කටහඬින් ඕන කෙනෙක් අදත් මාව අඳුරනවා | සිළුමිණ

කටහඬින් ඕන කෙනෙක් අදත් මාව අඳුරනවා

මම ගුවන්විදුලියට ආලෝකයක් වුණා. ගුවන්විදුලිය මට ආලෝකයක් ලබා දුන්නා

ඇය එක් අංශයක පමණක් නොව අංශ ගණනාවකින් දක්ෂය. ගුවන්විදුලි නිවේදිකාවක්, වේදිකා නාට්‍ය නිළියක්, පමණක් නොව චිත්‍රපට හා ටෙලිනාට්‍ය නිළියක ද වේ.

 

අමරබන්දු රූපසිංහ, බොනිකර තරු හා දිවිතුරා කියන්නේ මේ දවස්වල ජනප්‍රිය ටෙලිනාට්‍ය කිහිපයක්. දශක කිහිපයක් තිස්සේ ක්ෂේ‍ත්‍රයේ විවිධ ඉසව් ඔස්සේ සිය කලා හැකියාවන් පෙන්වන ඇය ගැනය මේ සටහන.

දශක කිහිපයක් පුරා විවිධ චරිත නිරූපණය කරන ඇය ඒ ජීවිතය සිහිකරන්නේ මෙලෙසිනි.

“ඉස්සර මම විවිධ චරිත නිරූපණය කළා. ඇත්තටම ආපහු හැරිලා බලන කොට විශාල සතුටක් තියෙනවා. ඒත් එදාට වඩා අද මේ හැම ක්ෂේත්‍රයක්ම වෙනස්වෙලා. මම දැන් රඟපාන නාට්‍යවල හාස්‍ය තියෙන්නෙ. අමරබන්දු රූපසිංහ එකෙත් මගෙ ඇඳුම, කතාව හරි වෙනස්. කලාකරුවෙකුට ඕනෑම චරිතයක් රඟන්නට පුළුවන් වෙන්න ඕනෙ. හැමදාම මහළු චරිත රංගනයෙ යෙදෙන අතරේ මේ වගේ චරිතයක් ලැබීමත් සතුටුයි. මගේ තවත් හැකියාවක් පෙන්නන්න ලැබුණ හොද අවස්ථාවක්. ඉස්සර ෆේස්බුක් ඕවා තිබ්බෙ නෑනෙ. දැන් යූටියුබ්, ෆේස්බුක් වල ප්‍රතිචාර බැලුවම හරි සතුටක් දැනෙනවා. නරකට රගපාන්න වෙන චරිතයක් නම් ඒවට බැණලා ප්‍රතිචාර තියෙනවා. කියන්නෙ ඒ චරිතේ සාර්ථකව කරලා.

*ඔබ දක්ෂ ගුවන්විදුලි ප්‍රවෘත්ති නිවේදිකාවක් වුණේ කොයි කාලෙද?

මම ගුවන්විදුලියට බැඳුණේ 1980. ඊට කලින් ගුවන්විදුලියේ සරල ගීත, නාට්‍ය, නූර්ති ගී වැඩසටහන්වලට සම්බන්ධ වුණා. 1980 අපිට ප්‍රවෘත්ති නිවේදන ඉදිරිපත් කිරීමේ සම්මුඛ පරික්ෂණ තුනක් තිබුණා. ඒ ඔක්කොගෙන්ම මම ඉහළින්ම සමත්. 1981දී මාව ගුවන්විදුලියට ප්‍රවෘත්ති නිවේදිකාවක් විදියට ස්ථිරව බඳවා ගත්තා. 1981 ඉඳලා 2006 වෙනකන් වැඩ කළා. පස්සෙ අවුරුදු 55න් විශ්‍රාම ගියා. ඉන් පස්සෙත් කොන්ත්‍රාත් පදනමට වැඩ කරන්න ආරාධනා කළා. පස්සෙ මම සහන නිවේදිකාවක් ලෙස වැඩ කළා 2018 වෙනකම්. ප්‍රවෘත්ති නිවේදිකාවක් විදියට මට ලොකු වගකීමක් තිබුණා. දැන් වගේ නෙමෙයි. දැන් ගොඩක් නාලිකා තියෙනවානේ. ඒ කාලේ රූපවාහිනිය තිබුණෙත් නෑ. ගුවන්විදුලිය තමයි එකම ආයතනය. හැමදෙනාගෙම අවධානය තිබුණෙ. රටේ ඕනෑම සිද්ධියකදී, විශේෂ අවස්ථාවක සහ ඕනෑම වෙලාවක රටේ මිනිස්සු ප්‍රවෘත්ති අහන්න සූදානමින් හිටියේ. ඉතින් ඒ අවස්ථාවලදී ජනතාව අතර ලොකු මතකයක් තියන්න පුළුවන් වුණා. ඒ කියවීම ඉදිරිපත් කිරීම මගේ අතින් හොඳින් සිදු වූ නිසා. ඉතින් මම මතක් කරනවා එල්මෝ ප්‍රනාන්දු මහත්තයව. එතුමා තමයි මාව කිසිම ගුරුමුෂ්ටියක් නැතුවම ප්‍රධාන ප්‍රවෘත්ති පිටපත කියවන්නෙ කොහොමද, ශබ්දය උස්පහත් කරන්නෙ කොහොමද, හදිසි අවස්ථාවක කතා කරන්නෙ කොහොමද ඒ ඔක්කොම කොළේ පෙරළන හැටි පවා කියලා දෙමින් මාව එතනට සුදුස්සෙක් බවට පත් කළේ. දියෙස් දයාරත්න මහතාත් වරින් වර මාව පුරුදු පුහුණු කළා. සිරිල් රාජපක්ෂයන් වගේ ප්‍රවීණයන් එක්ක ප්‍රවෘත්ති කියන්න ලැබුණා. මගේ ජීවිතයේ මට ලැබුණ ලොකු භාග්‍යක්. ඕනෑම කෙනෙක් අදටත් දන්නවා මගේ හඬින් කතා කරනකොට මම රම්‍යා වනිගසේකර කියලා කියන්න. මම ගුවන්විදුලියට ආලෝකයක් වුණා. ගුවන්විදුලිය මට ආලෝකයක් ලබා දුන්නා. ඒ වගේම ඒක මගේ ජීවිතයට ලොකු එළියක්. අපි ඔක්කොම එක පවුලක් වගේ එකමුතුව වැඩ කළා. ගුවන්විදුලියේ හදවත විදියට ප්‍රවෘත්ති අංශය තිබුණේ. අත්දැකීම් රාශියක් ලබපු තැනක්.

*මෙතෙක් ආ ගමන්මඟ ගැන ආපස්සට හැරිලා බැලුවොත්?

ඇත්තෙන්ම මම ආවෙ ගායන ක්ෂේත්‍රයට. මට කරන්න බැරි වුණ එකම දේත් ගායනය. ඒක පස්සට ගියා. රංගනය ඉදිරියට ආවෙ. කෙනෙක් විශ්වාස කරන්නෑ මම මෙච්චර කාලයක් ගුවන්විදුලියේ ඉඳලා සිංදුවක් කියා ගන්න බැරි වුණාද කියලා. මම ඒකට වෙලාවක් හදාගත්තෙ නෑ. ඒ ගැන පසුතැවෙනවා. ඒක විතරයි මට තියෙන කනගාටුව. මම ආවේ වේදිකාවට අත්වැල් ගායනයෙන්. එතැනින් චරිත රංගනයට. පස්සෙ ප්‍රධාන චරිත රංගනයට පිවිසුණා. රංජිත් ධර්මකීර්ති මාව ඉස්සෙල්ලම වේදිකාවට ගත්තෙ. හස්තිරාජ මහත්තයා නාට්‍යයෙන්. ඊට පස්සෙ චූලා කාරියවසම්ගේ මනරන්ජන වැඩවර්ජන නාට්‍යයේ ප්‍රධාන චරිතය කළා. ඒ ප්‍රධාන චරිතයට පස්සෙ සමරකෝන්ගේ කැලණි පාලම නාට්‍යයට සම්බන්ධ වුණේ. ඊට පස්සෙ එයාගෙ හැම නාට්‍යකටම වගේ මට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. 1978 ඉඳලා මේ කොරෝනා සහ මේ අවුරුදු දෙක හැරුණම අවුරුදු 42ක් වේදිකාවෙ ප්‍රධාන චරිතයක් රඟ දක්වලා තියෙනවා. මැටිල්ඩා චරිතය. මන් හිතන්නෙ වාර්තාවක් ඒක. සමරකෝන් මහත්තයාගේ නාට්‍ය හැරුණම සහන් රන්වලගෙ වෙලාව කීයද නාට්‍යයේ රඟපෑවා. ධර්මජිත් පුනර්ජීවගේ ලිහිනි නාට්‍යයේ රඟපෑවා. ඒකෙ හොඳම සහය නිළියට රාජ්‍ය සම්මාන ලැබුණා මට. ඉතින් ආපහු හැරිලා බැලුවම වේදිකාවේ ඉතාම හොඳ ගමනක් ගිහින් තියෙනවා. තව චරිත කරන්න ලැබුණ නම් තවත් හොඳයි. ටෙලිනාට්‍ය කලාව ලංකාවට හඳුන්වා දුන්නාට පස්සෙ අපි මුල්ම කණ්ඩායම පළිඟු මැණිකෙ ටෙලිනාට්‍ය මාලාවට ගත්තෙ දම්ම ජාගොඩයන්. අද මට ඉතාම කනගාටුයි. ජැක්සන් ඇන්තනී අපිත් එක්ක ඒ කාලේ අපේ මුල්ම කණ්ඩායමේ හිටියෙ. අද

රෝගාතු‍රව ඉන්නවා. ඔහුට ඉක්මන් සුවය ලැබිලා අපි අතරට එන්න කියලා ප්‍රාර්ථනය කරනවා. වටින මනුෂ්‍යයෙක් කලා ක්ෂේත්‍රයට. ඒ වගේ ටෙලිනාට්‍ය ගනණාවක් කරන්න මට ලැබුණා. මේ හැම නාට්‍යකම මම ප්‍රේක්ෂකයා අතර අමතක නොවන චරිතයක් ලෙස මතකයේ රැඳෙන දේවල් කරලා තියෙනවා කියලා මට කියන්න පුළුවන්. ඒවා ජීවිතයේ ලොකු අත්දැකීම්. මිනිසුන් අතර නොමැකෙන සටහනක් තියා ගන්න පුළුවන් කියන එක හරි සතුටුයි. ආපස්සට හැරිලා බලනකොට මගේ ගතවුණ කාලය ගොඩක් හොඳයි. ඉදිරියත් හොඳයි කියලා හිතෙනවා. සමරකෝන් මහත්තයා නැති වුණාට පස්සෙත් කරමින් හිටපු නාට්‍ය කැලණි පාලම හා අහසින් වැටුණ මිනිස්සු. රටේ අනේකවිධ ප්‍රශ්නත් එක්ක ඒවා නැවතුණා. නමුත් මම එතුමාගේ නාට්‍යවලට අද නිෂ්පාදන දායකත්‍වය දෙන්නෙ මම. ඉතින් ඒකත් මට ලොකු සතුටක්. මන් ආවෙ කොහොමද අද මම ඉන්නෙ කොතනද කියන එක. දූවිලි නාට්‍යත් එළියට එන්න තියෙනකොටම කොරෝනා ආවා.

ආපහු හැරිලා බලද්දි හොඳ ජීවිතයක් ගෙවලා තියෙනවා. හොඳ විවාහ ජීවිතයක් ගත කරලා තියෙනවා. මට දුවෙක් ඉන්නවා. එයාගෙ ජීවිතයත් සතුටින් ගෙවෙනවා. අද වන විට මගේ ජීවිතය සම්පූර්ණයි. මගේ සැමියා ආර්. ආර්. සමරකෝන් දිවියෙන් සමුගෙන. මම තනි වුණත් අද එයා වෙනුවෙන් පින්දහම් කරනවා, ඔහුගේ නිර්මාණයන් ප්‍රේක්ෂකයා අතර ජීවත් කරවීම මගේ එකම බලාපොරොත්තුව. ඒත් එක්කම ආපු ගමන දිහා ආපහු හැරිලා බලනකොට මට ලොකු සතුටක් දැනෙනවා.

Comments