ජනප්‍රිය ද නැද්ද එක මට අදාළ නෑ මම හිතනවා මම සාර්ථකයි කියලා | Page 4 | සිළුමිණ

ජනප්‍රිය ද නැද්ද එක මට අදාළ නෑ මම හිතනවා මම සාර්ථකයි කියලා

මාව පිළිගන්නවද නැද්ද මට රසික පිරිසක් ඉන්නවද නැද්ද කියලා දෙවනුව හිතන කාරණාවක් මම. නමුත් දැන් වෙනකොට දකින්න තියෙන දෙයක් තමයි. ඒ කරපු වෙනසට රසික රසිකාවියන් පිරිසක් ඉන්නවා කියන එක.

සම්ප්‍රදායෙන් ඔබ්බට ගොස් ඇයටම ආවේණික සංගීත භාවිතයක් ගොඩනගා ගැනීමට සමත් ඇය ඉන්දිකා උපමාලි නම් වන්නිය. දීර්ඝ කාලයක් තිස්සේ ක්ෂේත්‍රය තුළ රැදී සිටින ඇය අත්දැකීමෙන් පරිපූර්ණය.‍ උගත් ශිල්පය තවත් පරපුරකට බෙදා දෙමින් කලාවේ දිගු ගමනක් යන ඈ ගැනය මේ සටහන.

මේ දවස්වල තොරතුරු මොනවද ?

පහුගිය දවස්වල ලංකාවෙ හිටියෙ නැහැ. ප්‍රසංග කිහිපයකට ඕස්ට්‍රේලියා ගිහින් හිටියා. මේ ගමන සංවිධානය කළේ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි සිංහල සංස්කෘතික හමුව. එහිදි ළමයින්ට ගායනය සහ ප්‍රාසාංගික කලාව පුහුණු කළා. ඊට අමතරව ශ්‍රී ලාංකිකයන් සමඟ රසවින්ඳන වැඩමුළු කිහිපයක් පැවැත්වුවා. කොහොම නමුත් මේ ගමනින් පසුව මම දැන් ටිකක් කාර්යබහුලයි. ඒ විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කටයුතු සහ මගේ PHD කටයුතු ටිකක් තියෙනවා.

අලුත් ගීතයට ලැබෙන ප්‍රතිචාර හොඳයිද ?

ගීතය සිහින මල්. එහි පද රචනය සුදේශ් ජයන්ත. සංගීතය චාමර හපන්ගම. මේ ගීතය සඳහා හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

ඔබ විශ්වවිද්‍යාල ආචාර්යවරියක්

පූර්ණකාලීන සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයෙ සේවය කරනවා. ව්‍යවහාරික සංගීතය හා අධ්‍යයන අංශයෙ. ව්‍යවහාරික ගායනය සම්බන්ධයෙන් මම කරන්නෙ. ඒකට අමතරව මගේ ඇකඩමිය Sound Academy. මගේ ඇකඩමි එකේ විෂය නිර්දේශයක් තියෙනවා. ඒ විෂය නිර්දේශය ගොඩක් වෙලාවට අවුරුද්දෙන් අවුරුද්ද වෙනස් වෙනවා. ලෝකෙ තියෙන අනෙකුත් ප්‍රාසාංගික කලා පාසල්වල තියෙන නොයෙක් විෂය නිර්දේශයන් හා නොයෙකුත් ඉගැන්වීම් ක්‍රමවේද අනුගමනය කරනවා මගේ පාසල ඇතුළෙ. විශේෂයෙන් ඔවුන්ට ගායනය ප්‍රාසාංගික කලාව විතරක් නෙමෙයි. මන් හිතන්නෙ පළවෙනිම කාරණය වෙන්නෙ පරිපූර්ණ මනුස්සයෙක් වෙන්න ඉගෙන ගන්න ඕනෙ. අනිත් අයව දරා ගන්නට හැකි සංවේදී පුද්ගලයෙක් බිහිකර ගැනීම කියන එක. ඒකට සංගීතයෙන් දෙන්න පුළුවන් රුකුල. සාහිත්‍ය, නාට්‍ය, සිනමාව සංගීතය එක්ක සම්බන්ධ වෙන්නෙ කොහොමද කියන එක. ගීත නිර්මාණය, තනු නිර්මාණය ඒ සියල්ල සංගීතයේ අඩිතාලමේ ඉදලා ඉගැන්වෙනවා.

වර්තමාන සංගීත ක්ෂේත්‍රයේ ගමන්මඟ ගැන ඔබේ අදහස ?

වර්තමානය නෙමෙයි. වර්තමනයට එනතාක්කල් ගමනේ එනකොට විෂය පමණක් භාවිතා කිරීම හා අනෙකුත් සංගීත ප්‍රකාශනයන් හා ප්‍රකරණයන් නැතිනම් සංගීත ෂානරයන් නොතිබීමේ අඩුව ඉතාම තදින් දැනෙන්න පටන් අරන් තියෙනවා දැන් කියලා මම කියනවා. ඒ කියන්නෙ මම පහුගිය කාලෙත් අරගල භූමියෙ පවා දැක්ක දෙයක් තමයි කලාවේ භාවිතාවේ තියෙන, තිබුණ, පැවතීගෙන ආපු හා දැනට පවතින කලා භාවිතාවන්ගේ තියෙන දුර්වලතාවයන් නිසා අරගලය පවා එක තැනකට ගෙනල්ලා මිනිස්සු වෙනසක් ඉල්ලා සිටින මොහොත වෙනකොට කලා භාවිතයන් ඇතුළෙ ඒ උදවියට දෙන්න වෙනසක් තිබුණේ නෑ. එතන්ට කලාව විසින් සහ අපේ රටේ සංගීතය විසින් ඒ හිඩැස පුරවගෙන තිබුණෙ නෑ. ඉතින් මිනිස්සු ඇවිල්ලා අවසාන මොහොතේ අපිට අලුත් ලෝකයක් දෙන්න, අපේ දරුවන්ට අලුත් ලෝකයක් දෙන්න කියලා ඉල්ලනකොට කලා භාවිතාවන්ගේ අලුත් දෙයක් දෙන්න තිබ්බෙ නෑ. එහෙම අලුත් අදහසක් දෙන්න පුළුවන් වුණා නම් මන් හිතනවා ඉදිරියෙදිත් මීට වඩා ලස්සන තැනකට රට ගෙනියන්න පුළුවන් වෙනවා. මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කරන්න පුළුවන් ප්‍රධාන tool එකක් විදියට මම කැමතී කියන්න අපි කලාකරුවන් විදියට මහ පාරවල් ගානෙ කෑ ගහගහ යන්න වෙන වෙලාවල් තියෙනවා. නමුත් ඊට වඩා ප්‍රබලයි කියලා මම හිතනවා කලාකරුවාගේ අවිය වෙන්න ඕනෙ කලා භාවිතය කියන එක. ඉතින් මෙතනදී අපිට ඒ tool එක භාවිතා කරන්න පුළුවන් වුණා නම් මන් හිතනවා මිනිස්සුන්ව වෙනස් කරන්න පුළුවන් ඉතා හොඳ ප්‍රභල අවියක් කියන එක. මේක දැනට වෙලා තියෙන්නෙ සරල ගීත ඇතුළෙ විතරයි. ඒක ඇතුළෙ විතරක් මදි.

ඔය කියන වෙනස ඔබ විසින් ඇතිකරගෙනද තියෙන්නෙ ?

මම හිතන්නෙ මම දිගින් දිගටම කරනවා. මම හිතන්නෙ මෙච්චරයි. මට පැවැත්මක් හදා ගන්න කියලා මට පවතින දේ කරන්න අවශ්‍ය කෙනෙක් නෙමෙයි. මම හැමදාම ඉදිරිය ගැන කල්පනා කරලා ලෝකයේ අනෙකුත් සංගීත සම්ප්‍රදායන් ගැන කල්පනා කරලා අත්හදා බැලීම් කරන්න විවිධ වෙන්සකම් කරන්න කැමති කෙනෙක්. මන් ඉතින් ඒ දේවල් කරගෙන යනවා. ඒක මගේ තෘප්තිය සඳහා. මාව පිළිගන්නවද නැද්ද මට රසික පිරිසක් ඉන්නවද නැද්ද කියලා දෙවනුව හිතන කාරණාවක් මම. නමුත් දැන් වෙනකොට දකින්න තියෙන දෙයක් තමයි. ඒ කරපු වෙනසට රසික රසිකාවියන් පිරිසක් ඉන්නවා කියන එක. 2009 දී හුදෙකලාවම මම පටන් ගන්නවා ඇකඩමි එකක්. ඒවා සාර්ථකව කරගෙන යනවා දැනටත්. ඒ අතර මම වෙනත් වෙනත් ශෛලීන් ඔස්සේ යමින් ගීත නිර්මාණය කරනවා. ඒ ගීත පිළි අරන් තියෙනවා. තරුණ පරපරාව ඒ ගීත වැලඳ ගනිමින් ඉන්නවා. මන් හිතනවා මගේ ගීතයක් මම ගායනා කරනවට වඩා මේ රටේ අනිත් පිරිස ගායනය කරනවා නම් එතන තමයි මගේ සාර්ථකත්වය තියෙන්නෙ. ඒක තමයි මාව වැලඳ ගත්තා වෙන්නෙ. මම ඔපෙරා ශෛලියෙ තාල ගීත ගායනා කරන කොට ඒවා මේ රටේ ප්‍රේක්ෂකයින් හා ඊළඟ පරම්පරාව ඒවා වැලඳ ගන්නවා කියන්නෙ ඒකට ඉඩක් තියෙනවා කියන එක. ඉතින් ඒ ලකුණ දැනටත් තියලා ඉවරයි. ඒක ගැන සතුටක් තියෙනවා. ඉදිරියෙදි මන් හිතන්නෙ මට හිතෙන දේවල් මන් කරන්නෙ. මම හිතනවා ඕනම කලාකරුවෙක් වුණාම තමන් තමන් වෙන්න පුළුවන් නම් ඒ වෙනුවෙන් ඕනෑම මොහොතක පෙනී හිටිනවානම් ඒක පිළිගනියි මිනිස්සු. මට අදාළ නෑ මාව මිනිස්සු කොතනද තියන්නෙ කියන එක. මම ජනප්‍රිය ද නැද්ද ඒ කිසි දෙයක් මට අදාළ නෑ. මම හිතනවා මම සාර්ථකයි කියලා.

ඔබේ රසිකයන්ට කියන්න දෙයක් තියෙනවද ?

මම මගේ දරුවට වගේම රටේ ඉන්න අනිත් දැරුවන්ටත් ආදරෙයි. මන් හැමතිස්සෙම හිතන දෙයක් තියෙනවා. බුද්ධ දේශනාවෙ තියෙනවානේ මවක් තම එකම දරුවා පණ සේ රකින්නෙ කොයි වගේද ඒ වගේ සියලු සත්වයන් කෙරේ මෛත්‍රී ඇති වෙන්න ඕනෙ කියලා. මන් හිතනවා මේ රටේ දේශපාලකයන්ටද, ඔවුන් පස්සෙ යන මිනිස්සුන්ට ඒ හැමෝටම දරුවො ඇතිනෙ. දැරුවො ඇති නැති සියලුම දෙනාට තමන්ගෙ දරුවා ගැන හිතන විදියට අනෙක් දරුවො ගැනත් හිතනවා නම් මේ රට, අවංකවම ඒගොල්ලන්ට එහෙම හිතුවානම් මේ වගේ තත්වයකට රට පත්වෙනෙ නෑ කියලා. ඉතින් ඒ වගේ ආදරයක් මෛත්‍රීයක් මේ රටේ මිනිස්සුන්ට, දරුවන්ට සතාසිව්පාවුන්ට පවා මට තියෙනවා. අනිත් අයටත් එහෙම හැගීම් පහළ වේවා කියා ප්‍රාර්ථනය කරනවා.

 

 

Comments