සාරාගේ චරිතය රඟපාන්න දෙමළ භාෂාව ඉගෙන ගන්නත් වුණා | සිළුමිණ

සාරාගේ චරිතය රඟපාන්න දෙමළ භාෂාව ඉගෙන ගන්නත් වුණා

කේන්ති  යන එකනම්  මටත්  තියෙනවා

මම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නවා. ඊට අමතරව නීති විෂය ඉගෙන ගන්නවා. අප්පච්චි නම් මුල ඉඳන් මම කලා විෂයන් හදාරනවට කැමති වුණේ නැහැ. ඒත් මගේ අම්මාගෙන්  ලොකු සහයෝගයක් තිබ්බා.

පුංචි තිරය හරහා අපේ ආලින්දයට එන ටෙලි කතා මාලා අතරේ අලුත් මුහුණු බොහොමයක් දැක ගන්නට පුළුවන්. පසුගිය දිනවල ස්වාධින රූපවාහිනියේ විකාශය වූ “කොළඹ ඉතාලිය“ ටෙලි නාට්‍යයේ “තාරුකී“ වගේම ස්වරණවාහිනීයේ විකාශය වූ “once upon a time in colombo“ ටෙලි නිර්මාණයේ “සාරා“ කියන්නෙත් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් අලුත් රුවැත්තියක්. ඇය කිත්මි මුතුමැණිකේ.

“මගේ උපන් ගම මොරටුව. මගේ පවුලේ ඉන්නේ අම්මයි, අප්පච්චියි, මල්ලියි මමයි. මම අධ්‍යාපනය ලැබුවේ මොරටුව ජයලත් අප ස්වාමිදුවගේ කන්‍යාරාමයෙන්. මම රංගනයට කලින් නර්තනයට තමයි සම්බන්ධ වෙන්නේ. මට ඕන වුණේ නර්තන ශිල්පිනියක් වෙන්න. නර්තනය ඉගෙන ගත්තේ පාසලේදී උපුලි කලුපහන ගුරුතුමියගෙන්. ඊට පස්සේ චන්න විජේවර්ධනයන් ගාව අධ්‍යාපනය ලැබුවා. විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබන තෙක් චන්දන වික්‍රමසිංහ සර්ගෙන් නර්තනය හදෑරුවේ. උසස් පෙළින් පස්සේ මම ගියා මහේන්ද්‍ර පෙරේරා සර්ගේ ඇක්ටින් ස්කුල් එකට.

මහේන්ද්‍ර පෙරේරා සර්ගේ ඇක්ටින් ස්කුල් එකට යන්නෙ නිළියක් වෙන්න හිතාගෙන නම් නෙවෙයි. ඒක අහඹු සිදුවීමක්. මම ඒ ක්ලාස් එකට එක්කන් ගියේ මගේ මල්ලිව. එතකොට මල්ලි පොඩියි. ඒ නිසා මාව සම්මුඛ පරීක්ෂණයට ගත්තේ. එතැනදී මම රංගනය ගැන ඉගෙන ගත්තා. මට රංගනයට අවස්ථාවක් ලැබෙන්නේ ඥාතියෙක් වන චාලක රණසූරිය රචනා කරපු කොළඹ ඉතාලිය ටෙලි නාට්‍යයේ තාරුකී ලෙසින් රඟපාන්න.

මගේ මුල්ම නිර්මාණය කොළඹ ඉතාලිය. එහි තාරුකි තුළින් මට අත්දැකීම් ගොඩක් ලැබුණා. තාරුකී කියන්නේ ප්‍රශ්න ගොඩක අතරමං වෙලා ඉන්න පවුලේ විවිධ හැලහැප්පීම් එක්ක කොටු වෙච්ච ජීවිතේ එළිය දකින්න හීන දකින තරුණියක්. එය මට ලැබුණු සුවිශේෂි වෙනස්ම චරිතයක්. තාරුකී සහ කිත්මිගෙ සමානකම් නැහැ. හැබැයි කේන්ති යන එකනම් මටත් ටිකක් තියෙනවා.

“once upon a time in colombo“ හි සාරා කියන දමිළ තරුණියගේ චරිතය ලැබුණා. මම දමිළ අය අඳින පලඳින විදියට ආස නිසා ඒ චරිතයට ආරාධනා කරාම බොහොම කැමැත්තෙන් භාර ගත්තා. ඒ චරිතය ගැන හොයලා බලද්දී ටිකක් ලොකු බර චරිතයක් කියලා දැනුණා. ඒ නිසා අභියෝගයක් වුණා. මට දෙමළ සංස්කෘතිය ගැන ලොකූ අවබෝධයක් නැති නිසා මුලදි ඒක අමාරුයි වගේ හිතුණත් දමිළ මලයාලම් චිත්‍රපට බලපු හුරුවත්, චරිතයට තිබූ කැමැත්තත් නිසා චරිතය මට පුළුවන් වුණා.

ප්‍රවීණ අය එක්ක වැඩ කරන්න මට අවස්ථාව ලැබුණා. ඒ අයගෙන් ලොකු සහයෝගයක් ලැබුණා. ප්‍රවීණයන් කියන්නේ ඇත්තෙන්ම රංගන පාසලක් වගේ. සාරාගේ චරිතය ගොඩනගාගන්න දෙමළ භාෂාව හසුරවන්න දර්ශන් ධර්මරාජ් මහත්මාගෙන් ලැබුණේ ලොකු සහයෝගයක්. මට ගුරුහරුකම් දුන් ප්‍රවීණ ශිල්පීන්ට ස්තුති වන්ත වනවා නවකයෙක් විදියට ඒ ලබාදුන්න සහයෝගයට.

මම උපාධිය හදාරන්නේ නර්තන විෂයට සමගාමීව. අධ්‍යාපන කටයුතු කරන්නේ නර්තනයත් එක්ක. මේ වෙද්දී මම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නවා. ඊට අමතරව නීති විෂය ඉගෙන ගන්නවා. අප්පච්චි නම් මුල ඉඳන් මම කලා විෂයන් හදාරනවට කැමති වුණේ නැහැ. ඒත් මගේ අම්මාගෙන් ලොකු සහයෝගයක් තිබ්බා. දැන් නම් කරන වැඩ කටයුතු එක්ක හැමෝගෙන්ම සහයෝගය ලැබෙනවා.

චරිතයක් භාර ගනිද්දී මුලින්ම බලන්නෙ මගේ වයස අත්දැකීම් එක්ක ඒ චරිතේ කරන්න පුළුවන් ද ඒක ගැන මට අවබෝධයක් තියෙනවද කියලා, ඊට පස්සේ ඒකට මගේ බාහිර ස්වරූපය කොහොමද වෙනස් කරගන්නේ කියලා බලනවා.

සිනමාවට නම් තවම ආරාධනා ලැබිලා නෑ. හොඳ නිර්මාණයකට ආරාධනාවක් ලැබුණොත් භාර ගන්නවා. මේ වෙද්දී අලුත් ටෙලිනාට්‍ය දෙකක වැඩ බාර අරගෙන තියෙනවා. ඒක ඉදිරියට ප්‍රේක්ෂකයන්ට බලාගන්න පුළුවන් වෙයි. හොඳින් විශ්වවිද්‍යාලය. අධ්‍යාපනයයි අනිකුත් අධ්‍යාපන කටයුතුත් නිමා කරලා ඒ සුදුසුකම් සපුරාගන්න ගමන් රංගන කටයුතුත් ඉදිරියට කරන්න තමා බලාපොරොත්තුව.

Comments