මරණයේ දොර ළඟට ආව ගිය හොලිවුඩ් තරු | සිළුමිණ

මරණයේ දොර ළඟට ආව ගිය හොලිවුඩ් තරු

ප්‍රතිවාදියාගෙන් එල්ල වන පහරක් හරියටම මේ මහ නළුවාගේ  හෘදයට එල්ල වනවා

කබාය ගලවා දැමීමට කේට් වින්ස්ලට්ට  නොහැකි වුණා නම් ජැක්ට කලින් රෝස්  මියයන්නට ඉඩ තිබුණා

බ්‍රේව් හාර්ට් චිත්‍රපටයේ රඟපෑ මේල් ගිබ්සන් කියන්නෙත් ඉතින් හොලිවුඩයේ බැස නොයන තරුවක්. නැතිනම් ලෙජන්ඩ්එකක්.

හොලිවුඩ් සිනමාවේ බොහෝ නළු නිළියෝ රංගනයේ අති දක්ෂයෝ. ඔවුන් රංගනයේ නිරත වන්නේ තම උපරිමය ඒ සඳහා ලබා දෙමින්. රංගනය තමයි ඔවුන්ගේ ජිවිතය. රංගනය වෙනුවෙන් ඔවුන් සිදු කරන කැපකිරීම් අති විශාලයි. ඒ නිසාමයි මුළු ලෝකය පුරා සිනමා රසිකයන් ඔවුන්ගේ රංගනය ප්‍රිය කරන්නේ. මේ කියන්න යන්නේ ඒ වගේම රංගනයට සාධාරණය ඉෂ්ට කරන්න ගිහින් තම ජීවිතය අනුනවයෙන් ගලවා ගත් නළු නිළියන් කිහිප දෙනෙක් ගැන.

 

ඒ අතරින් මුලින්ම හමු වන්නේ කේට් වින්ස්ලට්. නම කිව්වම දන්නේ නැත්නම් ටයිටැනික් චිත්‍රපටියේ රෝස් මතකද? එයා ගැන තමයි මේ කියන්නේ. ටයිටැනික් චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වීමේදී කේට් වින්ස්ලට් මරණයෙන් ගැලවුණේ අනුනවයෙන්. එහි එක් දර්ශනයක නැව ඇතුළට විශාල වතුර කඳක් ගලා එනවා. එ් වතුර කඳට හසුවන ජැක් සහ රෝස් දැඩි අසීරුවෙන් නැවේ මීළඟ තට්ටුවට පැමිණෙනවා. මේ දර්ශනයේදී කේට් විශාල කබායක් ඇඳ සිටිනවා. වතුර පහරේ වේගයට ඇය සැබවින්ම වේගයෙන් ගසාගෙන යනවා. ඇයට ඉන් මිදීමට නොහැකි වන්නේ ඇය ඇඳ සිටි විශාල කබාය හේතුවෙන්. වතුරේ සැබවින්ම ගිලී යෑමට මොහොතකට පෙර කබාය තම සිරුරෙන් ගලවා ඉවත් කිරීමට කේට් වින්ස්ලට් කටයුතු කරනවා. ඒ නිසාම ඇයගේ ජිවිතය බේරෙනවා. ඇය මෙලෙස මරණය සමඟ පොර බැදු බවට වටහා නොගන්නා චිත්‍රපටියේ අධ්‍යක්ෂ ජේම්ස් කැමරන් මේ සියල්ල රූගත කරමින් සිටිනවා. දර්ශනය අවසන් වූ පසු තමයි ඇය තමා මුහුණ දුන් බියජනක අත්දැකීම අනෙක් අයට කියන්නේ. ඒ වන විටත් ඉතාම තාත්විකව ඒ දර්ශනය රූ ගත කෙරී අවසන්. ඒත් ඒ කබාය ගලවා දැමීමට කේට් වින්ස්ලට්ට නොහැකි වුණා නම් ජැක්ට කලින් රෝස් මියයන්නට ඉඩ තිබුණා.

ටොම් කෘස් ගැන නොදන්නේ කවුද? අපේ රටෙත් බොහෝ තරුණියන්ගේ සිහින කුමරා තමයි ටොම් කෘස්. ස්වකීය සිනමා ජීවිතයේදී මේ දක්වා අවස්ථා දෙකකදී මරණය අබියසටම පිය ගැනීමට ටොම් කෘස්ට සිදුවී තිබෙනවා. ඉන් පළමුවැනි අවස්ථාව ‘ලාස්ට් සමුරායි‘ චිත්‍රපටයේදී. එහිදී ඔහු සහ ඔහුගේ සහය නළු හිරෝයුකි සනාදා කඩු සටනක නිරත වන්නේ කෘත්‍රිම අසුන් පිට නැගෙමින්. මේ කෘත්‍රිම අසුන් වෙනුවට පසුව පරිගණක මඟින් සැබෑ අසුන් යොදමින් රූපරාමු නැවත සැකසෙන බව ඔබ දන්නවා ඇති. කෙසේ වුවත් මේ දර්ශන රූ ගත කරන අවස්ථාවේදී එක්වරම සනාදාට තම අතේ වූ බරැති කඩුව සමබර කර ගැනීමට නොහැකි වීමෙන් එය වේගයෙන් ටොම් කෘස්ගේ හිස මත පතිත වීමට ගියා. එහිදී අනුනවයෙන් ඊට පෙර තම අසුනෙන් ඉවතට පැන ගැනීමට ඔහුට හැකියාව ලැබුණා.

දෙවැනි අවස්ථාවේදී ටොම් කෘස්ට මාරයා ආසන්නයට යෑමට සිදු වන්නේ මිෂන් ඉම්පොසිබල් චිත්‍රපටයේදී. එහිදී ටොම් කෘස් එක් ගොඩනැගිල්ලක සිට තවත් ගොඩනැගිල්ලකට පැනීමේ දර්ශනයකදී ඔහුගේ ඉලක්කය වැරදී ගොස් ඇද වැටී පාදයේ වළලුකර බිඳුණා. ඒත් සිද්ධිය ඇසින් දුටුවන් පැවසුවේ තව පොඩ්ඩක් එහා මෙහා වූවා නම් නැතිවන්නේ මේ අතිශය ජනප්‍රිය නළුවාගේ ජීවිතය බවයි.

සිල්වෙස්ට්ර් ස්ටැලෝන් කිව්වම කවුද ඉතින් නොදන්නේ. ඔහු සැබෑ නමින් දන්නේ නැති වුණත් ‘රම්බෝ‘ කිව්වම නම් හැමෝම දන්නවා. ඉතින් සිල්වෙස්ටර් ස්ටැලෝන් රොකි චිත්‍රපට මාලාවේ සිව්වැනි චිත්‍රපටයේදී බොක්සිං තරගයක් නිරූපණය කරනවා. එහිදී ඔහුගේ ප්‍රතිවාදියාගෙන් එල්ල වන පහරක් හරියටම මේ මහා නළුවාගේ හෘදයට එල්ල වනවා. පර්ශු බිඳිමින් එල්ල වූ එම පහර හේතුවෙන් ස්ටැලෝන්ට දින 9ක් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගන්න සිදුවෙනවා. ඔහුගේ ජිවිතයටත් හානි සිදුවීමට බොහෝ ඉඩකඩ තිබූ බවයි වෛද්‍යවරුන් පවසා තිබුණේ.

බ්‍රේව් හාර්ට් චිත්‍රපටයේ රඟපෑ මේල් ගිබ්සන් කියන්නෙත් ඉතින් හොලිවුඩයේ බැස නොයන තරුවක්. නැතිනම් ලෙජන්ඩ්එකක්. ඔහු අනුනවයෙන් මරණයෙන් බේරුණෙත් බ්‍රේව් හාර්ට් සිනමා පටය රූ ගත කිරීම්වලදී. එහිදී මේ අසහාය නළුවා අසු පිටින් ඇද වැටුණා. ඒ විතරක් නෙමෙයි කිලෝ 1000ක් විතර බර අශ්වයා ඔහුගේ ඇඟ මත ඇද වැටුණා. ඒත් වාසනාවකට වගේ මේ සිදුවීම දුටු ඔහුගේ සහය රංගන ශිල්පියා ඉක්මනින්ම ඔහු ඉවතට ඇදලා ගත්තා.

ටොම් හෑන්ක්ස් කියන්නෙත් හොලිවුඩයේ දක්ෂයෙක්, වීරයෙක්. අසහාය රංගන ශිල්පියෙක්. ඔහුගේ අති ජනප්‍රිය චිත්‍රපට අතරින් කාස්ට් එවේ චිත්‍රපටය ඉදිරියෙන්ම තිබෙනවා. මේ චිත්‍රපට රංගනය සඳහා මිනිස් වාසයෙන් තොර දූපත් කිහිපයක් තමයි දර්ශන තල ලෙස තෝරාගෙන තිබුණේ. එහි රංගනයේ නිතර වන අතර ටොම් හෑන්ක්සගේ පාදය කැපී ගොස් තිබුණා. ඒත් ඔහු එය ගණනකට ගෙන නැහැ. දින කිහිපයක් යන විට මේ තුවාලයට විෂබීජ ඇතුළු වීමෙන් එය ආසාදනය වී තිබෙනවා. වහාම මේ අති දක්ෂ නළුවාව රෝහල් ගත කිරීමට කටයුතු කළත් ඔහුගේ ශරීරය අඩපණ කරමින් තිබූ විෂබීජවලින් ඔහු සම්පූර්ණයෙන් ගලවා ගැනීමට වෛද්‍යවරුන් විශේෂ වෙහෙසක් දරන්න සිදුවුවා කියලා තමයි කියන්නේ.

 

Comments