කොහේ ගියත් මම තනිවෙලා නැහැ. මොනදේ වණත් මම සතුටින් ඉන්නේ | සිළුමිණ

කොහේ ගියත් මම තනිවෙලා නැහැ. මොනදේ වණත් මම සතුටින් ඉන්නේ

මම  කවදාවත්  ගුරු ජීවිතයයි රඟපෑමයි පටලවා ගත්තේ නෑහැ

මේ දවස්වල මොනවද ඔබේ අලුත්ම නිර්මාණයන් ?

මම සිරස නාලිකාවෙ කියා දෙන්න ආදරේ තරම් නාට්‍යයේ රඟපානවා. ඒ එක්කම ස්වර්ණවාහිනියෙ දෙකඩ කඩ ටෙලි නාට්‍යයේ හා අමරබන්දු රූපසිංහ සහ රේස් කියන ටෙලි නිර්මාණයන්ගේ වැඩ කරගෙන ‍යනවා.

පසුගිය දිනවල ඔබ රියැලිටි ‍ෂෝ එකකත් හිටියා නේද?

ඒ හිරු super dancer කියන වැඩසටහනේ. ඒක දැන් ඉවර වුණා. ආයෙ hiru star program එක ඉවර වුණාම නැවත ඒක පටන් ගන්න බව දන්වා තිබෙනවා.

ඔබ වේදිකා නාට්‍යයෙන් ඈත් වෙලාද දැන් ?

වේදිකා නාට්‍යවලට නම් කාලෙකින් ගියේ නෑ. කාර්‍යබහුලතාවයත් නිසා. පහුගිය දවසක මම උදව්වක් හැටියට චවුද්‍රි වේදිකා නාට්‍යයේ චරිතයක් රඟපෑවා. ඒකෙ අපේ රංගන ශිල්පියෙක් හදිසියේ නැති උනා. එයාගෙ චරිතය රඟපාන්න වුණා හදිසියේම. ඒ ඇරෙන්න මෑතකදී වේදිකා නාට්‍යවලට ගියේ නෑ.

අමරබන්දු රූපසිංහ නාට්‍යයෙනුත් ඔබ ප්‍රේක්ෂකාලින්දයට ආවා නේද?

ඒක විනෝදාත්මක නාට්‍යක්. සිරස tv එකේ යන්නෙ. මටත් ආරාධනා කළා ඒ නාට්‍යයට එක්වන්න කියලා. දුලීකා මාරපන, පියුමි එහෙමත් එහි රඟනවා. නමුත් මේ තෙල් ප්‍රශ්නයත් එක්ක එයට බාධාවුණා. ඒක අපි කරමින් හිටපු නාට්‍යක්.

දැන් ඔබ ගුරු වෘත්තියෙන් ඔබ විශ්‍රාමික ද?

ඔව් මම දැන් විශ්‍රාමිකයි. මම දකුණු කොළඹ විද්‍යා විද්‍යාලයේ ගුරු වසර විසි අටක් ගුරුවරයකු ලෙස සේවය කළා. එක දිගටම වැඩ කරපු නිසා විශ්‍රාම ගන්න ඕන කියලා හිතුවා. මීට අවුරුදු දෙකකට කලින් විශ්‍රාම ගියා. නමුත් මෑතකදී මුහුණු පොතේ වැරදි ආරංචියකුත් ගියා. මම විදුහල්පති විභාගය සමත් කියලා. මම හිතන්නෙ කාගෙන් හරි හොයා ගත්ත වැරදි තොරතුරු ටිකක් තමයි ඒ වෙබ් එකේ ගිහින් තිබුණේ. කොහොම වුණත් සහකාර විදුහල්පති කෙනෙක් හැටියට ඉඳලා තමයි මම විශ්‍රාම ගත්තේ.

වෘත්තීය ජීවිතයයි රංගන කටයුතුයි කොහොමද සමබරව කරගෙන ආවේ ?

මුල් කාලේ මම එතරම් ජනප්‍රිය වෙලා හිටියේ නැති නිසා පොඩි පොඩි ප්‍රශ්න තිබ්බා. එතකොට රංගනයට ලොකු සහයක් ලැබුණේ නෑ. පසුකාලීනව අධ්‍යාපන දෙපාර්තමේන්තුවල හිටපු නිලධාරින්, මගේ පාසලේ විදුහල්පතිවරු, ගුරුවරු සියලු දෙනාම මට උදව් කළා. ඒගොල්ලො දැන ගත්තා මන් මොකද්ද කරන්නෙ කියල. කලා ක්ෂේත්‍රය මිනිහට අත්‍යවශ්‍යයි කියලා. ඒක තේරුම් ගත්ත බොහෝ දෙනෙක් මට ගොඩක් උදව් කළා. මම හිටියෙ පිළියන්දල. ඉතින් ඒ හිටපු අධ්‍යාපනය නිලධාරින් මන් retire වෙනකම්ම ලොකු සහයක් දුන්නා. මගේ වැඩ කටයුතුත් පාසලේ කරන්න පුළුවන් උපරිමය කළා. ඒක නිසාම තමයි මට අවුරුදු 28ක් එකම පාසලේ ඉන්නත් ලැබුණේ. සාමාන්‍යයෙන් එහෙම ඉන්නවා අඩුයි. ඉස්කෝලෙ සහයෝගය නිසාම තමයි. කොහේ ගියත් ඉස්කෝලෙ හිටපු ශිෂ්‍යයන් අදටත් හම්බෙනවා හැම තැනම.

වර්තමානයේ කලාවට එල්ල වී ඇති අභියෝග මොනවද ඔබ දකින විදියට?

එක ආර්ථිකය. ඉස්සෙල්ලම ජීවත් වෙලා ඉන්න ඕනනෙ මිනිස්සු. ඉතින් ජීවත් වෙලා ඉන්න වෙර දරනකොට මිනිසුන් මුලින්ම ඒ ගොල්ලොන්ගෙ සතුටට කාරණා ටික තමයි නැති වෙන්නෙ. එතකොට විනෝදාත්මක දේවල් කපා හරිනවා. චිත්‍රපට බලනවා අඩුයි. නාට්‍ය බලනවා අඩුයි. ගමන්, කෑමබීම වියදම් වැඩී. ඉතින් පවුලක් කණ්ඩායමක් හැටියට ගිහිල්ලා නාට්‍යක් චිත්‍රපටයක් රස විදින්න අමාරුයි. එතකොට ඒ ඔක්කොම නතර වෙනවා. ඒක කෙලින්ම ශිල්පීන්ට බලපානවා. ඒ එක්කම වෙළෙඳාම, ප්‍රචාරණ කටයුතු ගොඩක් වෙලාවට නතර වෙනවා දැන් විදුලි කප්පාදුවත් එක්ක . ඒ වගේ ප්‍රශ්න ආවම ආයතනවලත් ගැටලු. ඒ ගොල්ලන්ගේ වියදම් අඩුවෙන් කරන්න කල්පනා කරන්නෙ ඊට පස්සෙ. වියදම් අඩුවෙන් කරනකොට ඒකෙ ගුණාත්මකභාවය අඩු වෙනවා. ඉතින් ඒ වගේ ගොඩක් අභියෝග තියෙනවා මේ කාලෙ. ඒ එක්කම මිනිස්සුන්ගෙ කල්පනාව තියෙන්නෙ දේශපාලන අර්බුද දිහාවට වැඩිපුර. ඉතින් සතුට විනෝදයෙන් මිනිස්සු ඈත් වෙලා. අරගලයකනෙ ඉන්නෙ.

ලැබෙන ප්‍රේක්ෂක ආදරය මොනවගේද

මට ලැබෙන ප්‍රේක්ෂක ආදරයට මම ගොඩක් ගරු කරනවා. ඒ වගේම එයට මම හරි ආදරෙයි. මම හිතන්නෙ මොකක් හරි වාසනා ගුණයක් මට තියෙනවා ඒ තරම් ප්‍රසාදයක් ලබන්න. අනිත් එක අපි කරන චරිත ගොඩක් වෙලාවට ජනතාවට ගොඩක් සමීප වෙනවනේ. වෛරයක් ඇති වෙන චරිත නෙමෙයි. විනෝදාත්මක සතුට ගේන චරිත. ඒ නිසා ලොකු පුංචි හැමෝම ඒ චරිත වලට ආසයි. මේ දවස්වල අමරබන්දු චරිතය, දෙකඩ කඩ නාට්‍යයේ රතු මුදලාලිගෙ චරිතයත්, කියා දෙන්න ආදරේ තරම් එකේ චරිතය ගොඩක් විනෝදයට බරයි. ඒ නිසා වැඩි ප්‍රේක්ෂක ආදරයක් ප්‍රතිචාරයක් තියෙනවා.

මේ දවස්වල වැඩිපුරම කාලය ගෙවෙන්නෙ පවුලෙ අයත් සමඟද ?

මගෙ බිරිඳ ගුරුවරියක්. එයත් ගොඩක් වැඩ කරනවා මහන්සි වෙනවා. දුවයි පුතයි තාම ඉගෙන ගන්නවා. ඉතින් එයාලගේ වැඩ කටයුතු වලට සෑහෙන්න සම්බන්ධ වෙන්න ඕනෙ කියලා තමයි මම විශ්‍රාම ගත්තෙත්.

සැබෑ ජීවිතයෙත් ඔබ විනෝදකාමී ද ?

ඔව්. අපේ ගෙදර නිතරම පිරිස ගැවසෙන තැනක්. මොකද අපේ ගෙදර සංගීත පන්තියක් තියෙනවා. ඉරිදාට භාෂා පන්තියක් තියෙනවා. පුතාලගේ දුවලගේ යාලු මිත්‍රයෝ එනවා යනවා. විනෝදයෙන් තමයි ඉන්නෙ. නමුත් දැන් හැමදෙනාටම තියෙන සමාජ ප්‍රශ්න හැම එකක්ම අපිටත් තියෙනවා. දැන් නම් ටිකක් වැඩිපුර ඒ ගැන තමයි හිතන්නෙ.

ඉදිරි වැඩකටයුතු කොහොමද සැලසුම් කරලා තියෙන්නෙ ?

දැනට විකාශය වන නාට්‍ය වලත් වැඩ තියෙනවා. තව වැඩ කටයුතු කිහිපයකටම ආරාධනා කරලා තියෙනවා. කරන්න කියලා. මේ වාතාවරණය සමනය වුණාට පස්සෙ ඒවා පටන් ගන්න තියෙන්නෙ. ඒ වගේම විවේකයක් ලැබුණාම ගෙදර පැලයක් එහෙම වවනවා.

ඔබේ ප්‍රේක්ෂකයන්ට යමක් කියන්න තියෙනවද ?

කියන්න තියෙන්නෙ දැන් මම ක්ෂේත්‍රයට ඇවිල්ලා අවුරුදු 37ක් විතර. මම ආපු කාලෙ ඉදන්ම මම කරපු චරිත වලට ලොකු ප්‍රතිචාර තියෙනවා. දෙස් විදෙස් කොහේ ගියත් ඒ චරිත පහුගිය ඒවා මට අමතක වෙන ඒවත් මතක් කරලා කියන අවස්ථා තියෙනවා. ඉතින් ඒක මගේ හැකියාවට හා මගේ රංගන කුසලතාවට මගේ අධ්‍යක්ෂකවරු ලබා දුන්න ලොකු අවස්ථාවක්. ඒ අවස්ථාව මම හරියාකාරව කරපු නිසා ලොකු ප්‍රේක්ෂක සංඛ්‍යාවක් ඉන්නවා. කොහේ ගියත් මම තනිවෙන්නෑ. පාලුවක් දැනෙන්නෑ. හැමෝම උදව් කරනවා. ඒ ආදරය ලැබෙනවා අඩුවක් නැතුව. මන් හිතනවා ඒක දිගටම තියෙයි කියලා. ඒ හැමදේටම මගේ ප්‍රේක්ෂකයන්ට ගොඩක් ස්තුතියි. ප්‍රේක්ෂකයෝ නැත්නම් කලාකරුවාට පැවැත්මක් නැහැ.

 

Comments