රෑ සිහිනෙ දිගු වෙන්න මං පතනවා.... | සිළුමිණ

රෑ සිහිනෙ දිගු වෙන්න මං පතනවා....

ඇය අවිවාහකයි. ඒ වගේම ඇය ආදරේ කරන කෙනා විවාහකයි. ඒ දෙන්න අතරෙ සම්බන්ධතාවයක් තිබුණත් එය බොහෝ දිග දුර ගිය සම්බන්ධයක් නොවෙයි.

 

හැම රෑම සිහිනයෙක ඔබ දකිනවා

මුළු රෑම සිහිනයෙන් නුඹ විඳිනවා

ඔබ නමින් හද තාම ඉකි බිඳිනවා

සිහිනයෙන් මා නුඹගෙ නෙතු සිඹිනවා...

 

හඳ තාම රෑ අහස හැඩ කරනවා

තරු රෑන පුර හඳට පෙම් බදිනවා..

මම තාම හිනැහෙන්න වෙර දරනවා

නුඹ ගාව මගෙ හීන ඉකි බිඳිනවා....

 

පෙරදාක බැඳි මතක සිත දවනවා

ඔය දෑස යට තාම මං නිදනවා

නුඹ තාම දැකගන්න නෙතු හඬනවා

රෑ සිහිනෙ දිගු වෙන්න මං පතනවා....

 

ගායනය - සුභානි හර්ෂණී මුතුකුමාරණ

පදරචනය - සංජා කල්පනී ගුණවර්ධන

සංගීතය - විමල් දයානන්ද

 

ආදරය මහ පුදුමය. ජාති ආගම් කුලභේද, වයස් භේද ආදි දහසක් දේ ඇති නැති ආදර කතා අප අතර අනන්තය. සිත් බැදෙන්නේ ඒ කිසිවක් සොයා බලා නොවේ. ආදරයට ආදරය කරන්නට ඕනෑම අයෙකුට පුළුවන. එවන් අත්දැකීමක් පාදක කර ගනිමින් නව පරපුරේ ගී පද රචිකාවියක වන සංජා කල්පනී ගුණවර්ධන විසින් ලියූ ගීයකි මේ. වෘත්තියෙන් ගුරුවරියක වන ඇය කවිය, ගීතය කෙරෙහි විශේෂ උනන්දුවක් දක්වන්නීය. සංජා විසින් ලියක ලද මේ ගීතය ගයන්නේ සුභානි හර්ෂණී මුතුකුමාරණය. ගීතය සංගීතවත් කර ඇත්තේ ප්‍රවීණ සංගීතවේදී විමල් දයානන්දයන් විසිනි.

 

සෑම ආදර බැඳීමක්ම විවාහයෙන් කෙළවර නොවේ.

ආදරය විවාහයට බාධාවක් නොවුණද හැම ආදරයක්ම අවසන් වන්නේ විවාහයෙන්ම නොවේ. හිත ගියතැන මාලිගා තනන්නන් අතර මේ ද එක් අයෙක් යැයි සිතේ.

“පෙරදාක බැඳි මතක සිත දවනවා

ඔය දෑස යට තාම මං නිදනවා

නුඹ තාම දැකගන්න නෙතු හඬනවා

රෑ සිහිනෙ දිගු වෙන්න මං පතනවා....“

ඔහු වෙනුවෙන් හද ඇති පෙම මෙතෙකැයි කිව නොහැකි ඇය රෑ සිහිනයෙන් දකින්නේ ද ඔහුම ය. හමු වීමක් හෝ එක් වීමක් ගැන කිව නොහැකි වුවද ඔහුට පෙම්බඳින ඈ දෑස යදින්නේ කොයි මොහොතේ හෝ ඔහු රුව දැක ගන්නටය. ඒ සිහිනයෙන් වුව කමක් නැත. ඒ ආදරවන්තයන්ගේ ආදරවන්තියන්ගේ හැටිය.

“හැම රෑම සිහිනයෙක ඔබ දකිනවා...“ ගීතයේ පද ගැන අදහස් දක්වමින් ගී පද රචිකා සංජා කල්පනී පවසන්නේ ඇයට පාදක වූ අත්දැකීම ගැනය.

“මේ ගීතය ලියන්න හේතුව මගේ යාළුවෙක්ගෙ සිදුවීමක්.

ඇය අවිවාහකයි. ඒ වගේම ඇය ආදරේ කරන කෙනත් විවාහකයි. ඒ දෙන්න අතරෙ සම්බන්ධතාවයක් තිබුණත් එය බොහෝ දුර දිග ගිය සම්බන්ධයක් නොවෙයි. ඇය මා හා පැවැසු විදිහට ඔහු ගොඩක් හොඳ කෙනෙක්. ඒත් ආදරේ කියන දේ ඇතිවෙන්න තැනක් නොතැනක් නෑනේ. ආදරේ හිතින් විඳිමින් ඈ දුක් විදිනවා. ඔහු විවාහකයි. ඔහු තමන්ගෙ ජීවිතේ විඳින කෙනෙක්. නමුත් ඇය තනිකඩයි. ඇය ඔහුව හදවතින් විඳිමින් ජීවිතේ විඳවනවා. මගෙ යෙහෙළිය කියන්නේ, හැමදාකම ඔහුව හීනෙන් පේනවලු. තමන්ට අයිති නැති බව දැන දැනත්, ළං වෙන්න බැරි බව දැන දැනත් ඇය ඔහුට පෙම්බඳිනවා. ඒක හරිම බොළඳ ප්‍රේමයක් නේද කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඒ වුණත් මගේ යෙහෙළිය ඔහු ගැන සිතමින් සිත රිඳවා ගනිමින්, විටෙක සිත සනසා ගනිමින් ජීවිතේ ගෙවනවා. ඇය මේ වගක් ඔහුට දැනෙන්න දෙන්නෙත් නැහැ. මට ඇය ඒ ආදරය ගැන කිව්වාම හරි දුකක් දැනුණා. ඇයට එහෙම කරන්න එපා කියලා තේරුමක් නැහැ. ඇය ඔහුට දක්වන ආදරය මහ පුදුම එකක්. පුළුවන් තරම් කාලයක් ඔහු ළඟ ඈතින් ඉදීමයි ඇයට අවශ්‍ය. දවසක් අප කතාබහ කරමින් ඉන්න මොහොතක ඇය මා සමඟ ඇගේ හිත ගැන පැවැසුවා. කාලයක් තිස්සේ මේ ප්‍රේමය හිතේ තබාගෙන ඇය ඉන්නවා. ඒ ගැන මගේ හිතේ ඇති වුණේ මේ වගේ අදහසක්. මම ගීතයේ පද සුභානි ට යැව්වා. ඇය බොහෝම කැමැත්තෙන් එය ට කැමැති වුණා.

හැම රෑම සිහිනයෙක ඔබ දකිනවා

මුළු රෑම සිහිනයෙන් නුඹ විඳිනවා

ඔබ නමින් හද තාම ඉකි බිඳිනවා

සිහිනයෙන් මා නුඹගෙ නෙතු සිඹිනවා...

මේක ඒකපාර්ශ්වීය ප්‍රේමයක්. ඒ ප්‍රේමයෙ අවසානයද කොතැන ද කියන්න ඇයට හැඟෙන්නෙත් නැහැ.

 

Comments