තට හිටපු යෂ් මාම තමයි මාව ධනුෂ්ක මාමට හඳුන්වල දුන්නෙ.

මුලින්ම රඟපෑමට යොමු වුණේ කොහොමද?

මම මංගල උත්සවයක මල් කුමාරියකට ඉන්නකොට මාව දැකපු අසංක විජේසූරිය මාමා තමයි වෙළෙඳ දැන්වීමකට මාව ගන්න අම්මගෙන් ඇහුවේ. එතකොට මගෙ වයස අවුරුදු තුනයි. මුලින් අකමැති වුණත් අන්තිමට අම්ම කැමති වුණා. මුලින් මම රඟපෑවෙ ඇන්කර් වෙෙළඳ දැන්වීමට.

එතකොට පුංචි තිරයට එන්නේ කොයි නිර්මාණයෙන් ද?

දෙරණ නාළිකාවේ විකාශය වූ රාවණා නාට්‍යයේ පුංචි මන්දෝදරීගෙ චරිතයෙන්.

ඉන් පස්සේ ජයප්‍රකාශ් මාමගේ අමාලියා, ධනුෂ්ක රත්නායක මාමාගේ හෙලි සහ දාම් කියන නාට්‍යය, මහපොළව,අඳුන්ගිර, මාණික්කාවත සහ සකර්ම කියන නිර්මාණවලට දායක වුණා.

වැඩිම ප්‍රතිචාර ලැබුණෙ මොන චරිතයට ද.?

මීනාට තමයි. තව ඉතින් අඳුන්ගිර හි තාරාටත් මහපොළව නාට්‍යයේ අනෝහාමි චරිතයටත් ගොඩක් අය කැමතියි.

ඔයා රඟපාපු සිනමාපට මතක් කළොත්.?

ගෝරි කියන චිත්‍රපටයේ මම මුලින්ම රඟපෑවේ. හර්ෂ උඩකන්ද මාමා ඒ චිත්‍රපටයට ගැළපෙන්නෙ මාව කියලා අම්මට කියල තිබුණා. ඒ චිත්‍රපටයේ ගෝරි පැටියා කියන චරිතය නිසා ගොඩක් අය මාව අඳුනගත්තා. සීඩ්ස්, සංඝටන කියන චිත්‍රපටවලත් මම රඟපාලා තියෙනවා.

පුංචි කාලෙ ඉඳන් රඟපාන්න ලැබුණ එක ගැන මොකද හිතෙන්නෙ?

ගොඩක් සතුටුයි. රූපවාහිනී තිරයෙන් දක්ෂතා පෙන්නන්න හැමෝටම මෙහෙම අවස්ථාව ලැබෙන්නෑනෙ.

ලංකාවෙ ඔයා කැමතිම නිළිය කවුද?

මං හැමෝටම වගේ කැමතියි. ඒත් උමාලි නැන්දට මං ගොඩක් කැමතියි.

මෙතෙක් රඟපාපු චරිත අතරින් වැඩිපුර කැමති චරිතය මොකක්ද.?

මහ පොළව' ටෙලි නාට්‍යයේ අනෝහාමි චරිතයට මම ගොඩාක් කැමතියි. මාණික්කාවත චරිතයටත් ආසයි. කැලෑව නිස්කලංකයි. හවසට අලි බලන්න පුළුවන්. කොහොම වුණත් ගැමි චරිත රඟපාන්න මම ගොඩක් ආසයි.

සිංදු කියන්නත් පුළුවන් නේද.?

සිංදු කියන්න පුළුවන් ටිකයි. ඒත් මට නටන්න නම් ගොඩක් පුළුවන්.

ඔයාව කලාවට යොමු කරන්න වැඩිපුරම වුවමනාව තිබුණෙ කාටද.?

අම්මිටයි තාත්තිටයි තමයි. මං වෙනුවෙන් ගෙදර අය ගොඩක් මහන්සි වෙනවා. අම්මි තමයි මගෙ හොඳම යාළුවා. තාත්ති මගෙ දෙවෙනි යාළුවා. දර්ශන තලයෙදි කවන්නෙ පොවන්නෙ ඇඳුම් අන්දවන්නෙ වඩාගන්නෙ ඔක්කොම අම්මි. මට අයිය කෙනෙකුත් ඉන්නවා. අම්මි මට චරිත තෝරලා දෙනවා. අපි හැම නිර්මාණයම බාරගන්නෙ නැහැ. හොඳ පිටපත් බලලා ගැළපෙන චරිත සහ ඉගෙනගන්න වැඩවලට බාධාවක් නොවන විදියට තමයි කලා කටයුතු කරන්නෙ.

ඉදිරියට එන්න තියෙන නිර්මාණ මොනවද?

දෙරණෙ විකාශය වීමට නියමිත ඉම ටෙලි නාට්‍යය වගේම සංඝටන සහ ප්‍රාණ කියන චිත්‍රපටත් තිරගත වෙන්න නියමිතයි. වෙෙළඳ දැන්වීම් කීපයකුත් එන්න තියනවා. අක්ෂි කියල අලුත් වැඩකටත් සම්බන්ධ වුණා. ඒ ගැන වැඩි විස්තර පස්සෙ කියන්නම්කෝ.

Comments