
මෙවර පද ඇඳි සිත්තම් සඳහා අප තෝරා ගත්තේ වෙනස්ම ගීතයක්. කිහිප වරක්ම යූ ටියුබයෙන් අසා තිබූ “කොම්පඤ්ඤ වීදියේ අපෙ පරංගි වාඩියේ“ ගීතය ගැන රසමුසු තොරතුරු සොයන විට ඒ ගැන අසන්නට ලැබූණේ මෙවන් තොරතුරක්. නැසීගිය බයිලා ගායන ශිල්පී ඩෙස්මන්ද සිල්වා ගයන මේ සුමියුරු ගීතය ලියන්නේ රසබර ගී රැසක් ලියා තිබෙන තරින්ද ගුණවර්ධන. ගීතය සංගීතවත් කරන්නේ ප්‍රවීණ සංගීතවේදී දර්ශන වික්‍රමතුංග ය.
1944 ජූලි මස 13 දා උපන් ඩෙස්මන් ද සිල්වා බාල වියේ සිටම ගී ගැයිමට හුරු වූ අයෙකි. සිය පවුලේ අය සමඟ එක්වී විනෝද වීම සඳහා සංගීත කණ්ඩායමක් ද සකස් කරගෙන තිබූණේය. ඔහුගේ ගී ගැයීම ඇරඹෙන්නේ එතැනිනි.
නමුදු පසුකාලීනව ගායකයකු ලෙසින් කලඑළි බසින්නේ 1963 වසරේදීය. එතැන් සිට ඔහු විසින් ගයන ගීත වෙනුවෙන් එදත් අදත් ඔහුට පෙම්බඳින රසික පිරිසක් ද සිටී.
“චූඩ මාණිකේ බලාලා යනවා මේ අපි, යමන් බණ්ඩෝ වෙසක් බලන්න, පොල්කටු හැන්දෙ මිට වගේ, මම්මා නෝ පප්පා නෝ,
කිරිල්ලි රන් කිරිල්ලි, නිල්වන් මුහුදු තීරේ, කැන්ඩි ළමිස්සි, සුමිහිරි පානේ, යන්න රට වටේ ආදි ගී ඔහුගේ ගීත ලැයිතුවේ පෙරමුණ ගෙන ඇති ගීතය.
ඩෙස්මන් විසින් පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ගයන ලද “කොම්පඤ්ඤ වීදියේ.....“ ගීතය ඔහුට වඩා ලාබාල ගී පද රචකයකුගේ පද රචනාවක් වීම විශේෂය. මේ ගීතය ගයන විට ඩෙස්මන්ගේ වයස අවුරුදු හැත්තෑ හතකි.
“පාසල් කාලයේ ඉදලාම ඩෙස්මන් මහත්තයාගේ සින්දු වලට හරි ආසයි. මට මතක විදිහට1980 ගණන්වල මගෙ බාප්පලා කැසට් පටි ගෙනැල්ලා අපේ ගෙදර තියෙන කැසට් රේකෝඩරයට දාලා අහනවා. පොඩි ළමයා වුණාට මමත් ඒ ගීත වලට ආසාවෙන් සවන් දෙනවා. දවසක් බාප්පලා වෙනස්ම ගායකයකුගේ කැසට් පටයක් ගෙනාවා. ඒ ඩෙස්මන් මහත්මයාගේ ගීත. මම විටින් විට ඒ කැසට් පටයට සවන් දුන්නා. ඇත්තටම ඒ ගීත වල තිබුණේ වෙනස්ම රසයක්.
පසුකාලිනව මම ඔස්ට්‍රේලියාවට ආවා. රැකියාව කරන අතරේ විවිධ කලා කටයුතු වලට සම්බන්ධ වුණා. 2021 අවුරුද්දේ කැන්බරාව ඉන්න යාළුවන්ගෙන් වලින් ආරාධනයක් ලැබෙනවා. එහි තිබෙන සංගීත ප්‍රසංගයක නිවේදන කටයුතු සඳහා එන්න කියලා. එදා තමයි මම ජීවිතේ පළවෙනි වතාවට ඩෙස්මන් මහත්මයාව දකින්නේ. ඔහුයි මමයි බොහෝ වේලා කතා කරනවා. ඔහු බොහෝම නිහතමානි කෙනෙක්. අපි වෙන් වෙන්න කලින් මම ඔහුගෙන් ඇහුවා මම ගීතයක් ලියලා දුන්නොත් ගයනවද කියලා. එතුමා බොහෝම කැමැත්තෙන් ඊට ‘ඔව්‘ කිව්වා. දවසක් දෙකක් ගෙවිලා ගියා. දවසක හැන්දෑවේ මට සංගීතවේදී දර්ශන වික්‍රමතුංග කතා කළා. ඔහු මට කිව්වා කපිරිඤ්ඤා වගේ ගීතයක් ලියමු නේද කියලා. මම ඊට කැමැති වුණා. ඒ වන විටත් මම පද හතරක් විතර ලියලා තිබුණා. ඉන් පස්සේ තමයි මම ගීතය සම්පුර්ණයෙන්ම ලියා අවසන් කළේ. ටික දිනකින් දර්ශන ඒ පද පෙළට අගනා මෙලඩියක් සකස් කර දුන්නා. ඉන් ටික දවසකට පස්සේ තමයි ගීතය ගායනා කළේ. ගීතය පටිගත කළේ අග්‍රා ප්‍රේමරත්න ස්ටුඩියෝ එකේ. මගේ පද පේළියේ වචන තිබුණා ඩෙස්මන් මහත්මයාට උච්චාරණය කරන්න අපහසු. ඔහු ඒ බව මට කිව්වා. කිහිප වරක් පුහුණු වී ඔහු නිවැරදි වචනයම ගැයුවා. ප්‍රවීණයෙක් වුණත් එතුමා මා වැනි නවකයකු සමඟ බොහෝම සහයෝගයෙන් කටයුතු කළා. ඒ වගේම ඔහු බොහෝම අවංක හොඳ මනුස්සයෙක්. ඔහුත් සමඟ විනෝදයෙන් අපි ඒ කටයුත්ත කළේ. මේ ගීතය ගයලා කෙටි කලකින් තමයි එතුමා මිය ගියේ. ඒ මේ වසරේ ජනවාරි 22 දා. මගේ පද පෙළට ඩෙස්මන් මහත්මයා උපරිමයෙන්ම සාධාරණය ඉටු කළා. ඒ ගැන මට හරිම සතුටුයි. ඒ වගේම දැන හඳුනාගෙන කෙටි කලකින්ම ඒතුමා අපෙන් සමු ගැනීම ගැන මට බොහෝම කනගාටුයි.“
“කොම්පඤ්ඤ වීදියේ අපෙ පරංගි වාඩියේ“ ගීතයේ පසුබිම් කතාව පිළිබද තරින්ද පැවැසුවේ එසේය.
කොම්පඤ්ඤ වීදියේ අපෙ පරංගි වාඩියේ
ආබෘ අල්මේදා ඩිමෙල් රුබේරූ
පෙරේරා යන්න එපා අද කන්තෝරු
වැලන්තිනා-සිඤ්ඤෝරිනා- ඒ ජේත්තුකාරී
මන් කසාද බඳිනවා ඒ මෝස්තරකාරී
මන් කසාද බඳිනවා ඒ මෝස්තරකාරී...
රතිඤ්ඤා ගහලා සාජ්ජ දාලා
බීර වයින් කල්දේරම් හිස් කරපල්ලා
එයු ෂේ ඇමෝ කැතරිනා
එයු ෂේ ඇමෝ ෆ්‍රැන්සිනා
එයු ෂේ ඇමෝ ජොසපිනා
මං ආදරෙයි මගේ සිඤ්ඤොරීනා...
විසිතුරු මල් ලියකම්
විසුරුණු ගවුම ඇඳන්
යමුද දැං කපිරිඤ්ඤා
බිඟු නද හැම මනකල්
සතුටකි සිත් මන ලොල්
මං ආදරෙයි මගේ සිඤ්ඤොරීනා
මං ආදරෙයි මගේ සිඤ්ඤොරීනා...
මඟ දිග පාර තොටේ
යන විට හැටට හැටේ
හදවත ගැහෙනව නෝනා
සිතුවිලි සතුට දිගේ
පිපියන් කුසුම මගේ
මං ආදරෙයි මගේ සිඤ්ඤොරීනා
මං ආදරෙයි මගේ සිඤ්ඤොරීනා
රතිඤ්ඤා ගහලා සාජ්ජ දාලා
බීර වයින් කල්දේරම් හිස් කරපල්ලා
එයු ෂේ ඇමෝ කැතරිනා
එයු ෂේ ඇමෝ ෆ්‍රැන්සිනා
එයු ෂේ ඇමෝ ජොසපිනා
මං ආදරෙයි මගේ සිඤ්ඤොරීනා
ගායනය - ඩෙස්මන් ද සිල්වා
පද රචන - තරින්ද ගුණවර්ධන
සංගීතය - දර්ශන වික්‍රමතුංග