
මුතුලෙන්දොර ටෙලි නාට්‍යයේ තමයි මුලින්ම රඟපෑවේ. ඒ අත්දැකීම හරි සුන්දරයි. අදටත් මුතුලෙන්දොර චරිතයේ නමින් මට කතා කරන අය ඉන්නවා.
මුතුලෙන්දොර ටෙලිනාට්‍ය හරහා රංගනයට පිවිසුණු නිත්‍යා දේවින්දි අපේ කලා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ නවක රංගන ශිල්පිනියක්. ගාල්ලෙ අහංගම ඉපදුණ සුරූපිනියක් වන ඇය අධ්‍යාපනය ලැබුවේ අහංගම ශ්‍රී ධර්මාරාම විද්‍යාලයෙන් සහ ගාල්ල ශ්‍රී හෘදය කන්‍යාරාමයෙන්.
නිත්‍යා ඔයාව හඳුන්වන්නෙ කොහොමද.?
අද කාලේ හැටියට පාරවල් ගානෙ රස්තියාදු වෙන්න සිද්ධ වෙන, පෝලිම්වල ඉඳලා වැඩ කරගන්න, බොහොම සරල සාමාන්‍ය කෙනෙක් මම.
පාසල් කාලෙ තිබුණ බලාපොරොත්තු මොනවද.?
පුංචි කාලේ මගේ ආසාවන් කාලෙන් කාලෙට වෙනස් වුණා. මම කොහොමත් බලාපොරොත්තු ගොඩක් පොදි බැඳගෙන හිටපු කෙනෙක්නම් නෙවෙයි. සාමාන්‍ය පෙළ වෙනකම්ම මම සංගීතය හැදෑරුවා. මට ආසාව තිබ්බේ නීතිඥවරියක් වෙන්න. 2018 දි උසස් පෙළ විභාගයට දෙවන වර පෙනී ඉන්න සූදානම් වෙනකොට මගෙ තාත්තා නැති වෙනවා. ඒ වෙලාවේ විවිධ ප්‍රශ්න තිබුණ නිසා උසස් පෙළ කරන එක නැවැත්තුවා. එතැනින් පස්සේ ඉස්සරහට මොනවද කරන්නේ කියලා ලොකු අදහසක් තිබුණෙ නැහැ.
කලා ක්ෂේත්‍රයට පැමිණි ආකාරය මතක් කළොත්.?
2019 දෙරණ අවුරුදු කුමරා - කුමරිය තරඟයේ අවසන් 12 අතරට තේරුණාට පස්සෙ තමයි මම රංගන ක්ෂේත්‍රයට ආවෙ. මගේ පවුලේ අයගේ උනන්දු කරවීම එක්කයි අවුරුදු කුමරිය තරගයට ගියේ. සමහර අයට නම් ගෙවල්වලින් අකමැති වෙනවා රංගනයට එන්න. ඒත් මට එහෙම බාධාවක් තිබුණෙ නැහැ. කොහොමත් මගේ ගෙදර අය මා ගැන හොඳ හඳුනාගැනීමක හිටියේ. ඔවුන් දැන සිටියා මම කලාවට දක්ෂයි කියලා.
තරගයට එනකොට රඟපාන්න එන්න අදහසක තිබුණද?
මට මතකයි ෆස්ට් ඔඩිෂන් එක නාඩා ආයතනය තමයි තිබ්බේ. ඒක මගේ පළවෙනි තරඟය. බොහෝ දෙනෙක් මෙවැනි තරඟ වලට සම්බන්ධ වෙන්නෙම කලා ක්ෂේත්‍රයට පිවිසෙන්න හොඳ මාර්ගයක් හින්දා කියල තරඟයට සම්බන්ධ වුණාට පස්සේ තමයි මම දැනගත්තේ. ඒ නිසා මටත් පුංචි බලාපොරොත්තුවක් ආවා කලා ක්ෂේත්‍රයට එන්න පුළුවන් වෙයි කියලා.
දෙරණෙ විකාශය වුණ ‘මුතුලෙන්දොර‘ ටෙලි නාට්‍යයේ තමයි මුලින්ම රඟපෑවේ. ඒ අත්දැකීම හරි සුන්දරයි. පාසල් යන කාලේ ඉඳන් නාට්‍යවලට සම්බන්ධ වෙලා අත්දැකීම් තිබුණ නිසා ගොඩක් කල් ගියේ නෑ මට රංගනයට අනුගත වෙන්න. අදටත් මුතුලෙන්දොර චරිතයේ නමින් මට කතා කරන අය ඉන්නවා.
ඔයාට රඟපාන්න ලැබෙන චරිත පිළිබඳව සතුටුයිද.?
මේ දවස්වල කවුරුත් කතා කරනවා මම පාර දිගේ ටෙලි නාට්‍යයේ රුවිනි ගැන. රුවිනි කියන චරිතය දැන් මිනිසුන්ට පේන්න ටිකක් ස්මතුවෙලා තියනවා. ඉතින් ඉස්සරහට වැඩිය දැන් උගුල්වලට අහු වෙනවා වැඩියි නේද කියලත් ගොඩක් අය මගෙන් අහනවා. හොඳ රසික ප්‍රතිචාර ලැබෙනවා.
අපේ රටේ සාමාන්‍යයෙන් එක චරිතයක් හොඳට කළාම ඒ වගේ චරිත තමයි දිගටම ලැබෙන්නේ. මම බොළඳ පෙම්වතියගේ චරිත කරන්න කැමැති කෙනෙක් නෙවෙයි. ඉදිරියේදී මට රඟපාන්න වෙනස් පරාසයන්වල විවිධ චරිත ලැබෙනව නම් කැමතියි.
රංගන ශිල්පිනියකට පෙනුම කොච්චර වැදගත් වෙනවද.?
ඇතැම් රංගන ශිල්පීන් ඉන්නවා තමන්ගේ පෙනුම ගැන ඔවුන්වත් හිතන්නේ නැහැ. හැබැයි ඉහළ රංගන පරාසයක් තියෙනවා. තව කොටසක් ඉන්නවා ලස්සන වෙන්න ඕනේ කියලාම තමයි හිතන්නෙ. අපේ පෙනුම මොන වගේ ඒ වුණත් අපිට රංගන කුසලතාවක් තියෙනවා නම් ක්ෂේත්‍රයේ රැඳෙන්න පුළුවන්. හැබැයි සුන්දරත්වය කියන දේ ප්‍රේක්ෂකයන් ඇදබැඳ තබාගන්න යම්කිසි මට්ටමකට වැදගත් වෙනවා. දමිළ සිනමාවෙ ඇතැම් නළුවො මේකප් කරන්නෙත් නෑ. නමුත් ප්‍රේක්ෂකයො ඔවුන්ගේ රංඟනයට දැඩි ලෙස ඇලුම් කරනවා. අපේ පෙනුම මත ප්‍රේක්ෂකයො රැඳුනොත් රුව වියැකෙනකොට ඒ ආදරයත් නැති වෙනව. අපේ දක්ෂතාවයෙන් ප්‍රේක්ෂකයන්ව රඳවා ගන්න පුළුවන් නම් ඒක තමයි වටින්නේ.
ඉස්සරහට එන්න තියෙන නිර්මාණ මොනවද.?
ළඟදිම එන්න තියෙන්නෙ “රේස් ටූ“ ටෙලි නාට්‍යය.විවිධ හේතු මත දෙතුන්පාරක් විකාශය වීම නතර කළත් ඇත්තටම ලොකු ප්‍රේක්ෂකයන් පිරිසක් “රේස්“ වටා බැඳුණා.
ආදරය සුන්දරයි කියන්නෙ ඇත්ත ද.?
දෙපාර්ශවයම අවංකයි නම් ආදරේ හරිම සුන්දරයි. හොඳ ආදරයක් තියෙනකොට ජීවිතේ ගෙවන්න හරිම පහසුයි. මගෙ සැමියා ගීතාංජන ද කොස්තා. ඔහුත් මේ ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක් නිෂ්පාදකවරයෙක්. අපි අප ගැන හොඳ අවබෝධයෙන්, තේරුම් ගැනීමත් එක්ක මේ ගමන යනවා. මගෙ අම්මයි, අයියයි, නංගි සහ සැමියාගේ පවුලෙ අයගෙ ආදරයත් මගෙ ජීවිතේ ලස්සන කරනවා.