තායි පාපන්දු ක්‍රීඩකයන් දහතුන් දෙනාගේ ජීවිත බේරාගත් මෙහෙයුම සිනමාවට | සිළුමිණ

තායි පාපන්දු ක්‍රීඩකයන් දහතුන් දෙනාගේ ජීවිත බේරාගත් මෙහෙයුම සිනමාවට

ඇද හැළුණු අධික වර්ෂාව නිසා ගුහාව තුළට වතුර ගැලීමෙන් ඔවුන්ට නැවතත් පිටතට පැමිණීමේ අවකාශයන් සියල්ල අවහිරව ගොස් තිබුණේය.

දෙදහස් දහ අටේ ජුනි 23 වන දින මුළු ලෝකයේම අවධානය යොමුවේ යැයි සිතිය නොහැකි සාමාන්‍ය සිදුවීමක් සිදුවූවේය. එහෙත් දින දෙක, තුනක් ගෙවෙද්දී මුළු ලෝකයේම දෙනෙත් උතුරු තායිලන්තයේ “චියැං රායි“ පළාත වෙත යොමු වන්නට පටන් ගත්තේ නොසිතූ ලෙසය.

 

ඒ, වයස අවුරුදු එකොළහත්, දහසයත් අතර පිරිමි දරුවන් පිරිසකුත්, වැඩිහිටියෙකුත් අතුරුදන්වීමත් සමඟය.

මෙලෙස අතුරුදන් වී තිබුණේ තායිලන්තයේ ‘WILD BOARS‘ නම් පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයින් 12 දෙනෙකු සහ විසිපස් වියැති ඔවුන්ගේ පුහුණුකරුය.

පාපන්දු පුහුණු සැසියකට සහභාගී වීමට ගිය තම දරුවන්, නැවතත් නිවස බලා නොපැමිණීම නිසා, කලබලයට පත් වූ දෙමාපියෝ, ඔවුන් ගැන සොයන්නට පටන් ගත්තේ තම දරුවන්ට සිදුවූයේ කුමක් දැයි දැන ගැනීමටය.

පාපන්දු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ඇමතූ ඔවුන්, තම දරුවන් යළි නිවාස වලට නොපැමිණි බව දැනුම් දුන් නිසා, ඔහු, දරුවන් ගැන සොයන්නට, යුහුසුළුව පටන් ගත්තේය.

පුහුණු සැසියට සහභාගි වූ එක් දරුවෙක් යළි නිවස බලා ගොස් තිබුණු නිසා, ඔහුගෙන් දැන ගැනීමට ලැබුණේ, අනෙක් පිරිස, ‘තාම් ලුආන්ග් නන්ග් නොන්‘ ගුහාවට ඇතුළු වීමට පිටත්ව ගිය බවය.

ඔවුන් සොයා ගිය ප්‍රධාන පුහුණුකරුට දැක ගත හැකි වූයේ ගුහාව අබියස තිබූ ඔවුන්ගේ ගමන් මලු සහ බයිසිකල් පමණය.

ඇද හැළුණු අධික වර්ෂාව නිසා ගුහාව තුළට වතුර ගැලීමෙන් ඔවුන්ට නැවතත් පිටතට පැමිණීමේ අවකාශයන් සියල්ල අවහිරව ගොස් තිබුණේය.

මුළු ලෝකයේම අවධානය තායිලන්තය දෙසට යොමු වූ මෙම සිද්ධියට මුහුණ දුන් දරුවන් 12 දෙනා සහ පුහුණුකරු දැවැන්ත මෙහෙයුමකින් පසුව මුදා ගත්තේ ජූලි 10 වෙනිදාය.

ජාත්‍යන්තර කිමිදුම් කණ්ඩායමක් විසින් මෙම 13 දෙනා බේරා ගැනීමේ භාරදූර කටයුත්ත සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළ අතර, මෙම ගලවා ගැනීමේ ප්‍රයත්නයට, කිමිදුම්කරුවන් 100කට වැඩි පිරිසක්, ගලවා ගැනීමේ නිලධාරින් ඇතුළුව රාජ්‍ය ආයතන 100ක පමණ නිලධාරීන්ද, පොලිස් නිලධාරීන් 900ක්, සොල්දාදුවන් 2000ක් ඇතුළුව 10,000කට වැඩි පිරිසකගේ උපරිම දායකත්වය ලැබී ඇත.

එමෙන්ම පොලිස් හෙලිකොප්ටර් 10ක් සහ ගිලන් රථ 07ක්, කිමිදුම් සිලින්ඩර 700ක් භාවිත කළ බවත් වාර්තා වනවා. එම ගුහාවෙන්, ජලය ලීටර් බිලියනයකට අධික ප්‍රමාණයක් පිටතට පොම්ප කිරීමට සිදු වූ බවත් සඳහන් වනවා.

මෙම ජීවිත දහතුන බේරා ගැනීම වෙනුවෙන් තායි නාවික හමුදාවට ඔවුන්ගේ අති දක්ෂ කිමිදුම් සෙබළු දෙදෙනෙකුගේ ජීවිත පූජා කරන්නට ද සිද්ධ වුණා.

මුළු ලෝකයේම අවධානය යොමු වූ මෙම මෙහෙයුම පාදක කොට ගෙන, නවතම චිත්‍රපටයක් නිර්මාණය වී තිබෙනවා.

“THIRTEEN LIVES“ (ජීවිත දහතුනක්) ලෙස නම් කර ඇති මෙය, ජූලි මස 29 වනදා සිට ඇමෙරිකානු සිනමා ශාලාවල ප්‍රදර්ශනය වීමට නියමිතයි.

විශිෂ්ට සම්මාන ලාභී රොන් හොවාර්ඩ් (RON HOWARD) විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘THIRTEEN LIVE‘ සිනමා පටයේ තිර පිටපත ලියා ඇත්තේ (DON MACPHERSON) දොන් මැක්පීර්සන් සහ විලියම් නිකොල්සන් (WILLIAM NICHOLSON) විසිනි.

ලෝක ප්‍රකට ද ලෝර්ඩ් ඔෆ් ද රිංග්ස් චිත්‍රපටයේ, රඟපෑ ප්‍රවීණ නළු විගෝ මෝර්ටෙන්සෙන්, (VIGGO MORTENSEN) කිංග් ආත්ර් චිත්‍රපටයේ රඟපෑ ජොඉල් ඉඩ්ගර්ටන්, (JOEL EDGERTON), සහ ජනප්‍රිය චිත්‍රපට නළු කොලින් ෆර්රෙල් (COLIN FARRELL) මෙහි ප්‍රධාන චරිත වලට පණ පොවන අතර තායි නළු සුකෝල්ලවට් කනරොට් (SUKOLLAWAT KANAROT) සහ තවත් තායි නළු නිළි පිරිසක් සහ බටහිර නළු නිළි සමූහයක් මෙයට රංගනයෙන් දායක වී ඇත.

මෙම චිත්‍රපටයේ රූගත කිරීම් ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් හී ගෝල්ඩ් කෝස්ට් පිටුපස අභ්‍යන්තර ප්‍රදේශවල සිදු කළ අතර ප්‍රධාන කිමිදුම්කරුගේ භූමිකාව රඟපෑ COLIN FARRELL පවසන්නේ වැඩිපුර වේලාවක් දිය යට රූගත කිරීම්, ඉතා කරදරකාරී, මෙන්ම භයානක තත්ත්වයක් වූ බවයි.

මේ, සියලු අත්දැකීම් සමඟ, දහතුන් දෙනෙකුගේ ජීවිත බේරාගත් ඒ අපූරු මෙහෙහුම පිළිබඳ සිනමාරූපී අත්දැකීමක් ලබන්නට ඔබටත් අවස්ථාව දැන් උදා වී ඇත.

 

Comments