හොර කරන්නෙ නැතුව මාස්ටර්ට හරියට වී ටික දෙන්න නාඩගම්කාරයෝ බලන ප්‍රේක්ෂකයෝ මට බණිනවා | සිළුමිණ

හොර කරන්නෙ නැතුව මාස්ටර්ට හරියට වී ටික දෙන්න නාඩගම්කාරයෝ බලන ප්‍රේක්ෂකයෝ මට බණිනවා

මුලදි නම් මම මේ චරිතයට එතරම් කැමැත්තක් තිබු‍ණේ නැහැ. හේතුව ඒ චරිතය ප්‍රධාන චරිතයක් නොවන නිසා. නමුත් ඒ චරිතය ජනප්‍රිය වුණා මම නොසිතු විදිහට.

 

නාඩගම්කාරයෝ කියන්නෙ මේ වෙද්දි ලංකාවෙ ජනප්‍රියම ටෙලිනාට්‍යයන් අතරින් එකක් කිව්වොත් හරි. ප්‍රේක්ෂක නෙත් සිත් පැහැරගනිමින් දිගහැරුණු නාඩගම්කාරයෝ අමතක නොවන චරිතයක් තමයි පොඩි මුදියන්සෙ කියන්නෙ. දුලාන් හෙට්ටිආරච්චි තමයි මේ විදිහට පොඩි මුදියන්සෙගෙ චරිතයට පණපොවන්නෙ. ඔහු සුන්දර ගාලු පුරවරයේ කොට්ටව නම් ගම් පියසේ ඉපිද ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන් ඉගෙනුම ලබා කොළඹ විශ්ව විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලබන්නේය. මේ වන විට ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ සහ ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලයේ රාජ්‍ය නිලධාරියෙක් ලෙස වෘත්තියෙන් කටයුතු කරන ඔහු විනෝදාංශයක් ලෙස රංගනයේ නිරත වන්නේය.

“කුඩා කාලයේ ඉඳලා මම කලාවට හා මාධ්‍යයට හරිම කැමතියි. ඒ කැමැත්ත නිසා තමයි මම මුල්ම රැකියාව විදිහට ස්වාධීන රූපවාහිනී නාලිකා‍ෙව් වැඩසටහන් සහාය නිෂ්පාදක තනතුර තෝරගන්නේ. ඒත් මම උසස් අධ්‍යාපනය හැදෑරුවෙ වෙනත් විෂය ධාරාවකින්. ඒ සුදුසුකම් එක්ක විවිධ අමාත්‍යාංශවල, විවිධ දෙපාර්තමේන්තුවල උපදේශක තනතුරු දරණවා. පසුව තනාපති සේවයේ නිලධාරියෙක් ලෙස කටයුතු කරන අතරතුර තමයි නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ පොඩි මුදියන්සෙගෙ චරිතය රඟපාන්නට අවස්ථාව ලැබෙන්නේ.

“නාඩගම්කාරයො ටෙලිනාට්‍යයේ පිටපත රචනා කරන සද්දාමංගල සූරියබණ්ඩාර හරි අපූරුවට මේ පොඩි මුදියන්සෙගෙ චරිතය ගෙඩනඟලා තියනවා. ප්‍රේක්ෂකයන්ට රසාස්වාදයක් ලබාදෙනවාත් සමඟම අඳගොවියාගේ දුක, විඳින පාඩුව සමාජගත කිරීම වගේම ඒ ගැන බලධාරීන්ට මතක් කිරීමත් සිදුවෙනවා.

මුලදි නම් මම මේ චරිතයට එතරම් කැමැත්තක් තිබු‍ණේ නැහැ. හේතුව ඒ චරිතය ප්‍රධාන චරිතයක් නොවන නිසා. නමුත් ඒ චරිතය ජනප්‍රිය වුණා මම නොසිතු විදිහට. මඟතොටේදී මට හමුවෙන බොහෝ අය පොඩි මුදියන්සෙ ⁣ ගැන අහන දේවල් වලින් මට තේරුම් ගිය දෙයක් තමයි මේ චරිතය ප්‍රේක්ෂකයෝ අතර ජනප්‍රිය චරිතයක් කියලා. හොර කරන්නෙ නැතුව මාස්ටර්ට හරියට වී ටික දෙන්න කියලා ඇතැම් ප්‍රේක්ෂකයො මට බැණ වැදුණ අවස්ථාද තිබුණා.

කොහොම වුණත් රංගන ශිල්පියෙක් කියන එක අමතක කරලා රසිකයෙක්ගෙ ඇසින් නාට්‍ය දිහා බැලුවොත් මම හිතන්නෙ නාඩගම්කාරයෝ කියන්නෙ මෑත කාලයේ නිර්මාණය වුණ විශිෂ්ට නිර්මාණයක් කියලා. ඒකට හේතුව නම් රාජ්‍යතාන්ත්‍රික නිලධාරියෙක් විදිහට මම ලෝකයේ විවිධ රටවල විවිධ ටෙලිනිර්මාණ නරඹලා තියනවා. ඒ හැම රටකම රූපවාහිනී කතා ඒකාකාරි බවින් මිදිලා එක් එක් පරාසයන් කැටිකරගෙන නිර්මාණ කරලා තියෙන්නෙ.

ප්‍රේක්ෂකයන්ට යම්කිසි පණිවිඩයක් හෝ අවබෝධයක් ලබාදීමද බොහෝ විදෙස් ටෙලිනාට්‍යයවලදි සිදුවන දෙයක්. නමුත් ලංකාවෙ මම දකින්නෙ බොහොමයක් ටෙලිනාට්‍යය බිහිවන්නෙ පවුල කියන සාධකය විතරක් ඉලක්ක කරගෙන හුදු ඉන්දියානු ආකෘතියකට අනුව කියලා. මේ ආකෘතියෙන් මිදිලා විවිධ පරාසයන්ට යමින් ගැමි සුන්දරත්වයද කැටිකරගෙන වෙනස් විදිහට කරපු නිර්මාණයක් විදිහටයි මම නාඩගම්කාරයෝ දකින්නෙ.“

වෘත්තිය නළුවකු නොවන නිසා දුලාන්ට රඟපෑම සඳහා කාලවේලා සොයා ගැනීම මඳක් අපහසුයි. එහෙම වුණත් රඟපෑමටම හිත ඇති ඔහු හෙට දවසේ නිර්මාණ කාර්යය ගැන කියන්නේ මෙහෙම කතාවක්.

“නාඩගම්කාරයො නාට්‍යයේ මගේ රංගන කුසලතා දැකලා මේ වෙද්දි තවත් නිර්මාණකරුවන් කිහිපදෙනෙක්ම ඔවුන්ගේ ටෙලි නිර්මාණවල විවිධ චරිත සඳහා මට ආරාධනය කර තිබෙනවා. නමුත් රැකියාවේ තිබෙන කාර්‍යයබහුලත්වය නිසා මට ඒවාට සම්බන්ධවීමේ අපහසුවක් තියනවා. ඒ කොහොම වුණත් කාලය කළමනාකාරණය කරගෙන හොද නිර්මාණයකට දායක වෙන්න තමයි මම අදහස් කරගෙන ඉන්නේ.

කලා ක්ෂේත්‍රයේ වැඩ කරන්න උනන්දුව මට අැතිවෙලා තියෙන්නෙ කලාවට තිබෙන ආසාව නිසාම ⁣විතරක් නෙමෙයි. අද රටේ තියන අර්බුදකාරී තත්ත්වයත් එක්ක කලා ක්ෂේත්‍රයේ අය පවා රට හැර වෙනත් රටවල පදිංචියට යනවා. මේ ක්ෂේත්‍රයන් සහ රට ගොඩගන්න බැහැ කියලා අපි හැමෝම දාලා ගියොත් තවත් රට අගාධයකට යන එකයි වෙන්නෙ. ඒ නිසා කලා ක්ෂේත්‍රයන්ද දියුණු කරලා හොඳ තත්ත්වයකට රට ගේන්න අපේ හැකියාව පාවිච්චි කළ යුතුයි කියන අදහසේ තමයි මම ඉන්නේ.

Comments