මට තවම දැනෙන ආදරයක් මුණගැහිලා නැහැ | සිළුමිණ

මට තවම දැනෙන ආදරයක් මුණගැහිලා නැහැ

මට ආදරේ කියන  වචනය කිව්වට වැඩක් නැහැ  මම ඒ ආදරේ දැනෙනකම් ඉන්නවා

2017 වසරේ Siyatha Miss World Sri Lanka කිරුළට හිමිකම් කියූ දුශේනි මියුරංගි ද සිල්වා අද වෙද්දී නිරුපණ ක්ෂේත්‍රය සහ පුංචි තිරය ජයගෙන තිබෙනවා. ඒ වගේම දුශේනි කියන්නේ අපේ රටේ සිටින සුරූපීම නිළියන් අතරින් ඉහළම තැනක සිටින කෙනෙක්. ටික කාලයක් වැඩිය කලා නිර්මාණ වලින් දකින්න නොලැබුණු දුශේනි මේ දිනවල නම් ටෙලි නිර්මාණ කිහිපයකින්ම දකින්න ලැබෙනවා.

 

මේ දවස් වල “පාර දිගේ“ නාට්‍යයේ සහ “වීදුරු මල්“ කියන නාට්‍යයේ රූපගත කිරීම් එක්ක තමයි කාලය ගතවෙන්නේ. කාලෙකට පස්සේ තමයි මම “පාර දිගේ“ නාට්‍යයට සම්බන්ධ වෙන්නේ. එහි බන්ටි සහ සරණිට ලැබෙන ප්‍රතිචාර නම් ඉතාමත් ඉහළයි. කොළඹින් එළියට ගියාට පස්සේ අපිට සමාජයේ මිනිසුන් එක්ක ගැවසෙන්න කාලය ලැබෙනවා. ඒ අවස්ථාවන් වලදී තමයි හරියටම තේරෙන්නේ මිනිසුන් බන්ටිට සරණිට කොච්චර ආදරෙයි ද කියලා. මම හිතන්නේ මම වාසනාවන්ත වුණා ඒ චරිතය මට ලැබෙන්න. ඒ චරිතයෙන් මට ලැබුණු ප්‍රේක්ෂක ආදරය තමයි මට හැමදේටම වඩා වටින්නේ. ඒ තරම් ආදරයක් මට වෙන චරිතයකින් ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා මම ස්තුතිවන්ත වෙනවා සද්ධා මංගල සූරියබණ්ඩාර සර්ට සහ ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහතාට මට ඒ චරිතය ලබා දීම ගැන.

මම ගොඩක් කාර්යබහුල වෙලා ඉන්න කැමති කෙනෙක් නෙවෙයි. ටිකක් පැත්තකට වෙලා ඉන්න කැමති කෙනෙක්. ඒ නිසා කාලයක් නිර්මාණ කිසිවක් භාර ගත්තේ නැහැ. ඔය අතරේ තමයි මට පාරදිගේ නිර්මාණයට ආරාධනා ලැබෙන්නේ. විශේෂයෙන්ම මම ඒකට කැමති වුණෙත් බන්ටි සහ සරණි කියන චරිත දෙක නිසාමයි. හැබැයි මේ තරම් ජනප්‍රියත්වයක් ලැබෙයි කියලා හිතුවේ නැහැ. ඒ වෙද්දීත් මේ අයගේම නාඩගම්කරයෝ නාට්‍යය අතිශය ජනප්‍රිය වෙලා තිබුණු වෙලාවක්. ඒ නිසා අපේ කණ්ඩායමේ කවුරුවත් හිතුවේ නැහැ මේ තරම් ජනප්‍රියත්වයක් ලැබෙයි කියලා. නමුත් අපි කවුරුත් නොහිතපු විදියට ප්‍රේක්ෂකයින් ආදරෙන් වැලඳ ගත්තා. අපේ කණ්ඩායමේ බණ්ඩා, බන්ටි, බානු, ජූඩා,අභි. අපි පස්දෙනාම නාට්‍යයේ පෙන්වන විදියටම තමයි අපි එකිනෙකාට උදව් කර ගනිමින් සින්දු කියමින් සතුටින් ඉන්නේ. අපේ කණ්ඩායමේ ඉන්න මම හැර කොල්ලෝ හතර දෙනා ගැන කිව්වොත් ඒ අය විවිධ වූ කුසලතා වලින් පරිපූර්ණ අය. ඒ නිසා ඒ හතර දෙනාගෙන්ම හතර පැත්තෙන්ම මට සහයෝගය ලැබෙනවා. එකම පවුලේ සහෝදරයෝ වගේ අපි ඉන්නේ.

ඒ වගේම කියන්න ඕනේ විශේෂයෙන්ම රෙහාන් -සරණි කියන චරිත දෙක ආදරෙන් වැලඳ ගත්තා.“

රෙහාන් ගැන මතක් කරපු නිසාම අහන්න හිතුණා, ඒ ආදර කතාවට ඉදිරියේදී මොනවගේ දේවල් වලටද මුහුණ දෙන්න වෙන්නේ, පුංචි හරි ඉඟියක් දෙන්න පුළුවන්ද?

“ඕනෙම ආදර කතාවකට ප්‍රශ්න ඇතිවෙනවනේ. ඒ නිසා මම හිතන්නේ ප්‍රශ්න ඇතිවෙයි. ප්‍රේක්ෂකයා නම් රෙහාන් -සරණි ආදර කතාවට පොඩි හෝ ප්‍රශ්නයක් වෙනවට කැමති නැහැ. එහෙම වුණොත් මෙහි නාට්‍යය රචකයාට බණින තරමට මේ දෙන්නාට ආදරෙයි. හැබැයි නාට්‍ය ලස්සනට හරවත්ව ගලාගෙන යන්න නම් පොඩි පොඩි ගැටීම් තියෙන්න ඕනේ. ඒ දේවල් ප්‍රේක්ෂකයා පොඩ්ඩක් දරාගෙන ඉන්න ඕනේ. අවසානයට කොහොම වෙයි ද කියලා මට ඉඟියක් දෙන්න අමාරුයි. සද්ධා මංගල සූරියබණ්ඩාර කියන රචකයා මම හිතන්නේ ප්‍රේක්ෂකයාට ආස හිතෙන අවසානයක් ලබා දෙයි“

දුශේනිගේ කතාවට පොඩි බාධාවක් කරන්න හිතුවා, දුශේනි දිගටම කියන්නේ රෙහාන් -සරණි ආදර කතාව ගැනනේ, අපි දකිනවා සරණිට වඩා වයසින් වැඩි වුණත් සරණිට දැනෙන ආදරයක් රෙහාන් ගාව තියෙනවා. ඒ පාර දිගේ කතාවට. මේ වෙද්දී පෞද්ගලික ජිවිතේ දුශේනිට එහෙම දැනෙන ආදරයක් මුණගැහිලා ද?

“මම කැමති ඇත්තටම ඒ රැකවරණයට ආදරේට. විශේෂයෙන්ම ආදරේ කියන දේ අපිට දැනෙන්න ඕනේ. ඒක වචන වලින් කියන්න ඕනේ දෙයක් නෙවෙයි. දැන් ඔය රෙහාන් -සරණි කියන තැනදී සරණි කියන්නේ හැමතිස්සෙම රෙහාන්ගෙන් අහනවා ඔයා මට ආදරෙයි ද කියලා. ඒත් රෙහාන් ඒක කියන්නේ නැහැ. නමුත් රෙහාන් කරන දේවල් වලින් සහ එයා රැකවරණය සපයන දේවල් වලින් එයා ආදරෙයි කියන එක හොඳටම ප්‍රේක්ෂකයාට තේරෙනවා සහ සරණිට දැනෙනවා. මමත් හරි කැමතියි වැඩිය වචනයෙන් කියන්නේ නැතුව ක්‍රියාවෙන් දනවන අයට. මම වයස් පරතරය ගැන කතා කරන්නේ නැහැ. ආදරේට වයස් පරතරයක් නැහැ. තවම මට ඒ වගේ දැනෙන ආදරයක් මුණගැහිලා නැහැ. මේ කාලේ වැඩියෙන්ම ඉන්නේ ආදරේ කියන එක වචනයට පමණක් සිමා වෙලා කියන අය. එහෙම නැතුව ආදරේ කියන එක දනවන අය නෙවෙයි. ඒ නිසා මට ආදරේ කියන වචනය කිව්වට වැඩක් නැහැ මම ඒ ආදරේ දැනෙනකම් ඉන්නවා.“

දුශේනි අපි කතා කරේ පුංචි තිරය ගැන. මතක් කළොත් සිනමාවේ මේ වෙද්දී ලැබුණු අවස්ථා සහ සිනමාව ගැන ඔබේ තියෙන දැක්ම ගැන.

“සිනමාව කියන්නේ මගේ සහ මගේ පියාගේ පොඩි බලාපොරොත්තුවක්. ඒක ඉෂ්ට වෙයි කියලා මම විශ්වාස කරනවා. මේ වෙද්දී මට අවස්ථාව ලැබුණා සෝමරත්න දිසානායක මහතාගේ සහ රේණුකා බාලසූරිය මහත්මියගේ නවතම සිනමා නිර්මාණය වන සිංහබාහු චිත්‍රපටයේ සිංහසීවලීගේ චරිතයට. මේ වෙලාවේ අපේ චිත්‍රපටයේම රූපගත කිරීම් අවසන් වෙලා යන අතරතුර අනතුරට ලක්වෙලා ඉන්නේ අපේ ජැක්සන් ඇන්තනි මහතා. ඒක හරිම ඛේදනීය අවස්ථාවක්. අපිටත් හිතේ සතුටින් කිසිම දෙයක් කරන්න පුළුවන් වෙලාවක් නෙවෙයි. මොකද ඔහු මගේ පියාගේ චරිතය රඟපෑවේ. මම හරිම ආසාවෙන් හිටියේ ජැක්සන් ඇන්තනි මහතා සමඟ තිරය බෙදා ගන්න. ඉතින් නුදුරේම ජැක්සන් සර් එක්කම ඒ චරිතය කරන්න පුළුවන් වෙයි කියලා විශ්වාසයෙන් ඉන්නවා. මේ වෙද්දී තව සිනමා නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබුණා. ඒවා තව ටික කාලයකින් පටන් ගන්න නියමිත නිර්මාණ.

මේ වෙලාවේ ප්‍රේක්ෂකයා මට කැමතියි. ඒ නිසා ඒ දැනෙන ආදරය ධනාත්මක ආදරයක් කියලා මට දැනෙනවා. ඒ නිසාම වෙන්න ඇති අධ්‍යක්ෂකවරුන් මාව තෝරා ගන්නේ චරිත සඳහා. මම හිතනවා හැමදේකටම කාලයක් තියෙනවා. ප්‍රේක්ෂකයා මට ආදරේ කරනකම් මම කලාවේ රැඳී ඉඳියි.

මම ලංකාවේ කලා නිර්මාණ වලින් ඈත් වෙලා හිටිය කාලයේ මම හිටියේ ඉන්දියාවේ. ආයෙමත් එහෙ යන්න අදහසක් තියෙනවා. මොකද මම දෙයක් පටන් ගත්තොත් එහි අවසානයක් දකිනකම් අතහරින්නේ නැහැ. මේ කාලේ මම ටෙලි නාට්‍යය එක්ක කාර්යබහුල වෙලා නිසා ඉන්දියාවේ යා ගන්න වෙලාවක් නැහැ. නමුත් අනිවාර්යෙන්ම ඒ වැඩ ටික අවසන් කරන්න ඉන්දියාවේ යනවා.

මම හිතනවා මම හරි වාසනාවන්තයි කියලා. මොකද ජනප්‍රියත්වය කියන්නේ ජනයාට ප්‍රිය විම. මම ඒකට හරි ආසයි. “දුශේනි ට අපි හරි ආදරෙයි“ කියන එක ප්‍රේක්ෂකයින්ගෙන් ලැබෙන එක මට හරි වටිනවා. මම ලංකාවේ ඉඳගෙන මේ වැඩ කරන්නේ මාව ප්‍රේක්ෂකයින් ඉල්ලන නිසා. ඒ ප්‍රේක්ෂකයින්ට මම හැමදාම ස්තුතිවන්ත වෙනවා. මම පොරොන්දු වෙනවා ඒ ප්‍රේක්ෂක ආදරේට හානියක් නොවන චරිත තුළින් හැමදාම ඔවුන් ළඟට එන බවට.

 

Comments