මිස් ශ්‍රී ලංකා කිරුළ එක්ක බොහෝ දේ කරන්න පුළුවන් ඒ විශ්වාසය මට තියෙනවා | සිළුමිණ

මිස් ශ්‍රී ලංකා කිරුළ එක්ක බොහෝ දේ කරන්න පුළුවන් ඒ විශ්වාසය මට තියෙනවා

මගේ උපන් ගම කොළඹ. මම පාසල් ගියේ යහපත් එඩේරාගේ කන්‍යාරාමයට. මට ඉන්නේ අම්මයි තාත්තයි මල්ලියි. මට ආදරණීය සැමියකු වගේම පුතුන් දෙදෙනකු සිටිනවා. මම මේ ගත කරන්නේ විවාහ ජිවිතේ 17වැනි වසර.

මෙවර මිසිස් ශ්‍රී ලංකා වර්ල්ඩ් 2022 හි කිරුළු පලඳිනු ලැබුවේ ඌශි පෙරේරායි. ඌශි වසර 17ක් පුරා සාර්ථක පවුල් ජීවිතයක් ගෙනයන සුන්දර කාන්තාවක්. ඉතින් ඇයට හදවතින්ම සුබ පතන ගමන් සිළුමිණ රසඳුන සොඳුරු කතාබහකට ඇයව සම්බන්ධ කර ගත්තා.

 

මිට අවුරුදු දෙකකට කලින් මිසිස් ජූරි දිනපු වෙලාවේ මට චන්දිමාල් කතා කළා. ඒ වෙලාවේ මට හිතුණේ නැහැ ඉදිරිපත් වෙන්න. ඊට පස්සේ ආයේ චන්දිමාල් මිසිස් සිල්වා එක්ක ඇමරිකාවේ වේගාස්වල ඉන්නකොට ඊළඟ එකට ඔයා එන්න කියලා මට කතා කළා. ඊට පස්සේ මම ඒ ගැන හිතුවා. හස්බන්ඩ්ගෙන් ඇහුවා. මගේ යාළුවන්ගෙන් කතා කරලා ඇහුවා මම ආයේ ඇවිත් පරණ තැනට වැටුණොත් මට මේක හැන්ඩ්ල් කරන්න පුළුවන් ද? ලංකාවේ මිනිස්සු ඉන්නේ ප්‍රශ්න ගොඩක. ඒ නිසා අපි ඇවිත් පැජන්ට් කරන එක හරිද? ඒ වගේ දේවල් මම ඇහුවා. හැබැයි ඒ හැමෝම කිව්වේ ලංකාව මේ වගේ වැටිලා තියෙන වෙලාවක අපි හිතනවා ඔයාට ගිහිල්ලා මොකක් හරි කරලා ලංකාව ආයේ ඔසවා තබන්න පුළුවන් වෙයි කියලා. මමත් ඒ බලාපොරොත්තුව ඇතිව තමයි හිතුවේ හරි එහෙනම් උත්සාහ කරලා බලන්නම් කියලා.

මීට පෙර වතාවන්වලට වඩා මෙවර වෙනස් වීමක් තිබ්බා. ඒ අය මාව නොමිනේට් කරා මිසිස් ශ්‍රී ලංකා වර්ල්ඩ් 2022 ට. මට ලොකු වගකීමක් පැවරිලා තියෙනවා. මොකද මෙච්චර ලස්සන සුන්දර කාන්තාවන් ඉන්න රටක මාව පිට රටක ඉඳන් ගෙනැල්ලා මේ ක්‍රවුන් එක දුන්නා කියන්නේම තරගයක් තියලා දිනපු කෙනෙක්ට වඩා වගකීමක් තියෙනවා කියන එක.

මගේ උපන් ගම කොළඹ. මම පාසල් ගියේ යහපත් එඩේරාගේ කන්‍යාරාමයට. මට ඉන්නේ අම්මයි තාත්තයි මල්ලියි. මට ආදරණීය සැමියකු වගේම පුතුන් දෙදෙනකු සිටිනවා. ලොකු පුතාට දැන් අවුරුදු 16ක්. එයාගේ නම රිශේන්. පොඩි පුතා ජෙහාන් එයාට වයස අවුරුදු 8යි. දැන් මම මේ ගත කරන්නේ විවාහ ජිවිතේ 17වෙනි වසර. මගේ මහත්තයා නිලංක. එයා බිස්නස් කරන්නේ. මම මොකක් කරත් මම හරි දෙයක් කරනවා නම් එයා මට සපෝර්ට් කරනවා. එයා තමයි මගේ හැමදේම. කවුරුහරි කෙනෙක් හස්බන්ඩ් කෙනෙක් නම් මෙහෙම වෙන්න ඕනේ කියලා හොයනවා නම් මම හිතනවා මගේ හස්බන්ඩ් ට ඒ හැමදේම තියෙනවා කියලා. එයාව මට මුලින්ම මුණගැහෙන්නේ විවාහ උත්සවයකදී. එතැනදී දැන හඳුනාගෙන පස්සේ අපි ආදරය කරලා විවාහ වුණා.

මගේ විවාහයත් එක්කම මම එංගලන්තේ ජිවත් වෙන්න යන්නේ. ඊට කලින් මම අවුරුදු 10ක් විතර කලා ක්ෂේත්‍රයේ වැඩ කළා. මම පටන් ගත්තේ උඩරට නර්තන ශිල්පිනියක් විදියට කුලසිරි බුදවත්ත සර් එක්ක. විදෙස් රටවල ප්‍රසංගවලටත් මම නර්තනයෙන් දායක වෙලා තියෙනවා. ඊට පස්සේ මම ලතින් ඇමරිකානු බෝල්රූම් නර්තනයට යොමු වුණා. ඒ තුළින් ගොඩක් රටවල්වල‍ සංචාරය කළා. ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් එකේ ගොඩක් ප්‍රසංගවලට මම සහභාගී වුණා. ඊට පස්සේ සේනක ද සිල්වා මාව දැකලා මාව තෝරා ගත්තා ඔහුගේ ‘මොඩ්ලින් ස්කූල්‘ එකට. මේ සියල්ල වෙන්නේ මීට අවුරුදු 25කට විතර උඩදී. එතනින් පුහුණු වෙලා තමයි මම ‘මොඩ්ලින් ෆීල්ඩ්‘ එකට එන්නේ. ඊට පස්සේ මම ලංකාවේ ලොකුම කට්ටිය එක්ක විතරයි වැඩ කළේ. ඒ කාලේ තිබ්බ ප්‍රසංග වලිනුත් තෝරා බේරාගත්ත ඒවාට විතරයි මම වැඩ කළේ. 1998දී මිස් ටීන් ශ්‍රී ලංකා විදියට දින්නේ මම. 2000 දී ස්වර්ණමහල් එකෙන් කරපු මිලේනියම් කියන පැජන්ට් එකේ මම මිස් වර්කින් ගර්ල් විදියට ජයග්‍රහණය කළා. ඒ දවස් වල වැඩිය මිස් ශ්‍රී ලංකා එහෙම තිබ්බේ නැහැ. මේක තමයි තිබුණු ලොකුම පැජන්ට් එක.

එංගලන්තයට ආව මගේ ගමන් මඟ සම්පුර්ණයෙන්ම වෙනස් වුණා. ‘බියුටිෂියන්‘ කෙනෙක් හැටියට තමයි එහෙ වැඩ කළේ. මට හිතුණා අපි ලංකාවේ ඉන්නකොට හැමතිස්සෙම මේකප් දානවා, කොණ්ඩ හදනවා, නේල් කලර් කරනවා. ඒ නිසා මේ පැත්තෙන් දෙයක් කරන එක මමත් පෞද්ගලිකව සතුටු වෙන දෙයක් නිසා ගොඩක් ඉස්සරහට මේ බියුටිෂියන් පැත්ත ඉගෙන ගත්තේ. මුලින්ම මම ජොබ් එකක් කරලා පොඩියට පටන් ගත්තේ. හැබැයි අද වෙද්දී මම ගොඩක් ඉස්සරහට ඇවිත් තියෙනවා. අවුරුදු 17ක් තිස්සේ මම බියුටිෂියන් පැත්තෙන් දේවල් ඉගෙන ගන්නවා. මේ වෙද්දී මගේම ව්‍යාපාරයක් තියෙනවා. ලන්ඩන් වල තියෙන Marriott Hotel එකේ මට ස්පා එකක් තියෙනවා. එකේ අපේ හෙයාර් සැලෝන් එකක්, තායි මසාජ් එකක් තියෙනවා. එකේ මම කරන්නේ මෙඩිකල් ට්‍රිට්මන්ට්. ලංකාවේ ඒ ට්‍රිට්මන්ට් කරන්නේ ඩොක්ටර්ස්ලා. නමුත් මගේ බිස්නස් එකේ ඒ පැත්ත කරන්නේ මම.

මම මේ 15 වෙනිදා නැවත එංගලන්තයට යනවා. මගේ බිස්නස් එක එහෙ දාලා මෙහෙට වෙලා ඉන්න බැහැ. ඒක පටන් අරගෙන අවුරුද්දක්වත් නැහැ. ඒ නිසා යන්න ඕනේ. චන්දිමාල් තරගයක් තියමුද කියලා අහද්දිත් මම කිව්වේ තරගයක් තියෙනවා නම් මට එන්න වෙන්නේ නැහැ. මොකද මට මාස තුනක් වගේ කාලයක් එකදිගටම ඉන්න බැහැ කියලා. ළමයින්ගේ ඉස්කෝලවල වැඩ තියෙනවා. හොඳ වෙලාවට මේ කාලයේ ඉස්ෙකා්ල නිවාඩු නිසා ආවේ.

දැන් තියෙන්නේ මිසිස් වර්ල්ඩ් 2022 තරගයට ඉදිරිපත් වෙලා රටට කීර්තියක් අරගෙන එන්න. කොහෙවත් හිටපු මාව මේ විදියට තෝරාගෙන ගෙනැල්ලා මට මේ ක්‍රවුන් එක දුන්නේ දෙවියන් වහන්සේ කියලා මම විශ්වාස කරනවා. අපේ රට වෙනුවෙන් අපෙන් ඉටුවියයුතු දේවල් කළා. බෙහෙත් නැත්නම් බෙහෙත් එව්වා. නුවරඑළිය රෝහලට Dialysis මැෂින් එකක අවශ්‍යතාවක් දැන ගත්තම ඒක පරිත්‍යාග කළා. ඒ නිසා ඒ දේවල්වලට ප්‍රසිද්ධිය දුන්නේ නැහැ. මම හිතන් ඉන්නේ එක දෙයකට සිමා නොවී මේ මොහොතේ කළ යුතුම දේ කරන්න. මම හිතනවා දැන් නම් මම කළ යුත්තේ විදේශ විනිමය ලංකාවට ගෙන්න පුළුවන් අවස්ථාවන් සලසා දීම. මම එංගලන්තේ ඉන්න හින්දා පිටරට සල්ලිනෙ ලංකාවට ගේන්නේ. මම එක ප්‍රොජෙක්ට් එකක් දැනටම පටන් ගත්තා Salvation Army එකේ අය වෙනුවෙන්. මගේ එංගලන්තේ ඉන්න යාළුවන්ට කතා කරලා කිව්වා ලංකාවේ මුදලින් මිලියනයක මුදලක් ලබා දෙමු කියලා. තව මගේ chariry වැඩක් තියෙනවා හදගැස්ම කියලා. එකේ පුංචි ළමයින් 41කට දැනට ස්පොන්සර් කරලා තියෙනවා. හැම මාසෙකම ඒ ළමයින්ට අවශ්‍ය කරන මුදල අපි එවනවා. කලින් මම ඒ ප්‍රොජෙක්ට් කරේ නිකම්ම ඌශි පෙරේරා විදියට. ඒ නිසා සමහර අය ආධාර දෙනවා. සමහරු දෙන්නේ නැහැ. අපි chariry වැඩ පටන් ගත්තේ 2018 ඉඳලා. පැජන්ට් එක නිසා පටන් ගත්ත දේවල් නෙවෙයි. නමුත් දැන් මට මේ ලැබුණු මිස් ශ්‍රී ලංකා කිරුළ එක්ක කලින්ට වඩා දෙයක් කරන්න පුළුවන් කියන විශ්වාසය මට තියෙනවා. මම මිසිස් වර්ල්ඩ් ටයිටල් එක දිනලා ආවත් මම පහුවදා ඉඳන් ට්‍රේන් එකේ වැඩට යන්න ඕනේ. ඒ මට මේ කිරුළ නිසා පෞද්ගලිකව ලැබෙන දෙයකට වඩා මට සමාජයට දෙයක් කරන්න ලැබෙන අවස්ථාවක් විදියට මම දකින්නේ.

චන්දිමාල් අවංකව තමන්ගෙ රටට හරිම ආදරෙයි. ඔහුට ඕනේ වෙලා තියෙන්නේ ශ්‍රී ලංකාවට දෙයක් කරන්න. ඔහු මටත් කිව්වේ ඌශි ඔයා එන්න අපිට පුළුවන් වෙයි ලංකාව ඔසවා තබන්න කියලා.

Comments