ආවා සොයා ආදරේ පහළොස් වතාවක් බලලා තුෂාරා දහතුන් වතාවක් බලලා | සිළුමිණ

ආවා සොයා ආදරේ පහළොස් වතාවක් බලලා තුෂාරා දහතුන් වතාවක් බලලා

සිංහල සිනමාවේ ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වන ඩොනල්ඩ් ජයන්තගේ සිනමා දිවියට 2022 වසරේ ජූලි මාසයට 37ක් වසරක් පිරිණී. ප‍්‍රවීණ කලාකරු ධර්මසිරි ගමගේ විසින් කළ ‘පුජා’ චිත්‍රපටයට සම්බන්ධ වෙමින් සිය ගමන ඇරඹූ ඔහු චිත‍්‍රපට 63 ක සහාය අධ්‍යකවරයා විය.

 

එමෙන්ම ‘ප්‍රවේගය’, ‘මායා’ යන ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂණය කරමින් බොක්ස් ඔෆිස් වාර්තා අලුත් කළ ඔහු සිය ගමන් මඟ සිහි කරන්නේ මෙසේය. “මම පාසල් ගියේ මාතර කොටපොල ජාතික පාසලට. මුලින්ම රඟපෑවේ පාසල් වේදිකාවේ. මා චිත්‍ර කලා විෂයට ඉතාම ප්‍රිය කළා. චිත්‍ර ශිල්පියෙක් වෙන්න ආශාවෙන් හිටපු මම ගාමිණි ෆොන්සේකා හා මාලනිගේ ෆොන්සේකාගේ චිත්‍රපට බැලීමේ පුරුද්ද නිසා ඒ අදහස වෙනස් කරගත්තා. උසස් පෙළ ලියලා ගෙදර ඉන්න දවස් වල මගේ අම්මගේ මාර්ගයෙන් නැසීගිය ධර්මසිරි ගමගේ හඳුනාගන්නට ලැබුණා. මට මේ ගමන එන්න අඩිතාලම වැටුණේ එතනින්. ඒ වගේම සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මට අඳුන ගන්න ලැබුණෙත් ගමගේ මහත්මයා නිසයි. ඔහු හමුවූ අවස්ථාවේදී මට දීපු අවවාදය තමයි “මොන තරම් බාධා ආවත් තමන් කරනදේ කැපවීමෙන් ස්ථිර අධිෂ්ඨානයෙන් කරන්න” කියලා. ඒ වචන මගේ හදවතේ කෙටුවා වගේ දැනුණා.

වර්තමානයේ සිනමාව හා බැඳි කටයුතු කරන ඔහු සිනමාවට තමන් තුළ තිබූ ඇල්ම ඇති වූ අයුරු පැවැසුවේ මෙලෙසිනි.

“මං ඉස්සෙල්ලම බලපු චිත්‍රපටිය තමයි 1975 ලෙනින් මොරායස් අධ්‍යක්ෂණය කළ ගාමිණි මාලිනි රංගනයෙන් දායක වුණ ‘ආවා සොයා ආදරේ’ චිත්‍රපටය. කවදා හෝ මාත් සිනමා ක්ෂේත්‍රයට එන්න ඕන කියන අදහස එදා මට ඇති වුණා. ගාමිණි මාලිනිට තියෙන ආදරේ නිසා මිතුරන් සමඟ සෑම සතියට දිනක් චිත‍්‍රපට බැලිමට පුරුද්දක් කරගත්තා. ඒත් පමණක් සතිවල චිත්‍රපට දෙක තුනක් බලනවා. ලෙනින් මොරායස් අධ්‍යක්ෂණය කළ ‘ආවා සොයා ආදරේ’ චිත්‍රපටය මම පහළොස් වතාවක් බලල තියෙනවා. අනිත් චිත්‍රපටිය යසපාලිත නානායක්කාර අධ්‍යක්ෂණය කළ ‘තුෂාරා’ 13 වතාවක් බලලා තියෙනවා. මොන විදියෙන් හරි ශත 55 ක් හොයාගෙන 9.30 රාත්‍රී දර්ශනය බලනවා. චිත්‍රපටිය ඉවරවෙලා ගෙදර යන්න බස් නැතිව හැතැප්ම 6 ක් විතර පයින් යනවා. ඒ ගිහිල්ලා අම්මාගෙන් ගුටිකාපු වාර අනන්තයි. පස්සේ දවසේ පාසැලට ගියාම බලපු චිත්‍රපටියේ අවස්ථා ගැහැනු ළමයි ඉදිරියේ රඟපාලා පෙන්වනවා. ඒ වගේ වෙලාවට විදුහල්පතිතුමාගෙන් වේවැල් පාර කෑමත් මට පුරුද්දක් වෙලා තිබුණා.

ඒ වයසේ මං ආස කරපු ලස්සනම නිළිය මාලිනි ෆොන්සේකා. ඒ වගේම ඇයගේ රංගනයත් ඉතාම ආකර්ෂණීයයි. 70 දශකයේ බලපු චිත්‍රපටිවලින් මං ආසම තුෂාරා, සූරයා, ආවා සොයා ආදරේ, කවුද රාජා, සංගීතා චිත‍්‍රපටිවලට, මං ආසම චිත්‍රපට ගීතය එච්. ආර්. ජෝතිපාල ගායනා කරන මිහිදුම් සිහින චිත්‍රපටයේ ‘සරා සඳේ’ ගීතයට. එච්. ආර් ජෝතිපාල ඇරුණම මිල්ටන් මල්ලවආරච්චි, ඇන්ජලින් ගුණතිලක, ලතා වල්පොල, සුජාතා අත්තනායකට මම ගොඩාක් කැමැතියි.

එදා හිටපු රංගන ශිල්පීන්ට අපි අදත් ආදරෙයි. ඒ ඔවුන් ළඟ තිබුණු නිහතමානී ගුණය නිසයි. කවුරුවත් තමන් නිළියක් නළුවෙක් කියලා ඔළුව උදුම්වාගෙන හිටියේ නැහැ. එහෙම අය හිටිය නම් ඒ අය ජනතාවගෙන් ප්‍රතික්ෂේප වුණා. පුදුම ආදරයක් සහෝදරත්වයක් අපි කෙරෙහි තිබුණා. පොත පතේ දැනුම තිබුණා. ඔවුන්ගෙන් අපි දැනුම ලබාගත්තා. ඔවුන් අපිට සුහදශීලි වුණා. ගරු කළා. එදා හිටපු රංඟන ශිල්පීන්ගේ දැනුම විශ්වකෝෂයක් බඳුයි. ගාමිණී ෆොන්සේකා එක්ක කතා කළොත් ලෝක සිනමාව අධ්‍යයනය කළා වගේ දැනෙන්නේ. අද එහෙම අය විරලයි.

ප්‍රවීණ රංගධර ජෝ අබේවික‍්‍රම අතිශය සරල මනුස්සයෙක්. රූපගත කිරිමකට යන්න එන්නෙත් ගෙදර හිටිය සරම ඇඳගෙන. ඔහු දර්ශනයට අවශ්‍ය ඇඳුම ඇඳගෙන ඉතා විශිෂ්ට ඔහු ගේ රංගන කාර්ය ඉටුකරලා ආපසු සරම කමිසය ඇඳගෙන සරල මිනිහෙක් විදිහට පිටව යනවා.“

සිනමා ශිල්පීන් සමඟ දිගු කළක් සේවය කිරීමෙන් ලද අත්දැකීම් හරහා ඔහු අද වඩාත් කර්යයබහුල වී ඇත. එදා මෙන් නොව අද ක්ෂේත්‍රය වෙනස්ය. නමුදු එදා ශිල්පීන් තුළ තිබූ කැපවීම අද අතැමුන් තුළින් දැකීය නොහැක. මේ ඩොනල්ඩ් ගේ අදහසය. “අද සමහර නවක රංගන ශිල්පින් ශිල්පිනියන් ගේන්න වාහනයක් නිවසට පිටත් කළොත් ඔවුන් රැගෙන ඒමට පැයක් දෙකක් පමා වෙනවා. ඒ ආවත් ඉන්නේ ෆොන් එකේ මිසක් රංගනයට අදාළ මූඩ් එකේ නෙමෙයි. දර්ශන තලයට ඇවිත් පිටපත උඩින් පල්ලෙන් බලනව රඟපානවා කියලා මොනවදෝ කරනවා. සංන්ග්ලාස් එක දාගන්නවා බායි කියලා යනවා. ඔවුන් ඇත්තටම රගපාන්නේ නිවසේ සිට දර්ශන තලයට එන විට හා ආපසු නිවසට යන අවස්ථාවේදි පමණයි.

70 දශකයේ සිංහල සිනමාවේ විරයන් වුණු ගාමිණි, මාලිනි, විජය, කලංසුරිය, රවින්ද්‍ර, ගීතා, සිරිල් වික්‍රමගේ, ජෝ අබේවික්‍රම, ටෝනි, සොමි, අනෝජා, ශ්‍රියානි, වීනා, අනුලා, සුවිනීතා වැනි ප්‍රවිණ රංගන ශිල්පින් හා ශිල්පිනියන් සමඟ මා කටයුතු කර තිබෙනවා.

ඒ සියලුදෙනා මා පෙර සඳහන් කළ ගුණයන්ගෙන් පෝෂිතයි. ඒවගේම 80 දශකයේ සිට වර්තමානය දක්වා සිටින ජැක්සන්, සබීතා, කමල්, ජිවන්, මහේන්ද්‍ර, සංගිතා, ශ්‍රියන්ත, හේමාල්, පුබුදු, උද්දික, උදාරි, චුලක්ෂි, ටීනා සමඟත් වැඩකර තිබෙනවා. ඔවුන් වුණත් අර පෙර කී ගුණය යම්තාක් දුරකට හෝ රැගෙන එන්න උත්සාහ කරනවා.

මං නවක පරපුරට කියන්නේ පුලුවන් තරමි සැහැල්ලු මනසක් තියාගන්න; නිහතමානී වෙන්න; අධ්‍යයනය කරන්න. එහෙම වුණොත් දුර ගමනක් යන්න පුලුවන්.“

ඩොනල්ඩ් විසින් සහය අධ්‍යක්ෂණයෙන් දායක වුණු ‘ගින්දරි 3’, ‘මන්දාරා’, ‘ආදර හීනය’,‘ආදරේට ආදරෙයි’, ‘මායා ජාල’, ‘සිහින අභිෂේක’ සහ ‘ රිදි සිනු’’ යන චිත්‍රපට තිරගත විමට නියමිතය.

Comments