එදා මෙදා මාධ්‍ය සගයන් වෙනුවෙන් ගැයෙන පෑනට පණ දුන් මිනිසුන් | සිළුමිණ

එදා මෙදා මාධ්‍ය සගයන් වෙනුවෙන් ගැයෙන පෑනට පණ දුන් මිනිසුන්

මාධ්‍යයේ සගයන්....

එදා මෙදා තුර මාධ්‍ය කලාව වෙනුවෙන් කැපවී කටයුතු කළ අය බොහෝය. මාධය කලාවේ නියැළෙන ඇතැමෙක් ගැටුණේ යුද්ධය සමඟය. ඇතැමෙක් මෙරට දේශපාලනය සමඟය. ඇතැමෙක් ගැටුණේ පාතාලය, පොලීසිය සමඟය. තවකෙක් රැඳුණේ කලාව සමඟය. තවකෙක් නැහුණේ ජනතාව දැනුවත් කරන්නටය. මේ කොහොම වුණත් අතීතයේ පටන්ම ජනතා සුබසිද්ධිය සඳහා ඇප කැප වීමෙන් කටයුතු කළ විශිෂ්ට ගණයේ මාධ්‍ය පරපුරක් අපට සිටීයේය. අද ද එවන් පරපුරක් සිටී. මතුද මේ සමාජය තුළ එවන් පරපුරක් බිහිවනු නොඅනුමානය.

 

කොහොම වුණත් අපේ රටේ මුලින්ම සිටියේ පුවත්පත් නියෝජනය කරමින් බිහි වූ මාධ්‍යවේදියෝය. පසුව විද්‍යුත් මාධ්‍යවේදියෝ බිහිවුහ. අද වන විට විවිධ අයුරින් රටේ ජනතාව දැනුවත් කිරීමට, රට වෙනුවෙන් පෙරමුණ ගැනීමට, රටතුළ බොහෝ මාධ්‍යවේදීහු වෙති. මේ මාධ්‍ය සඟයන් වෙනුවෙන් ලියැවුණ ගීතයක් නම් මෙතෙක් කොතැනකවත් අසන්නට හෝ දකින්නට නොලැබිණි. ඒ ගැන කිසිඳු හෝඩුවාවක් නැති සමයක අපේ මාධ්‍යවේදිනි සොයුරියක වන තක්ෂිලා නිමාලි වික්‍රමාරච්චි විසින් පසුගියදා අලුත්ම ගීතයක් මාධ්‍ය ලෝකයට මුදා හැරියේය.

මින් පෙරද ගීත ගණනාවක් ලියා ඇති ඇය මාධ්‍යවේදී සඟයන් වෙනුවෙන් ලියූ මේ ගීතය සුවීශේෂිය.

කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක වන තක්ෂිලා වසර ගණනක් ලක්බීම පුවත් පතේ ද ඉන් පසු සිළුමිණ පුවත්පතේ ද මාධ්‍යවේදිනියක ලෙස කටයුතු කළාය. මේ වන විට හෝමාගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරිනියක ලෙස සේවය කරන්නීය. තක්ෂිලා විසින් ළමා කෘති කිහිපයක්ම රචනා කර ඇත. ඒ අතර අත්තම්මාගේ සාධුනාදය, මයුරි අහසට ගිය හැටි, ගොවියා නම් වූ සීයා,

මාධ්‍යවේදීන් වෙනුවෙන් ලියූ ගීතය පිළිබඳ කළ විමසීමකදී තක්ෂිලා පැවැසුවේ මෙවැන්නකි.

“මට හැමවිටම හැඟෙන, දැනෙන, හිතෙන දෙයක් තමයි රටක සංවර්ධනය මෙන්ම එ් රටේ විනාශයට ද මාධ්‍ය බලපෑ හැකි බව

අපි කිසිවිටෙකත් රටේ විනාශය බලාපොරොත්තු වන අය නෙමෙයිනේ. ඒ නිසා රටක හදවත මෙන් වූ මාධ්‍ය තුළ, මාධ්‍යවේදීන් යනු ඉතාමත් ගරු කටයුතු පිරිසක්. ලෝකය හා නිරන්තරයෙන් බද්ධ වෙමින් ලොවම ඇතැඹුලක් සේ උකහා ගන්නා මේ මාධ්‍යවේදීන් ඇත්තටම ජනතාවගේ ගැලවුම්කරුවන්. ඒ මට හිතෙන විදිය. ඇත්තෙන්ම මම මේ පද ලිව්වේ අපේ රටේ මාධ්‍යවේදීන් ගැන ගෞවරයෙන්. ආදරයෙන්. මමත් කාලයක් මේ ක්ෂේත්‍ර යේ රැකිායව කළා. අදටත් මම ඒ ගැන උනන්දුයි. ඒ වගේම අවංක, තමන්ගේ කාර්යය අවංකව ඉටුකරන මාධ්‍ය සඟයෝ එක්ක මම හැමදාම ඉන්නවා. එහෙත් දේශපාලන මඩ ගොහොරුව තුළ ඔවුන්ට ඇති නිදහස හා ආත්මීය අභිමානය අහිමි කිරීමේ ශෝකාන්තය හද දවන වේදනාවෙන් මාධ්‍යවේදීන් වෙනුවෙන් ඔවුන්ට උපහාරයක් කරනු පිණිස මා අතින් ලියවුණු ගීතයක් තමයි “පහන් කණුව යට අඳුරුයි...“කියන ගීතය. මා ලියූ මේ ගීතය වඩාත් අර්ථවත් කරමින්, ඊටම ගැළපෙන තනු නිර්මාණයක් කළ හා ගීතය ගැයූ සමන්ත ශ්‍රී උදුගොඩ සොයුරා ද මෙහිදි සිහිපත් කරනවා.

ඒ තක්ෂිලාගේ අදහසය.

 

නීලම්බරේ ගන අඳුර වසාගෙන

අහසේ සුදිලෙන නෙළුම් කුලුන ළඟ

බිම් කඩ මත වැතිරී

ජන ගඟ හා යාවී

පෑනට පණදුන් මිනිසුන්

මාධ්‍යයේ සගයන්

පහන් කණුව යට අඳුරුයි

 

සඳ හිරු සෑයේ කොත අග වැළලු

රන් මිණි මුතු කඳුළු

හුදී ජන ගඟක් වැලපේ

කොත මුඳුනට නෑ ඇසුණේ

ගල් දිය ඇද්දා

සෑ රජු තැනුවා

පහන් කණුව යට අඳුරුයි

 

විදුලි කොටනවා අහස පිපිරුවා

වැස්සත් නෑ ඇද හැළුණේ

මිය යන පත් අග

දිය බිඳුවක් වත්

රැකගන්නයි මේ දෙරණේ

අරගල වින්දා

වෙඩි හඩ ඇහුණා

පන්හිද සුරතෙම රැදුණේ

පහන් කණුව යට අඳුරුයි

 

ගායනය හා සංගීතය - සමන්ත ශ්‍රි උඳුගොඩ

පද රචනය - තක්ෂිලා නිමාලි වික්‍රමආරච්ච්

 

Comments