වෙඩි උණ්ඩයකට ජීවිතය දුන් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ප්‍රේමකීර්තිද අල්විස් ඝාතනයට ලක්වී වසර 33යි | සිළුමිණ

වෙඩි උණ්ඩයකට ජීවිතය දුන් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ප්‍රේමකීර්තිද අල්විස් ඝාතනයට ලක්වී වසර 33යි

ඔබ - යුවතියක් වන දින මම - පස් ගොඩක් පමණි දුවේ! එය - පාගන්න

තාත්තා එහෙම ලියලා තිබුණේ අවුරුදු හතළිස් හයකට ඉස්සර

 

දියවී ගියත් තාත්තාගේ හැම නිර්මාණයකම, තිතක, කොමාවක පවා අයිතිය ඇත්තේ දුවේ ඔයාටයි. ඒකයි මං ඒවා මෙච්චර ආදරෙන් රකින්නේ." සුරංගිගේ අම්මා කියයි.

සමහර අවස්ථා තියෙනවා ජීවිතේ විය හැකි යම් යම් දේවල් අපට කල්තියා පෙනෙන හා දැනෙන. සමහර වෙලාවට අපි ඒ දේවල් නොපෙනුණා සේ නොදැනුණා සේ ඉන්න හුරු පුරුදු වෙලයි ඉන්නේ.

 

ජීවිතය ගැන පෙනුන, දැණුන, හැඟුන බොහෝ දේ වචන වලට පෙරළා ආදරෙන් ලියා තියා ගිය මගේ තාත්තා ගැන විතරක් නෙවෙයි ඒ පුංචි පුංචි සටහන් ගැනවත් එදා ඒ කාලේ මට තේරුමක් තිබුණේ නෑ. තාත්තා ඉඳහිටක මා බලන්න එනකොට අරන් ආපු පුංචි පුංචි කතන්දර පොත්වල තිබුණ ලොකු පින්තූරවලට යටින් එහෙමත් නැත්නම් ඒ පින්තූර ළඟ ජීවිතය අකුරු කරලා තිබුණා. පිටු ගණනාවක් ලියා කියන්න තිබූ දිගු මහා වටිනා කතා තාත්තා වචන දෙක තුනකින් ලියා දී තිබිමයි මට අද දැනෙන විශේෂත්වය.

ඒ කතන්දර පොත්වල විතරක් නෙවෙයි එවන සුබපැතුම් පත්වලත් ඉන්න හුරතල් සත්තු හිනාවෙන, අඬන මූහුණු එදා වගේම තවමත් අඬනවා. ඒත් කොළ ගැලවුණ අකුරු බොඳවුණ ඒ පොත්පත් හරියට අපේ ජීවිත වගෙයි. තාත්තා මගේ හිත ඇතුළෙ තවම තරුණයි. ඒත් මම දැන් වයසයි. කාලය හුඟාක් දේ වෙනස් කරමින් ගලාගෙන ගිහින්. එදා මට නොතේරුන අද මට තේරෙන තාත්තා ලියූ සටහන්වල ඇත්ත මගේ ජීවිතේට මොනතරම් දිගු පාඩම් කියා දුන්නා ද?

“ඔබ - යුවතියක් වන දින

මම - පස් ගොඩක් පමණි

දුවේ! එය - පාගන්න“

- තාත්තා - 1976.08.25

“කළ හොඳ පස්සෙන්“ නම් වූ තාත්තා ගෙනත් දුන්න කතාන්දර පොතේ මුල් පිටුවේ 1976 වසරේ තාත්තා ලියා තිබූ මේ සටහන මගේ ජීවිතය පුරාම මට අමතක කරන්න බැරි වචන කිහිපයක්. එතකොට මට වයස අවුරුදු තුනයි. මට වයස අවුරුදු දාසයක් වෙනකොට තාත්තාගේ සෙනෙහස, ආදරය, රැකවරණය අහිමි වෙනවා. ඒ මීට වසර තිස්තුනකට පෙර එනම් 1989 වසරේ ජූලි තිස් එක් වනදා රාත්‍රියේ තාත්තාව අපෙන් අකාලයේ උදුරා ගත්ත පාපතරයකුගේ වෙඩි පහරක් නිසා. ඒ බව තාත්තාට කල් ඇතුව දැනී තිබුණා දැයි මට විටෙක හිතෙනවා. ඇත්තටම මම යුවතියක් වෙනකොට තාත්තා සොබාදහමට එකඟ වී තිබුණා. ඒත් ඔබ ඉල්ලූ දේ කෙසේ නම් මම කරන්නද තාත්තේ....??

රයිනෝසිරස් කෙනෙක් ගේ පිට උඩට වෙලා කුරුල්ලෝ තුන්දෙනෙක් ඉන්න ලස්සන චිත්‍රයකට තාත්තා ඊතලයක් යොමුකරලා මෙහෙම ලියලා තිබුණා.

“ශක්තිමත් බලවේග මත

ගී ගයන කිරිල්ලියක් වන්න“

- තාත්තා -

1975.08.25

තාත්තාට එදා වුවමනා වුණේ මාත් ගී ලියන කිරිල්ලියක් කරන්න නෙවෙයි. ජීවිතේ පසුපස හමා ආ බොහෝ බලවේග හමුවේ මා තාත්තත් අම්මත් ලියූ ඒ ගී කීවේ ඔබ දෙපළගේම ජීවිත වලින් උරාගත් ඒ ශක්තියෙන් කියලයි අද මට දැනෙන්නේ.

තාත්තාගේ ජීවිතය ගලා ගියේ සොඳුරු මල්මාවත් ඔස්සේ නොවෙයි. රළු, බොරළු, කටු කොහොල් හැලහැප්පීම් වලින් පිරුණු අසීරු මාවතකුයි ඔහුට දෛවය උරුමය කර දී තිබුණේ. ඒ හැමදේම ඔහු දරා ගත්තේ බොහොම සැහැල්ලුවෙන්. තාත්තා කවදත් පැතුවේ ඒ නොසැලෙන ශක්තිමත් ගති මගෙන් දකින්නයි. තාත්තා මට ගෙනත් දුන්න තව කතන්දර පොතක මෙහෙම ලියලා තිබුණේ ඒ නිසා වෙන්නැති.

“මෙහෙම වුණාට

වැටෙන්න එපා

තාත්තා වගේ ......!!!“

ජීවිතේ දකින්නට ලැබුණ, හැඟුන දේවල් ඇසුරු කරගෙන ඒ ඇසුරෙන් දියණිය වන මට විතරක් නෙවෙයි මුළු මහත් සමාජයටම සිතන්න යමක් ඉතිරි කර ගිය ඔහු ගී ලොවේ සදා අමරණීයයි. එවන් අමරණීය පියෙකුගේ දියණියක් වීමට මට වාසනාව ලැබුණත් ඒ ආදරය එක වහලක් යට එකට හිඳ ලබන්න තරම් මා වාසනාවන්ත වුණේ නෑ. මට තවම දැනෙන ඒ වේදනාව තාත්තාට ද එදා එලෙසම දැනෙන්නට හැඟෙන්නට ඇති. තාත්තා ඒ නිසාමයි මෙහෙම ලියන්න ඇත්තේ.

“දුවේ...

ඔබේ හද ගැහෙනා හඬ

මගේ වම් අත නාඩිවලට දැනේ“

- තාත්තා -

තාත්තාගේ අතේ එල්ලී ගාලු මුවදොර පිට්ටනිය දිගේ ඇවිදගෙන ගිය හැටි, විහාරමහාදේවි උයනේ ගතකරපු හැටි, මැයි පෙළපාලි නරඹපු හැටි, පේරාදෙණිය විශ්වවිද්‍යාල භූමිය පුරා ඇවිදපු හැටි, බෙල්ලන්විල පන්සලේ පෙරහැර බලපු හැටි, නුවර ගිය හැටි, ඒ ආදරණීය මතක අතරින් අද හෙමින් ඇවිදගෙන යන මට සිහිවෙනවා.

“කිසිවෙකුට ඉක්මනින් දුවන්න බෑ“

මගේ දුවට -

-තාත්තා -

කියා ඔබ මට ලියා තිබූ ඒ සටහන හරියටම හරි තාත්තේ. ඉක්මන් ගමන් කෙටි තමයි.

එදා ඔබත් එක්ක ඉඳගෙන බොහෝ දේවල් කතා කරපු අපේ ගෙදර වෙරළු ගහයට ගල් බංකුව පෙඳ පාසි වැටී අද අබලන් වී තවමත් ඔබ එනතුරු බලා ඉන්නවා. ඒත් ගල් බංකුවට වෙරළු ගහ නෑ.

“තාත්තා අම්මාට ආදරේ නොකළා නම් තාත්තා ලියූ මේ ආදර කොළ කෑලිවලට ඇයි මෙච්චර ආදරේ කරන්නේ" මම අහන්නෙ අම්මාගෙන්.

“දියවී ගියත් තාත්තාගේ මේ හැම නිර්මාණයකම, තිතක, කොමාවක පවා අයිතිය ඇත්තේ දුවේ ඔයාටයි. ඒකයි මං ඒවා මෙච්චර ආදරෙන් රකින්නේ.“ අම්මා කියයි. සමහර බැඳීම් අපට කියා දෙනවා ආදරේ තරම.

පැන්සලෙත් පාටක් ඇත

පාට රැසක් ගත් පැන්සලුත් ඇත -

- තාත්තා -

මගේ සතුටේ කෙළවර තාත්තා නිසා හැමදාම දුක ඇමිණිලා තිබුණා. තාත්තා සදහටම නිහඩ කරවන්නට තවත් මිනිසෙකුට පුළුවන් වුණත් තාත්තා ලියා තබා ගිය බොහෝ දේ හරහා ඔහුගේ ජීවිතය ගැන අපේ ජීවිත ගැන ලෝකය ගැන අපට කියවන්නට ඉගෙන ගන්නට බොහෝ දේ ඇති බවයි මගේ විශ්වාසය.

තාත්තා දැනගෙන හිටියා කූඹියාටත් ලෝකය එරෙහි වෙනවා කියලා.....!!!

ඒ නිසයි තාත්තා ඒ බව මට දුන්න කූඹි කතන්දර පොතේ සටහන් කරලා ගියේ.

තාත්තාගේ මේ පුංචි පුංචි සටහන් මට බැරි වුණොත් කවදා රි දවසක මගේ දරු දෙදෙනා ඒ කියනනේ තාත්තේ ඔයාගේ මුණුබුරන් දෙදෙනා ලෝකයාට පෙන්වාවි කියලයි මම තදින්ම විශ්වාස කරන්නේ.

 

තාත්තේ සසර සැරි සරන තෙක් ඔබ මගේ!!

 

Comments