
එදා මාව වේදිකාව ළඟ තියාගෙන හිටපු නිවේදකයා අද මගෙ ළඟට ඇවිල්ලා දින වෙන්කර ගන්නවා
ඇය ප්‍රසංග වේදිකා කලාවේ ළාබාලතම ශිල්පිනියයි. නව පරපුරේ ගායන ශිල්පිනියන් අතරේ කාර්යබහුලම ශිල්පිනියක ද වෙයි. විවිධ භාෂා ශෛලීන් තුළින් ප්‍රසංග වේදිකාවේදී ප්‍රේක්ෂකයා පිනවීම නිසා අද වන විට ප්‍රසංග වේදිකා කලාවට නැතුව බැරි ගායන ශිල්පිනියක් බවට පත්වී ඇත. හිරු ස්ටාර් වේදිකාවේ කළ පෙරළියෙන් ප්‍රේක්ෂකයා හඳුනාගත් ඇය කෞශි පෙරේරායි.
“මගේ ජීවිත ගමනේ කම්කටොලු බාධක කියන එක අඩු වැඩි නැතිව තිබුණා. මට අම්මයි, තාත්තයි, අයියලා තුන් දෙනෙකුයි ඉන්නවා. මගේ සංගීත දිවිය ආරම්භ කරන්නේ 6 වසරේ සිටයි. මගේ පාසල් කාලය පාසල් තුනක ගෙවන්න සිදු වුණා. අවසානයට ගියේ බණ්ඩාරගම වෑවල මධ්‍ය මහා විද්‍යාලයටයි.“
කුඩා කාලෙ සිටම සංගීතයට තිබූ දැඩි නැඹුරුතාව නිසා ඇගේ ගමනට යෝධ ශක්තියක් වුණේ මව්පියන් දෙදෙනා ඇරැණාම රුවිනි සන්ධ්‍යා ආචාර්ය තුමියයි. ඇගේ මඟ පෙන්වීම යටතේ කෞශි පාසලේ දීප්තිමත් ශිෂ්‍යාවක් වූවාය. ගායනය, වාදනය හා නර්තනය තුළින් පාසල්, අන්තර් පාසල්, සමස්ත ලංකා ආදී ජයග්‍රහණ රැසක් පාසල කරා ගෙන ඒමට ඈ සමත් වූවාය.
“අනාගතයේ ගායන ශිල්පිනියක් වෙන්න ඕනේ කියලා හිතාගෙන මම මේ ගමන බාධක මැදයි ආවේ. මම අද ඉන්න තැන ගැන සතුටු වෙනවා. පාසල් දිවියේදී සිදු වුණු දේ වෙනත් කාටවත් වෙන්න එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා. සංගීත ප්‍රසංගයක ගීතයක් ගායනා කරන්නට ඉල්ලලා අවස්ථාවක් දෙන්නම් කියලා එන්න කියලා රාත්‍රී 10 යේ ඉඳන් පාන්දර 3 වෙනකම් මම වේදිකාව ළඟ හිටියා. නිවේදක මහත්තයා මා දිහා බල බලා නිවේදනය කරනවා. මට කොයි වෙලේ හරි අවස්ථාවක් දෙයි කියලා. ඒ බලන හැම මොහොතකම මගේ යටි සිත කිව්වා, එන්න එන්නම වෙලාවත් ඉවර වි ගෙන යනවා ප්‍රසංගයත් ඉවර වීගෙන යන ලක්ෂණ පෙන්වනවා. ප්‍රසංගය ඉවර වෙන අන්තිම විනාඩි කීපය මා ළඟට ඇවිත් නිවේදක මහත්තයා කිව්වා ඔය ළමයා තාම පොඩි, ඔයාලට මේ ප්‍රසංග කලාව තේරෙන්නේ නැහැ ඊළඟ සැරේ කොහොමහරි බලමුකෝ මම අවස්ථාවක් දෙන්නම් කියලා. ඔහු ඒ සියල්ලම කළේ බොරුවටයි. මම එදා තරම් අඬපු දවසක් තිබුණේ නෑ තවත්. මගේ අම්මාටයි, තාත්තාටයි හරියට සල්ලි තිබ්බෙ නෑ මට ඇඳුමක්වත් අරන් දෙන්න. ඒත්, සිංදු කියන්න තියෙන ආසාවට මගේ තාත්තා කොහෙන්ද ණයට ඉල්ලගෙන ආව ඇඳුමක් මට දුන්නා. මගේ විතරක් නෙවෙයි අම්මගෙයි තාත්තගෙයි බලාපොරොත්තු එදා ඒ නිවේදකයා වළ දැමුවා. එක පැත්තකින් මම අද සතුටු වෙනවා ඔහු ඒ දේ එදා කරපු එක ගැන. අභියෝගයක් ආවම තමයි ඊට මුහුණ දෙන්නේ. පාසලෙන් සමු අරගෙන ටික කාලයක් ඉන්නකොටයි, හිරු ටී. වී නාළිකාවේ hiru star දෙවැනි වටයේ තරගාවලියට අයදුම්පත් භාර දෙන ලෙස දැන්විමක් ප්‍රචාරණය වුණේ. ඒ දුටු විගස මම අයදුම්පතක් දැම්මා. මට හිරු ස්ටාර් වේදිකාවට පිය මනින්නට අවස්ථාව උදා වුණා.
හිරු ස්ටාර් කියන්නේ ඇත්තටම මගේ ජීවිතේ වෙනස් කරපු වේදිකාව. අවසන් කිහිපදෙනා අතරට එන්නට ලැබීමත් එහි ජයග්‍රහණය නොලැබුණත්, වෘත්තීයමය ගායන ශිල්පිනියක් ලෙස මඟ කියා දෙන්නට වගේම වටිනා අත්දැකීම් හා දැනුම සම්භාරයක් හිරු ස්ටාර් වේදිකාවෙන් තමයි මට ලැබුණේ. මට එදා උදව් කරපු හිරු කාර්ය මණ්ඩලයටත්, හිරු ස්ටාර් නිෂ්පාදක පිරිසටත් මම සුබ පතනවා. ඒ වගේම නිරෝෂා විරාජනී, අමල් පෙරේරා සහ ශෙහාන් මිහිරංග, බිලී ෆනෑන්ඩු යන ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් ආදරෙන් මතක් කරනවා. වෘත්තීමය කලාකරුවකුට අවශ්‍ය හැම දෙයක්ම ගුරු මුෂ්ටියකින් තොරව ලබා දුන්නා. පෙර පුහුණුවීම්වලදී උමාරා සිංහවංශ අපගේ ගමනේ අරමුණ සාර්ථක කර ගැනීමට අවශ්‍ය සියලුම පසුබිම සකසා ගන්නා ආකාරය කියා දුන්නා. ඒ තුළින් මට අද මගේ ගමන යන්න පුළුවන් වෙලා තියෙනවා. ඉන්පස්සෙ මට හිරු ටී. වී නාළිකාවේ විකාශය වන ටෙලිනාට්‍ය සඳහාත් පසුබිම් ගායනයට අවස්ථාව ලැබුණා. මේ හේතුව නිසා හිරු ස්ටාර් වේදිකාව මට කිසි දිනෙක අමතක කළ නොහැකි තැනට පත්වෙලා.“
ප්‍රසංග වේදිකාව ගැන කතා කළොත්, පසුගිය මාස කිහිපය තුළම ප්‍රසංග වේදිකාවේ කාර්යබහුලම ළාබාලම ගායන ශිල්පිනිය වෙන්න මට අවස්ථාව ලැබුණා. ඒක මගේ ජීවිතේ අමතක නොවන සංධිස්ථානයක්. මාව විශ්වාස කරලා ප්‍රසංග ලබා දුන්නු සංවිධායකවරු නිවේදක මහතුන් ඇතුළු සියලු දෙනාට ස්තූතිවන්ත වෙනවා. මගේම කියල අලුත් නිර්මාණ දෙකක් එළි දක්වන්නට අවස්ථාව ලැබුණා. “ආදරය ඇත්ත“ මගේ පළමු ගීතයෙන්, විශාල රසික සමූහයක් මා වටා රොක් වුණා. මගේ දෙවැනි ගීතය ලෙස මම එළිදැක්වූයේ “කවදාක හරි දැනේවි“ කියන ගීතය. මේ ගීත දෙකම පද රචනා කරල, සංගීතවත් කරලා දුන්න සහෝදරයට මම ස්තූතිවන්ත වෙනවා. මගේ ගමනට මට කියලා නිර්මාණ තිබුණේ නෑ. අපේ ප්‍රවීණයන්ගේ ගීත ගායනා කරලා අපේ ගමන් මාර්ගය හදාගන්න දුන්නාට ඒ සියලු දෙනාටම ආවඩා ආයුබෝවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. දැන් මගේ ජීවන වෘත්තිය සංගීතයයි. මේ සියලු දේවල්වලට මට යෝධ ශක්තියක් ලෙස පවුලේ අය සහ මගේ සැමියා උදව් කරනවා. මම හැමදාමත් ආදරේට ආදරය කරපු කෙනෙක්. මේ කලාව තුළ ආදරයට අත වනන පිරිස ගොඩක් වැඩියි. සමහරු මට ආදර යෝජනා ගේන්නේ මං විවාහක නෑ කියලා හිතාගෙනයි. මගේ ජීවිතය මම වඩාත්ම කැමැත්තක් දක්වන්නේ අභියෝග එනවටයි. කුඩා කාලයේ ඉන්ඳම මට අභියෝගවලට තමයි මූණ දෙන්න වුණේ. ඒ වුණත් අභියෝග ආවට මම දැන් කවදාවත් සැලෙන්නේ නැති කෙනෙක්.
මට විශේෂයෙන් දෙයක් කියන්න තියෙනවා, මාව ප්‍රසංගවලට සම්බන්ධ කර ගන්න ඕන කෙනෙකුට මගේ මුහුණු පොත හරහා මාව සම්බන්ධ කරගන්නට පුළුවන්. අද මම ඉන්න තැන ගැන මම සතුටු වෙනවා. මොකද මට ද්වේෂ කරපු සියලු දෙනාම මගේ මිතුරෝ බවට පත්වෙලා. කුඩා කාලයේ පාන්දර 3 වෙනකම් මාව වේදිකාව ළඟ තියාගෙන හිටපු නිවේදකයාට අද මගෙ ළඟට ඇවිල්ලා මගෙන් දින වෙන්කර ගන්න වෙනවා. ඔහු කවදාවත් හිතන්න නැතිව ඇති මම මෙතැනට එයි කියලා. අපි කරන පව් පින් දෙක තුළ අපිට අපේ ගමන යන්න පුළුවන් වෙනවා.
මේ වන විට මම විශාරද විභාගයට සූදානම් වෙනවා. තව අලුත් නිර්මාණ කිහිපයකුත් එළිදක්වන්න හෙමින් වැඩ කටයුතු කරගෙන යනවා. මගේ ජීවිතයේ තව බලාපොරොත්තු දෙක තුනක් තියෙනවා මගේම කියලා ගෙයක් හදාගන්න එකත්. වාහනයක් ගන්නත්. ඒ සියලු දේවල්වලට වැඩිය මම කැප කරන්නේ මගේ වෘත්තිය වෙනුවෙන්. මේ වන විට මගේ රසිකයන් ගොඩක් ඉන්නවා. ඔවුන්ව අමතක කරන්න මට කවදාවත් බැරි වෙනවා. ජීවිතය ගොඩ නඟා ගන්න දේවල් නැති කර ගන්න හොඳ නෑ කියන එක තමයි මම හැමෝටම කියන්නේ. ටෙලිනාට්‍ය කලාවේ ඉන්න අධ්‍යක්ෂවරු, නිෂ්පාදකවරු මට රඟපාන්න කතා කරනවා. ඒත් මගේ වෘත්තීය ගායනයයි. ඒ දේ වටහාගෙනයි මගේ ගමන මම යන්නේ. මට ප්‍රවීණයන්ගෙන් ගොඩක් උදව් උපකාර ලැබෙනවා. සමහර අයගෙන් චෝදනා එල්ල වෙනවා. ඒවට බය වුණොත් අපි පරාජය වෙනවා. ඒ නිසා තමන්ම තීරණය කළ යුතුයි, පරාජය බාර ගන්නව ද අභියෝග මැද ජයග්‍රහණය භාරගන්නව ද කියන එක. මම නම් භාර ගන්නෙ ජයග්‍රහණයි. කවදා හරි ශ්‍රී ලංකාවේ සහ ලෝකයේ හොඳ ගායන ශිල්පිනියක් ලෙසට මගේ නම කියැවෙන එකයි මගේ සිහිනය.“